වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




එකොළහෙන් හයක්ම මට පොල්ල තිබ්බා

එකොළහෙන් හයක්ම මට පොල්ල තිබ්බා

හරිඳු වරුණ පෙරේරා

අපි නිර්මාණ කළ යුත්තේ ප්‍රේක්ෂකයා සතුටට පත් කරන්නයි. ඒ වෙනුවෙන් බාල බොළඳ නිර්මාණ කරන්න මට වුවමනාවක් නැහැ. මේ චිත්‍රපටය සමඟින් බුදු දහම ඇසුරෙන් යහපත් පණිවුඩයක් ජනතාවට ලබා දෙන්නයි සූදානම් වෙන්නේ. ඒ පණිවුඩය ගෙනෙන්නේ හාස්‍යය සමඟින් වීමත් විශේෂයි.

හරිඳු වරුණ පෙරේරා කියන්නේ පිය උරුමයත් සමඟින් කලාවට පා තැබූ රංගන ශිල්පියෙක්. කාලයක් සිංහල සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පි‍යකු මෙන්ම අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු, තිරරචකයකු වූ එල්. එම් පෙරේරාගේ පුත්‍රයා වන හරිඳු, රංගන ක්ෂේත්‍රයට පිවිසිලා දැන් වසර විසි හතක්. කාලයක් අබුඩාබි තරු හෝටලයක කායවර්ධන උපදේශකවරයකු ලෙසින් කටයුතු කළ ඔහු අමෙරිකාව ඉරාකය ආක්‍රමණය කරනවිටදී අමෙරිකානු හමුදාවේ රූපලාවන්‍ය ශිල්පියකු ලෙසින් සේවය කළා. මේ නිසා කාලයක් රංගනයෙන් දුරස්වී සිටි හරිඳු නැවතත් අපට දකින්න ලැබුණේ මීට ටික කලකට ඉහතදීයි. 'උතුම් පැතුම්', 'නීල පළිඟු දිය', 'අංකල් සෑම්', 'අමා', 'කෝපි කඩේ' වැනි ටෙලි නිර්මාණ රැසකට දායක වෙමින් ඔහු සිය රංගන හැකියාවන් දක්වන්නේ කලාව කෙරෙහි වූ අපමණ භක්තියෙන්. මේ දිනවල ඔහු 'ආදරේ සුවඳ අරන්' ටෙලි නාට්‍යයේ විකීගේ චරිතයට පණ පෙව්වෙත් ඔහු.

කොහොමද හරිඳු? මේ දවස්වල අලුත්ම තොරතුරු මොනවාද?

රංගනයට මගේ හිතේ තියෙන්නේ පුදුමාකාර බැඳීමක්. එදා අපටන් අද දක්වාම මට පොඩි පොඩි චරිත විතරක් ලැබුණත් ඒ ගැන හිතලා කවදාවත් මං රංගනයෙන් දුරස් වුණේ නැහැ. ගිය අවුරුද්දේ මං ටෙලි නාට්‍ය දාහතකට රංගන දායකත්වය ලබා දුන්නා. ඒ කියන්නේ දවස් තුන්සිය හැටපහේම මට ෂුටින්.

හැබැයි හැමදාට පොඩි පොඩි චරිත ලැබෙන එක ගැන නම් දුකයි වගේ?

ඇත්තටම මට හැමදාම ලැබුණේ පොඩි පොඩි චරිත. ඒ ඇයි කියන්න නම් දන්නේ නැහැ. දුක නම් ඒකට නෙවෙයි.

ඒ මොකක්ද?

මං ගිය අවුරුද්දේ ටෙලි නිර්මාණ දාහතකට දායක වුණත් මට මුදල් ලැබුණේ එයින් නිර්මාණ එකොළහකින් විතරයි. හයක්ම පොලු. ඉතා ප්‍රසිද්ධ අධ්‍යක්ෂවරු පවා ඒ අතරේ ඉන්නවා. සල්ලි ගන්න එක තමයි අමාරුම වැඩේ. පස්සේ දෙන්නම් කියලා තමයි වැඩේට ගන්නේත ඊට පස්සේ කතා නැහැ. හෙමිහිට මාරු වෙනවා. අපේ රටේ කලාවට දියුණුවක් නැත්තෙත් මේ නිසයි. මේ වගේ හොරු අයින් කරන තුරු කලාව හදන්න අමාරුයි.

දැන් අලුත් වැඩක් පටන් අරගෙන කියලා ආරංචියි?

වැඩේ අලුත් වුණාට ආරම්භය නම් අවුරුදු විසිහතක් විතර පැරණියි. 1989 වසරේදී මම චිත්‍රපට තිර පිටපතක් ලිව්වා. දැන් ඒ චිත්‍රපටය නිර්මාණයට තමයි සූදානම් වෙන්නේ.

ඒ කියන්නේ ඔබත් දැන් චිත්‍රපට තිර රචකයෙක්?

අපිට හිතුවොත් බැරි දෙයක් ඇත්තේ නැහැ. ඒ විතරක් නෙවෙයි මගේ ගීත රචනාත් දෙදහක් විතර තියෙනවා. ඒ අතරින් අලුත් ගායන ශිල්පින් ශිල්පිනියක් තිදෙනෙකු විසින් ගැයෙන ගීත තුනක් ළඟදීම පටිගත කරන්නයි සූදානම.

අලුත් චිත්‍රපටය ගැනත් විස්තර කියමු?

මේ පිටපත මම ලිව්වේ දැනට අවුරුදු විසිහතකට විතර කලින්. ඒ කාලයේ ලියූ නිසා වර්තමානයට ගැලපෙන විදියට නැවතත් අලුතෙන් ලිව්වා. නමුත් මං 89දී මේක ලිව්වෙත් ඇනිමේෂන් තාක්ෂණය යොදා ගන්න විදියටයි. ඒ කතාව ගෙතිලා තියෙන්නේ බුදු දහම තේමා කරගෙනයි. කතාව ඉදිරියට ඇදෙන්නේ පිටසක්වල ජීවියෙකුද සමඟින්. මෙහි කතාව, දෙබස් තිරරචනය සියල්ලම මගේ. දැන් නිෂ්පාදකවරයෙක් හමුවෙලා ඉන්නේ. ලංකාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරාවි.

මේ තරම් කාලයක් ඔය පිටපත ළඟ තියාගෙන හිටියේ ඇයි? ‍

අපට ආසාව තිබුණත් ඒක කරන්න ටිකක් අමාරුයි. චිත්‍රපට නිෂ්පාදනය කරන්න නිෂ්පාදකවරු ඉදිරිපත් වෙන්නත් ඕනිනේ. මේ පිටපත චිත්‍රපටයක් බවට පත් කරන්න කල් ගත වුණත් මීට කලින් මම තිර රචනා කළ ඩී.වි.ඩී චිත්‍රපට කිහිපයක්ම නිකුත් කෙරුණා. මම මුලින්ම තිර රචනයක් කර ඩී.වී.ඩී චිත්‍රපටයක් ලෙසින් එළි දැක්කේ 'ඇමතිට බයිපාස්' චිත්‍රපටය යි. එහි මමත් එක්ක මගේ පුතාත් රංගනයෙන් එක් වුණා. ඒ කියන්නේ අපේ පවුලේ ඊළඟ පරම්පරාවත් රංගනයට පා තැබුවා කියන එකයි.

බෞද්ධ තේමාවක් මුල්කරගෙන නිර්මාණයක් කරන්න විශේෂ හේතුවක් තියෙනවාද?

මෙහෙමයි. අපි නිර්මාණ කළ යුත්තේ ප්‍රේක්ෂකයා සතුටට පත් කරන්නයි. ඒ වෙනුවෙන් බාල බොළඳ නිර්මාණ කරන්න මට වුවමනාවක් නැහැ. මේ චිත්‍රපටය සමඟින් බුදු දහම ඇසුරෙන් යහපත් පණිවුඩයක් ජනතාවට ලබා දෙන්නයි සූදානම් වෙන්නේ. ඒ පණිවුඩය ගෙනෙන්නේ හාස්‍යය සමඟින් වීමත් විශේෂයි. අපි කරන නිර්මාණයේ අනිවාර්යයෙන්ම හොඳ කතාවක් තිබිය යුතුයි. ඒ වගේම මගේ තිරපිටපත්වල ලිංගික දර්ශන ඇතුළත් වෙන්නේ නැහැ. ඒක ප්‍රේක්ෂකයා කැඳවා ගැනීමේ මඟක් නෙවෙයි. ඒ නිසා මගේ උත්සාහය හරවත් හොඳ නිර්මාණ කිරීම පමණයි. පුංචි කාලයේ පටන්ම මගේ ආහාර වේල නිර්මාශයි. ඒ වගේම මම මතින් දුමින් තොර පුද්ගලයෙක්. මම ජීවත් වෙන්නේ කලාව සහ බුදුදහම සමඟින්. ක්ෂේත්‍රයට වගේම මගේ නමට කැළලක්, අගෞරවයක් වන කිසිම දෙයක් කරලා නැහැ. ඒක මට වගේම කලාවටත් ආලෝකයක්.

තිරරචනය නිසා රංගනයෙන් දුරස් වේවිද?

එහෙම නම් වෙන එකක් නැහැ. මම වැඩියෙන්ම ප්‍රිය කරන්නේ රංගනයට තමයි. මොකද මගේ තාත්තා අපේ ජීවිතවලින් සමුගත්ත වෙලාවේ පැමිණි ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්තයා මගෙන් මොනවද කෙරෙන්න ඕනි කියලා ඇහුවාමත් මම කිව්වේ "මට රඟපාන්න අවස්ථාවක් හදලා දෙන්න" කියලා විතරයි. මම වෙනත් කිසිම දෙයක් ඉල්ලුවේ නැහැ. ඒ නිසා මං කවදාවත් රංගනයෙන් දුරස් වෙන්නේ නැහැ.

මේ දක්වා හරිඳුට ලැබුණු චරිත ගැන මොකක්ද හිතෙන්නේ?

ගොඩක්ම මැර චරිත තමයි ලැබිලා තියෙන්නේ. නමුත් මට ලැබෙන ඕනෑම චරිතයකට මම උපරිමයෙන් සාධාරණයක් ඉටු කරනවා. මේ වන විට ප්‍රේමවන්තයෙකුගේ චරිතයක් ලැබිලා තියෙනවා. අපේ රටේ එක චරිතයක් හොඳට කළාම ඒ වගේම චරිතම තමයි දිගටම ලැබෙන්නේ. හැබැයි තවත් කාරණයක් තියෙනවා.

ඒ මොකක්ද?

මේ විදියට චරිතයක් හොඳටම ජනප්‍රිය වෙනකොට කපලා දාන අවස්ථාත් නැතුවා නෙවෙයි. මොකද ඇතැම් අය අපට නිර්මාණවල චරිත දෙන්නේ ද්වේශයෙන්. එහෙම වෙලා ඒ චරිතය හොඳට සාර්ථක වෙනකොට ඒක මතු වෙන්න නොදි නවත්වනවා. ඒක අපේ නොලැබීමද දන්නේ නැහැ.

මේ දක්වා කලා ක්ෂේත්‍රයේ පැමිණි ගමන ගැන මොකද හිතෙන්නේ?

කලාවට තියෙන ආදරය නිසාම කවදාවත් කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. මොකද මම මගේ දායකත්වය ලබාදිය යුතු අවස්ථාවල ඒ දායකත්වය උපරිමයෙන් ලබා දෙන්න කටයුතු කළා. ඉදිරියටත් ඒක ‍එහෙමම තමයි. නමුත් මට මතකයි ගිය අවුරුද්දේ අලුත් අවුරුද්දට කිරිබත් හදන්න අපේ ගෙදර සල්ලි තිබුණේ නැහැ. එහෙම කියලා මං කලාවෙන් දුරස් වුණේ නැහැ. පරණ ඇඳුම් ඇඳලා හරි අපි අවුරුදු සැමරුවා. අපි ලබාදෙන දායකත්වය වෙනුවෙන් ගෙවීම් මඟහරින්නේ නැත්නම් මේ වගේ අපහසුතා ඇති වෙන්නේ නැහැ. කොහොම වුණත් ඉදිරියටත් රංගනයෙන් වගේම තිරරචනයෙන් සහ ගීත රචනයෙනුත් මගේ දායකත්වය කලාව වෙනුවෙන් ඉටු වේවි. 0727300300 දුරකථන අංකයට ආදරණීය ඔබේ අදහස් දක්වන්න පුළුවන්.