වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




මාළිගාවේ මහ රැජිනි
ධීවරයෝ -2

මාළිගාවේ මහ රැජිනි

රොසලින් ගේ චරිතය තරමක "බර" චරිතයකි. මස්තාන් ඒ බර පැටවූයේ එතෙක් මෙතෙක් ලාංකේය සිනමාවට පෑයූ සුරූපිම නිළිය සන්ධ්‍යා කුමාරිටය. ඇත්තෙන්ම එය ඇයට බර වැඩිවිය. මුලු චිත්‍රපටය පුරාම ඇය එම බර ඉතාමත් අපහසුවෙන් උසුලාගෙන සිටින බවක් පෙනුනි. ඇයට තිබුනේ හැම රූපරාමුවකම සැර පරුෂ ලෙස හැසිරීමටය. මෙහි එක තැනක රොසලින් හා ජොසි අතර කෙහෙවලු පටලවාගෙන, ⁣වැල්ලේ ⁣ලොකු ආරවුලක් ඇතිවිය. එම ජවනිකාවට සන්ධ්‍යා කුමාරිට සහ විජිත මල්ලිකාට, මුහුණ දීමට සිදුවිය. එය නම් ඔවුන් දෙදෙනා අතීශය තාත්වීක ලෙස රගපෑවෝය.

ප්‍රැන්සිස්ගේත්, රොසලින්ගේත් ආදරය ඇල්මැරෙන්නට නොදී ත්‍රිල් කරන්නට මස්තාන්ට හැකි විය. රොසලින්ව තමා වෙතට නංවාගන්නට ප්‍රැන්සිස් කරන උත්සහාය, විටෙක සංවේගිජනකය,තවත් විටෙක හාස්‍යජනකය, තවත් අතකට කුතුහලය දනවන්නට විය. ප්‍රැන්සිස් ජය ගනීවිදෝ, රොසලින් ප්‍රැන්සිස්ට කැමතිවේදෝ යන කුකුස ප්‍රේක්ෂකයා තුළ ඇති කිරීමට මස්තාන් සමත් විය. එකල සිංහල චිත්‍රපට වලට පෙම්වතුන් යුවලගේ යුග ගීතයක් අනිවාර්ය විය. එහෙත් රොසලින් හා ප්‍රැන්සිස්ගේ ආදරය චිත්‍රපටයේ ධාවන කාලයේ හතරෙන් තුනකටත් වඩා යනතෙක්, ඔවුන් දෙදෙනා පෙම්වතුන් වන්නේ නැත. එහෙයින් ඔවුන් දෙදෙනාට එකතුවී පෙම් ගීත ගයන්නට, අවස්ථාවක් ලැබෙන්නේ නැත. මේ හේතුව උඩ මස්තාන්, ලාංකේය හා ඉන්දියානු සිනමාව, තුළ හැම අවස්ථාවේම සිදුවන "ජිමික්ස්" එක කළේය. ඒ සිහින දර්ශනයය. මස්තාන් මෙතැනට ගෙනආවේද එම ක්‍රියාවලියමය. ඔහු ප්‍රේම යුග ගීතය එක් කළේ සිහින දර්ශනයක් හරහාය.

"නිලට නිලේ විහිදී යයි අමර දසන්තේ
මලට හාදු දීලා , හිරු නගියි වසන්තේ
රැල්ල පෙරලි පෙරලී ගල් තැල්ල සිඹින්නේ
කරදිය වැල් ඇසුරේ ඔරු කදේ හැපෙන්නේ."

⁣ගාමිණී සන්ධ්‍යා ගේ ප්‍රේමාවන්තික ජවනිකාවක් දැකීමේ, ආශාවෙන් පෙළුණු,ප්‍රේක්ෂකයාව මස්තාන් තෘප්තිමත් කලේ ඒ අයුරිනි.

රොසලින්ගේ චරිතය තුල කිසියම් හුදකලා බවක් දැනුනි. ඇය නිතරම සිටියේ ජීවිතයේ අපේක්ෂාවන් අත්හැර මෙන්ය . ඇගේ හුදකලා බව මස්තාන් ප්‍රේක්ෂකයන්ට දැන්වූයේ මෙලෙසය.

"මාලිගාවේ මහ රැජිණී, මුහුදය හඩ දී
නෑ නෑ දුර කාවල් මේ ගේ මිහිර සැප මැවේ"

තවත් විටක ඇය මෙසේ මිමිණුවාය
"සතුට සෝකේ ජය පරාදේ අපටමයි නේ මේ ලෝකයේ
එයට පිටුපා, මෙලොව මිනිසා, කිසි තැනකදී නෑ ගියේ"

රොක්සාමි, සන්ධ්‍යා ට ලැබුණු මෙම ගීත දෙකට, ගායිකාවන් දෙදෙනෙක්ගේ හඩ වෙන් වෙන් වශයෙන් යොදා ගත්තද, එය ප්‍රේක්ෂකයන්ට දැනුනේ එකම හඩක් ලෙසය. සුජාතා අත්තනායක "මාලිගාවෙ මහ රැජිණී" ගීතයටත්, ලතා වල්පොල "සතුට සෝකේ ජය පරාදේ"ගීතයටත් හඩ මුසුවූවද, සන්ධ්‍යා එය තමන්⁣⁣ගේම, හඩ ලෙස, ප්‍රේක්ෂකයාට ඒත්තු ගැන්වූයේ හරි අපූරුවටය.

මාළිගාවේ මහරැජින ගීතය රූප ගැන්වුයේ හැඳල විජය චිත්‍රාගාරයේ විශේෂයෙන් ඒ වෙනුවෙන් ඉදිකළ අඩි 16ක් දිග අඩි 8ක් පළල තඩාගයකය. සිංහල සිනමාවේ ඉතාම විශිෂ්ට රූගැන්වීමක් වූ මෙම ගීතය කැමරාවට නංවන ලද්දේ මස්තාන්ගේ උපදෙස් පරිදි වී.වාමදේවන්ය. එම තඩාගය කැඩීගියේ නම් එහි ජල ධාරිතාව චිත්‍රාගාරය පමණක් නොව ඉන් ඔබ්බෙන් වූ හැමිල්ටන් ඇල දක්වා කොටසද වතුරෙන් යට වන්නට ඉඩ තිබිණි.

ගබ්රියල් මුදලාලිගේ භූමිකාවට හාස්‍යමය ජවනිකා කීපයක් එකතු කරමින්, "ධීවරයෝ" චිත්‍රපටයට දුන්නේ නොමද වූ ආලෝකයකි.

එක් අවස්ථාවක හිටි හැටියේම රොසලින් අතුරුදහන් විය. ප්‍රැන්සිස් සිතන්නෙ ගබ්රියල් මුදලාලි ඇයව හංගාගෙන සිටිනවා කියාය. එහෙයින් ප්‍රැන්සිස් ඒ ගැන විමසන්නට, ගබ්රියල් මුදලාලිලගේ නිවසට ගියේය. එතැන ඇතිවූ බහින් බස්වීමකදී,ගබ්රියල් මුදලාලි හා ඔහුගේ සගයා, එක්ව, තුවක්කුවක් පෙන්වා ප්‍රැන්සිස්ව බිය ගන්වන්නට උත්සහ කරයි. ප්‍රැන්සිස් ඔවුනට වෙඩිතැබීමට අභියෝග කරන්නේ, ඔවුන් තුවක්කුව වත් හරි හැටි අල්වා ගැනීමට නොදන්නා බව දුටු විටය. ඔවුන් තුවක්කුව නිවසේ පොල් අතුවහලය දෙස හරවා වෙඩිතබයි. එසැනින්ම පොල්අතු වහලය කඩා ගෙන බිමට පාත්වී ඔවුන්ව එයට ය⁣ට වේ.

තවත් අවස්ථාවක ගබ්රියල් මුදලාලි රොසලින්ව තමා සතු කර ගැන්මට කට්ටඩියෙකුගෙ පිහිට පතයි. කට්ටඩියා ඔහුට රොසලින්ගේ හිසේ කෙස්ගසක්, රැගෙන එන්නට කියන්නේ එය ජීවම් කෙරූ පසු රොසලින්, මුදලාලි පසුපස ඒම සක්‍රයාටවත් වැළක්වීමට නොහැකි බව කියමිනි. රොසලින්ගේ හිසේ කෙසක් ගැලවීමට මුදලාලි තම සගයන්ට බාර දුනි. ඔවුන් කොතෙක් උත්සහා කලද රොසලින්ගෙ හිසකෙසක් ගැලවීමට, ඔවුනට කිසිසේත් නොහැකිවිය. එහෙත් මුදලාලිව සෑහිමකට පත් කළ යුතු නිසා, ඔවුන් අසල ගසක බැද සිටි එළදෙනෙකුගේ වලිගයෙන් දිගු මවිල් ගසක් ගලවා කෙස් ගසක් ලෙස මුදලාලිට ගෙනත් දෙයි. මුදලාලි එය කට්ටඩියාට දුන් පසු, ඔහු එය ජීවම් කර වරු තුනකින් රොසලින් මුදලාලි පසුපස එන බව පැවසීය. හරියට වරුතුනක් ගත වූ පසු මුදලාලි සොයා ඔහු පසුපස, ආවේ රොසලින් නොව, අර ගසේ බැද සිටි එළදෙනය.

මස්තාන් "ධීවරයෝ" චිත්‍රපටයට, බොහෝ හාස්‍යමය ජවනිකා එකතු කරමින්, ප්‍රේක්ෂකයන්ව පිනවන්නට විය.

එක් තැනක ධීවරයන් කීප දෙනෙක් කකුළුවන් මලු කීපයක් ගෙන ගෙවල් බලා යන අතර, රා බීමට පටන් ගතී.ඔවුන් කෙතරම් රා බීවාදැයි කිවහොත්, එහී අවසානය වූයේ, තැන තැන වෙරි මරගාතෙන් වැල්ලේම වැටී නිදා ගැනීමය. එලෙස ඔවුන් නිදා ගත් අතර, කකුළුවන් මලු ලිහාගෙන,එලියට විත් නිදාසිටි ඔවුන්ගේ කකුල් දිගේ සරම් අස්සට රිංගන්නට විය. වෙරිමරගාතේ සිටි ඔවුන් කකුළුවන් සරම් අස්සෙන් කකුල් දිගේ දුවන විට, ඔවුනට දැනුනු"ආතල්" එකට,ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුනු , හිනා හඩ, විසිල් හඩ නම් මුලු ශාලාවම දෙදරුම් කවන්නට විය.

"ධීවරයෝ " චිත්‍රපටය තුල ප්‍රේක්ෂකයා රදවා ගැනීමට, අවශ්‍ය බොහෝ දෑ මෙලෙස ගැබ් වී තිබුනි. එහෙයින් මෙය, එකල අතීශයින්ම ජනප්‍රිය සිනමා කෘතියක් විය. අද වන විට මෙහි පටය විනාශ වී ඇතිමුත්, මෙය නැරඹු අය තුළ ඇති චමත්කාරය තවමත් එලෙසම පවතිනු ඇත.

ගාමිණී ෆොන්සේකා,සන්ධ්‍යා කුමාරි,විජිත මල්ලිකා ,හියුගෝ ප්‍රනාන්දු,ඇන්තනී සී.පෙරේරා ,ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා ,රුබි ද මෙල්,හර්බට් අමරවික්‍රම,බන්ධු මුණසිංහ, බී. එස්. පෙරේරාගේ දක්ෂ රගපෑම් සම්බන්ධ තාවය,නිසා මස්තාන්ට ධීවරයෝ චිත්‍රපටය ජවසම්පන්න කිරීමට හැකිවිය. හියුගෝ ප්‍රනාන්දු ලියූ ප්‍රානවත් දෙබස් "ධීවරයෝ"චිත්‍රපටය, ජීවමාන කලේය.රොක්සාමිගේ සංගීතය "ධීවරයෝ" චිත්‍රපටය, සංගීතමය චිත්‍රපටයක් කළේය. එහි ආගිය අතරින් අනුරකරණ ගීතයක් තිබුණේ මාලිගාවේ මහරැජින ගීතය පමණි. එයද නිෂ්පාදකගේ විශේෂ ඉල්ලීම පරිදි සකස් කරන ලදී. හියුගෝ,ඇන්තනී සී,ක්‍රිස්ටි ලෙනාඩ්,බී.එස් පෙරේරා, චිත්‍රපටය විනෝදාත්මක කලෝය . "ධීවරයෝ"චිත්‍රපටය, 1965 සරසවිය සම්මාන උළෙලේ හොඳම චිත්‍රපට 5 අතරට තේරී පත්වූ අතර, එම වසරේ හොදම නළුවා සරසවිය සම්මානය පිදුම් ලැබුවේද "ධීවරයෝ" චිත්‍රපටයේ ප්‍රැන්සිස් ගේ ප්‍රධාන භූමිකාව රගපෑ ගාමිණී ෆොන්සේකාය.

"ධීවරයෝ"චිත්‍රපටය එකල නැරඹූ ප්‍රේක්ෂකයන්ට, අදත් මුහුදු වැල්ලට ගියහොත් මතක් වන්නේ මෙය නොවේද?....

"වැල්ල සිඹින රැල්ල අපට මෙහෙම කියනවා

අදට වඩා එළිය හදක් හෙට පායනවා

දෙතුන් දවස කන්න නැතත් සෝක නෑ හිතේ

විනෝද මිහිරක් ගෙන දෙයි මුහුදු ජීවිතේ

ලලයි ලිලයි ලයි, සිසිලයි සුළගයි

ලලයි ලිලයි ලයි, සිසිලයි සුළගයි"

ශෝන් මැක්ස්මස් දිසානායක

(ලබන සතියේ තවත් චිත්‍රපටයක්)