වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




මහන්සි වෙන්න දෙයක් නැහැ මම ග්‍රැන්විල් රොඩ්රිගෝගේ පුතා

මහන්සි වෙන්න දෙයක් නැහැ මම ග්‍රැන්විල් රොඩ්රිගෝගේ පුතා

චිරාත් රොඩ්රිගෝ

මම හිතන්නේ මට රඟපාන්නත් පුළුවන් කියලා. උත්සාහ කළොත් ඒ දේත් බැරිවෙන එකක් නැහැ. කොහොමත් මගේ ඉදිරි අනාගතය බොහෝ විට කලාවත් එක්ක රැඳේවි.

එදා පුංචි තිරයේ, වේදිකාවේ, සිනමාවේ මෙන්ම ප්‍රසංග වේදිකාවේ ද ඔහු රඟපෑ චරිත මෙන්ම ගායනයන් ද අදත් ප්‍රේක්ෂක රසික හදවත්වලට අමතක වී ගොස් නැත. ජනප්‍රිය ගායකයකු, නළුවකු ලෙසින් ප්‍රසිද්ධියක් ලබා සිටි ග්‍රැන්විල් රොඩ්රිගෝ අප අතරින් වියෝ වුණේ කවුරුත් නොසිතූ නොපැතූ මොහොතකය. එදා දොළොස් හැවිරිදි වියේ පසු වූ ග්‍රැන්විල්ගේ වැඩිමල් පුත් චිරාත් අද විසිනව වියැති තරුණයෙක්. ඕස්්ට්‍රේලියාවේ පාසලක ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ ආචාර්යවරයෙකු ලෙසින් කටයුතු කරන චිරාත් කෙටි නිවාඩුවකට ලංකාවට ආවේ අපූරු කටයුත්තකටත් මුල පුරන්නත් එක්ක. පියාගේ ගායන හැකියාව සහජයෙන්ම උරුම කොට ගෙන ඇති චිරාත් මේ උත්සාහ කරන්නේ මොන වගේ වැඩකටදැයි අපි ඔහුත් සමග කතාබස් කරමු.

චිරාත් හදිසියේම ලංකාවට ආවේ?

සාමාන්‍යයෙන් මම නත්තල් සීසන් එකට ලංකාවට එනවා. ඒත් මේ ගමන මම ආවේ විශේෂ වැඩකටත් එක්ක. ඒත් ඒ බලාපොරොත්තුව මට ඉෂ්ට කරගන්න බැරිව ගියා.

ඇයි ඒ?

මගේ අම්මා ශ්‍යාමලී රොඩ්රිගෝ හදිසියේම රෝගී තත්ත්වයකට පත් වුණා. අම්මාට මෙනින්ජයිටිස් රෝගය හැදුණා. සති කීපයක් රෝහල් ගත වෙලා ඉන්නත් සිද්ධ වුණා. ඒ නිසා මට ඒ හිතේ තිබුණ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න බැරිව ගියා.

මොකක්ද ඒ සුවිශේෂී බලාපොරොත්තුව?

නිවාඩුවට ලංකාවට ආපුවහම මම අදහස් කරලා තිබුණා තාත්තාගේ ජනප්‍රිය මම වඩාත් ආශා කරන ගීත දෙකක් මගේ හඬින් පටිගත කරන්න. ඒ අදහස මට වෙනස් කරන්න සිදු වුණේ අම්මාගේ අසනීප තත්ත්වය නිසා.

ඔච්චර ඔබ පෙම් බඳිනා තාත්තාගේ ගීත මොනවාද?

චන්දන මල් දම් දාලා . . ., එක ඉවුරක ඔබ . . . කියන ගීත දෙක.

මේ ගීත ගායනයන් සමඟ ඔබ ගායකයකු ලෙසින් කරළියට එන්නද බලාපොරොත්තුව?

මම හිතනවා මට ගායන හැකියාවක් තියෙනවා කියලා. මම තාත්තාගේ මේ ගීත දෙකට වඩාත් ආශා වගේම ඒක කීප විටක් මම ගායනා කරලත් බැලුවා. මගේ ගායනය අහපු කීප දෙනෙක්ම මගේ හඬ අගය කළා. මට මේ අගය කිරීමත් එක්ක ලොකු ආශාවක් ඇති වුණා ගායන පැත්තට. මම මුලින්ම මේ ගීත දෙක කැරොකෝ ක්‍රමයට ගායනා කළා. ගීත දෙකේ මෙලඩිය මට හිතවතෙක් ලබා දුන්නා. ඒක ඇත්තෙන්ම සාර්ථක වුණ. ඉථභතඥ කියන ඇප්ලිකේෂන් එක හරහා මම මගේ උත්සාහය මල්ඵල ගන්වන්න උත්සාහ කළා. මගේ උත්සාහය සාර්ථක වුණා. මගේ මේ ගීත දෙක විතරක් අහපු රසිකයො 5058 දෙනෙක් ඉථභතඥ හරහා මට එකතු වුණා. ෆේස්බුක් එක හරහා රසිකයෝ 4000 ක් විතර එකතු වුණා. මට මම ගැනම ආඩම්බරයක් ඇති වුණා. ඒ නිසාම මම තීරණයකට ආවා මගේම හඬින් මේ ගීත දෙක මුලින්ම රෙකෝඩ් කරනවා කියලා.

තාත්තා ජීවතුන් අතර ඉන්න කාලයේ ඔබ ඇතුළු සහෝදරයින් දෙදෙනාත් කලා කටයුතුවලට සම්බන්ධ වුණේ නෑ නේද?

තාත්තා නැති වෙන කොට මට වයස අවුරුදු දොළහයි. තිසල් මල්ලිට අවුරුදු දහයයි. පොඩි මල්ලි මධුපට අවුරුදු හතරයි. පුංචි කාලේ තාත්තා අපිව කලා කටයුතුවලට සම්බන්ධ කර ගත්තේ නැහැ. ඒත් අපිට නාට්‍ය සංදර්ශන සංගීත ප්‍රසංගවලට එක්කන් ගියා. පුංචි කාලේ පල්ලියේ ගීතිකා කිව්වා. පාසලේ කලා කටයුතුවලට එක් වුණා.

තාත්තා මිය ගොසිනුත් දැන් බොහෝ කලක්?

මේ අවුරුද්දට අවුරුදු දහඅටක්. 1999 ජනවාරි දහ වැනිදා තාත්තා රිය අනතුරකට ලක් වුණා. ජනවාරි 14 වැනිදා තාත්තා අපිව මේ ලෝකේ තනි කරලා දෙව් මව් තුරුලට යන්න ගියා.

මෙවර තාත්තාගේ ගුණ සමරුව ඔබ කොයි ආකාරයෙන්ද සැලසුම් කළේ?

තාත්තා මිය ගියේ ජනවාරි 14 වැනිදා. අපි තාත්තා වෙනුවෙන් පල්ලියට ගිහින් යාඥා කළා. අපේ නැදෑ හිතවතුන් ගෙදරට එකතු වී දුගී මගී යාචකයන්ට තාත්තා සිහිපත් කරලා කෑම බීමෙන් සංග්‍රහ කළා. අම්මාගේ අසනීප තත්ත්වයත් නිසා තාත්තා වෙනුවෙන් වෙන විශේෂ වැඩක් සිද්ධ කරන්න නම් බැරි වුණා.

ගායනයට ඔබ ප්‍රවිෂ්ට වෙනවා වගේම තාත්තා මෙන් රංගනයටත් ඔබ එක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවාද?

මම හිතන්නේ මට රඟපාන්නත් පුළුවන් කියලා. උත්සාහ කළොත් ඒ දේත් බැරිවෙන එකක් නැහැ. කොහොමත් මගේ ඉදිරි අනාගතය බොහෝ විට කලාවත් එක්ක රැඳේවි.

තාත්තා ගයානා කළ ඔටා දමඤ්ඤා . . . ගීතයට ඔබ සාධාරණයක් කරන්න උත්සාහයක් නැද්ද?

තාත්තාගේ ඒ ගැඹුරු කටහඬ ඒ ගීතයට සාධාරණයක් එක් කරන්න මගේ ඇඟෙන් එන්නේ නැහැ. මගේ මල්ලිලා දෙන්නාට සිංදු කියන්න පුළුවන්. අපි තුන් දෙනාම එකතු වුණොත් තාත්තාගේ ඒ ගීත ගායනයට අවංක සාධාරණයක් එක් කරන්න පුළුවන්. හඬවල් එකතුවක් අපි තුන් දෙනා ළඟම තියෙනවා.

යම් අයුරකින් ඔබ ගායකයෙක් ලෙසින් කලා ක්ෂේත්‍රයේ රැඳී හිටියොත් ඔබ තාත්තාගේ අනුකරණ ගී ගායකයෙක් වෙනවාද?

තාත්තාගේ ගීත ගායනා කළා කියලා මට ඒ තාත්තාගේ හඬින්ම ගායනා කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මම මට පුළුවන් උපරිමයෙන් ඒ ගීතයට තාත්තාගේ හඬින්ම ගායනා කරන්න උත්සාහ කරනවා.

ඔබට අවශ්‍ය ක්ෂේ්ත්‍රයට එන්න ග්‍රැන්විල්ගේ පුතා ලෙස හඳුන්වාගෙනද?

හඳුන්වන්න මහන්සි වෙන්න දෙයක් නැහැ. මම ග්‍රැන්විල් රොඩ්රිගෝ ගේ පුතා තමයි. හැබැයි මම කලාවට එන්න ආශා තාත්තාගේ නම කියාගෙන නෙමේ. චිරාත් රොඩ්රිගෝ කියාගෙනයි. තාත්තා එක් කෙනෙක්. මම එක් කෙනෙක්. මම දහස් ගණන් ප්‍රේක්ෂකයෝ රසිකයෝ ආදරය කරපු ග්‍රැන්විල් රොඩ්රිගෝ ගේ පුතා.

ඕස්්ට්‍රේලියාවේ රැඳී සිටිමින්ම තවදුරටත් කටයුතු කරන්නද ඔබේ බලාපොරොත්තුව?

අවුරුදු දහයක් මම ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගත්තා. දැනට අවුරුදු හයක පටන් මම ඒ රටේ ගුරුවරයෙක් ලෙස රැකියාව කරනවා. ඒ රටේ පුරවැසිභාවය පවා ලැබිලා තියෙනවා. මම එහේ හිටියත් මගේ හදවත ගෙදර ලංකාව තරමට බැඳීමක් එහෙ නැහැ. තව වසර දෙකකින් විතර මම ස්ථිරවම ලංකාවේ පදිංචියට එනවා දැනට මම කරන ආචාර්ය උපාධියත් සම්පූර්ණ කරගෙන.

තාත්තාගේ නිර්මාණ එකතුවක් යළිත් ඔබ රසිකයන්ට තිළිණ කරන්න උත්සාහයක් නැද්ද?

තාත්තාගේ දෙවෙනි ගීත ඇල්බමය අතරමඟ නතර වුණා තාත්තාගේ මරණයත් සමඟ. සමහර ගීත තාත්තා කරලා ඉවර කරලා තිබුණා. තව සමහරක් ඒවා අතරමඟ නතර වෙලා තිබුණා. මගේ අදහසක් තියෙනවා ඒ ගීත යළිත් එකතු කරලා අලුත් ගීත ඇල්බමයක් කරන්න.

තව වසර කීපයකින් ඔබ ප්‍රසංග වේදිකාවේ අපට හමු වෙයි?

මගේ උත්සාහය රසිකයෝ ප්‍රතික්ෂේප නොකළොත් මම ප්‍රසංග වේදිකාවේ ඉඳීවි. මේ වෙන කොට මට ලැබෙන ප්‍රතිචාර අනුව තාත්තාගේ රසිකයෝ මගේ රසිකයෝ වෙලා ඉවරයි. අද වෙන කොට මම ෆේස්බුක් ගායකයෙක් අන්තර් ජාලයේ ප්‍රතිචාර සමඟ.

අන්තර්ජාලයෙන් ඔබේ ගී රස විඳින්න කාට හරි ඕනෑ වුණොත්?

චිරාත් රොඩ්රිගෝ සහ පිරිස කියලා ටයිප් කරන්න.

පුංචි දරුවකුව සිටින අවධියේම ඔබේ පියාණන් ඔබට අහිමි වෙනවා? ඒත් පියාණන් ගැන ඔබේ මතකය?

අපි තුන් දෙනාටම තාත්තා පණ වගේ අදරය කළා. කොහේ ෂූටින් ගියත් ප්‍රසංගවලට ගියත් අපි තුන් දෙනා නිදාගෙන හිටියත් අපිව ආදරයෙන් සිපගෙන අපිට කරුණාව දැක්වුවා. මම තාත්තාගෙන් දැක්ක දෙයක් තමයි කවදාවත් තාත්තා උඩඟු වුණේ නැහැ. ජනප්‍රිය වෙන්න වෙන්න නිහතමානී වුණා. කොහේ ගියත් පාරේ බස් එකෙන් ගමන් ගියේ. අම්මාට අපිට අපිරිමිත ආදරයක් දැක් වූවා.

මේ වෙන කොට ඔබේ පවුලේ තොරතුරු කොහොමද?

මගේ පොඩි මල්ලි මධූප ඕස්ට්‍රේලියාවේ තාම ඉගෙන ගන්නවා. දෙවැනි මල්ලි තිසල් දැන් විවාහ වෙලා. එයා ඩයලොග් ආයතනයේ රැකියාව කරනවා.

විසි නම වැනි වියේ පසුවන ඔබ දැන් ජීවිතයේ වෙනසක් ගැන හිතුවේ නැද්ද?

යෝජනා නම් බොහොමයි. ආචාර්ය උපාධියත් ඉවර කරලම ඒ වෙනසට මුල පුරමුකෝ. ගෙදරින් නම් මට නිදසක් දීලා තියෙනවා. ජීවිතයේ වෙනසක් ඇති වෙන කොට මම බොහෝ විට ගායකයෙක් වෙලා ඉඳීවි. ජනවාරි 28 වැනිදා මම යළිත් ඕස්ටේ‍්‍රලියාවට යනවා. ඊළඟ පාර මම ලංකාවට එන්නේ අපේ රටේම ඉන්න බලාගෙන. අපේ රසිකයන්ගේ ප්‍රතිචාර අතර ගත කරන්නත් බලාගෙනමයි.