වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




මම තවමත් ඉන්නේ මහමෙර පාමුල

මම තවමත් ඉන්නේ මහමෙර පාමුල

දයාරත්න රටගෙදර

විසිතුන් වසරකට පසුව නැවතත් මහමෙර පාමුල අද සිට  ජාතික රූපවාහිනියේ

මේ දිනවල ජාතික රූපවාහිනියේ රාත්‍රී 9.00ට මීට වසර ගණනකට පෙර නරඹන්නන් අතර බෙහෙවින් ජනප්‍රියත්වය පත් ටෙලි නිර්මාණ රැසක් යළිත් විකාශය කිරීම අරඹා ඇත. අද දින සිට විකාශය වන්නේ දයාරත්න රටගෙදරගේ ‘මහපෙර පාමුල’ ටෙලි නාට්‍යයයි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘මඩොල් දූව’ චිත්‍රපටයේ නළුවකු ලෙස සිය කලා ගමන අරඹන දයාරත්න තරුණයා වේදිකාව, සිනමාව හා පුවත්පත් යන අංශවල කරක් ගැසූවෙකි. එමෙන්ම ඔහු සහය අංගරචනා ශිල්පියකු ලෙස සුමිත්‍රා පීරිස්ගේ ‘ගැහැනු ළමයි’, ‘තවලම’ ආදී චිත්‍රපට නිර්මාණ රැසකට ම ද දායක වූවෙකි. පසුව සහය අධ්‍යක්ෂවරයකු ලෙස ‘අහස් මාලිඟා’, ‘වත්සලා අක්කා’ ඇතුළු නිර්මාණ රැසකට ම දායක වෙයි. පසුව ජාතික රූපවාහිනියේ සහය නිෂ්පාදකවරයකු ලෙස එහි පිවිසෙන දයාරත්න රටගෙදර බිඳෙන් බිඳ ඉහළට පැමිණෙන්නේ සිය උත්සාහයේ ප්‍රතිඵලයෙනි.

එහිදී ඔහු බොහෝ අධ්‍යක්ෂවරුන් අතර නිර්මාණශීලී අධ්‍යක්ෂවරයකු ලෙස ප්‍රේක්ෂකයා හමුවට පිවිසෙන්නේ එකවහල යට, දෑකැති මුවහත, බෝගල සවුන්දිරිස් ආදි නිර්මාණ සමඟනි. තිස්ස අබේසේකරගෙන් පසුව කලක් රජයේ චිත්‍රපට අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් වී සිටි ඔහු යළිත් ජාතික රූපවාහිනිය කරා පැමිණෙයි. එහි පැමිණ නොයෙක් වැඩසටහන් රැසක් ආරම්භ කරන දයාරත්න රටගෙදර අධ්‍යක්ෂණය කළ ‘සිත නිවන කතා’ බොහෝදෙනා අතර ජනප්‍රිය ඒකාංගික ටෙලි නාට්‍ය මාලාවකි. මේ වනතෙක් ජාතික රූපවාහිනියේ වසර තිහකට අධික කාලයක් සේවය කරන ඔහු වර්තමානයේ එහි විවිධ වැඩසටහන් අධ්‍යක්ෂවරයා වෙයි. මේ දිග හැරෙන්නේ වසර ගණනකට පසුව විකාශය වන ඔහුගේ ‘මහපෙර පාමුල’ ටෙලි නාට්‍යය පිළිබඳත්, ජාතික රූපවාහිනිය පිළිබඳත්, වර්තමානයේ ඔහුගේ නිර්මාණ කටයුතු පිළිබඳත් දයාරත්න රටගෙදර සමඟ ‘සරසවිය’ට කළ සාකච්ඡාවකි.

එකල ජාතික රූපවාහිනියේ නාට්‍ය අංශය පැවැතුණේ මෙරට ජනතාව අතර ඉහළ තලයේ ම වැජඹුණු අංශයක් විදියට නේද?

ඒ කාලයේ ජාතික රූපවාහිනියේ නාට්‍ය අංශය ගැන නරඹන්නන්ගේ සිතේ ඇති කරලා තිබුණේ දැවැන්ත ප්‍රතිරූපයක්. ඔවුන් සෙනසුරාදා රාත්‍රියේ විකාශය වන ටෙලි නාට්‍ය නරඹන්න බලාගෙන සිටියේ ඇඟිලි ගනිමින්. ඒ වගේමයි ඒ දවසේ විකාශ කාලය ඇතුළත ටෙලි නාට්‍යයක් දමා ගැනීම නිර්මාණකරුවන් සැලකුවෙත් විශාල වාසනාවක් විදියටයි.

ජාතික රූපවාහිනිය ආරම්භයේ පටන් නිර්මාණකරණයේ යෙදුණේ ප්‍රවීණ නිර්මාණකරුවන් පිරිසක්. ඔබටත් නිර්මාණකරණයේ යෙදීමට බලපෑවේ ඔවුන්ගේ අභාසය ද?

ඒ කාලයේ ජාතික රූපවාහිනියේ විකාශය වූ ටෙලි නාට්‍ය නිර්මාණය කළේ ධම්ම ජාගොඩ, ලූෂන් බුලත්සිංහල, ටයිටස් තොටවත්ත, බන්දුල විතානගේ, තිලක්ගුණවර්ධන, ජනක මල්ලිමාරච්චි කියන ප්‍රවීණ නිර්මාණකරුවන් පිරිසක්. නාට්‍ය අංශයේ සිටි ශිල්පියකු විදියට මටත් උවමනා වුණේ ඔවුන්ගේ නිර්මාණ මෙන් වෙනස්කමකින් යුක්ත නිර්මාණයක් කිරීමටයි. පවතින ක්‍රමවේදයට යන නිර්මාණයක් කිරීමේ අදහස මුලදී පටන් ම මගේ සිතේ හැංඟී තිබුණු අදහසක්. එහි ප්‍රතිඵලයක් මතයි ‘මහමෙර පාමුල’ ටෙලි නාට්‍යය බිහි වන්නේ. ඊට අමතරව මා කටයුතු කළ තිස්ස අබේසේකර, සුමිත්‍රා පීරිස්, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ටයිටස් තොටවත්ත, සුනිල් ආරියරත්න වැනි ප්‍රවීණයන් සමඟ වැඩ කිරීමෙන් ලැබුණු අවබෝධයත් මේ නිර්මාණය කිරීමට මට මහත් පිටිවහලක් වූ බවත් සඳහන් කළ යුතුයි.

‘මහමෙර පාමුල’ ටෙලි නාට්‍යයේ ප්‍රවීණ නළු - නිළියන් පිරිසක් රංගනයේ යෙදෙනවා?

ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ දැවැන්තයන් පිරිසක් ‘මහමෙර පාමුල’ හා අත්වැල් බැඳ ගත්තා. ඒ අතර මාලිනී ෆොන්සේකා, ටෝනි රණසිංහ, ශ්‍රියන්ත මෙන්ඩිස්, මහේන්ද්‍ර පෙරේරා, දයා අල්විස්, ඩිලානි අබේවර්ධන, රාධා ද මෙල් ඇතුළු නළු - නිළියන් රැසක් සිටියා. අද ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින ජැක්සන් ඇන්තනීගේ පළමු තිර පිටපත ලියූ දිගු ටෙලි නාට්‍යය වන්නේත් ‘මහමෙර පාමුල’යි. ඒ වගේ ම මා හිතන්නේ මේ තරම් ප්‍රවීණයන් රැසක් එක්වර ම ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණු පළමු නිර්මාණ ලෙස ගැනෙන්නේත් ‘මහමෙර පාමුල’ බවයි. මෙහි කලා අධ්‍යක්ෂණයෙන් ඇහැලියගොඩ සෝමතිලකත්, සංගීතයෙන් ආනන්ද ගමගේත්, ගායනයෙන් රෝහණ වීරසිංහ හා දමයන්ති ජයසූරියත්, නොයෙල් නික්ලස් සහය වෙනවා. ගීතරචනයෙන් සහය වෙන්නේ ජයතිස්ස බොරළුගොඩ. අවසානයේ මේ සියලුදෙනාගේ සංකලනය ‘මහමෙර පාමුල’ ටෙලි නාට්‍යයේ හොඳ තෝතැන්නක් බවට පත්වෙනවා.

අද මෙන් එදා පහසුකම් බහුල නොවූ කාලයක රූගත කිරීම්වල නියැළීම මොන වගේ හැඟීමක් ද ඇති කළේ?

මෙහි රූගත කිරීම් සිදු වුණු කාලය බොහොම කටුක කාලයක් ලෙස හැඳීන්වුවොත් වරදක් නැහැ. එහෙම වුණත් මේ සියල්ලන් සමඟ ම කටයුතු කිරීමට ලැබීම සුන්දර අත්දැකීමක්. ඒ අතර කටුක අත්දැකීම් වුණත් නැතිවා ම නොවෙයි. එහෙම කියන විටයි මේ අත්දැකීම මගේ මතකයට නැඟෙන්නේ. ‘මහමෙර පාමුල’ ටෙලි නිර්මාණයේ මගේ දියණිය ඩිනාලි ප්‍රියසාරිත් රඟපානවා. ඒ වනවිට ඈට මාස හයක් පමණ වන බව මට මතකයි.ටෙලි නාට්‍ය රූගත කරන කාලයේ දුවව අසනීප වීම නිසා ආසිරි රෝහලේයි නවත්වන්නේ. දුව ඒ රෝහලේ ඉහළ මාලයේ ඉන්න අතරතුර මා පහළ එහි රූගත කිරීම් කරනවා. පහළ සියල්ල අවසන් කරලා වරින්වර ඒ අතරතුර දුවව බලන්න මම රෝහලේ උඩ තට්ටුවටත් නඟිනවා. ඒ විදියටයි වරක් එහි රූගත කිරීම් සිදු වුණේ. අද වනවිට දුවට වයස අවුරුදු විස්සක්.

මහමෙර පාමුල’ ටෙලි නාට්‍යයෙන් ඔබ මූලික ලෙස ම කතාබහට ලක්කරන්නේ කුමන කාරණයක් ද?

මින් කතාබහ කරන්නේ පිය - පුතු ඝට්ටනයයි. අද මෙවැනි නිර්මාණ නිර්මාණය වනවා අඩුයි. ‘මහමෙර පාමුල’ ටෙලි නාට්‍යය ගෙතී ඇත්තේ පවුල් ද්විත්වයක් වටා. එහි තාත්තාගේ චරිතය රඟපාන්නේ ටෝණි රණසිංහයන්. ඔහුගේ පළමු විවාහයේ බිරිය මාලිනී ෆොන්සේකා. ඈ ඔහුගෙන් වෙන්වෙලයි ඉන්නේ. ටෝණි රණසිංහ යළිත් විවාහයක් කරගත් කෙනෙක්. ඔහුට පෙර විවාහයෙන් පුතෙකුත්, දෙවැනි විවාහයෙන් පුතෙකුත් සිටිනවා. පළමු විවාහයේ පුතු ලෙස රඟපාන මහේන්ද්‍ර පෙරේරා සිරගෙයින් පිවිසෙන දර්ශනයකිනුයි ටෙලි නාට්‍යය ආරම්භ වන්නේ. ඒ ඔස්සේ දිවෙන සිදුවීම් පෙළකින් හා ගැටුම් මඟිනුයි කතාව ඉදිරියට විකාශය වන්නේ. වර්තමානයේ විකාශය වන ටෙලි නාට්‍යවලට වඩා වෙනස් පරාසයක් කරා දිවෙන කතාවකුයි ‘මහමෙර පාමුල’ කියන්නේ

නැවත ජාතික රූපවාහිනිය මඟින් පැරැණි ටෙලි නාට්‍ය විකාශය කිරීම ආරම්භ කළේ කුමන කාරණයක් උදෙසා ද?

වර්තමානයේ රූපවාහිනිය නරඹන්නනන් සිටින්නේ මේ විකාශය වන ටෙලි නාට්‍ය රැල්ලෙන් හෙම්බත් වෙලා. ඒ අය අතර යම් වෙනසක් ඇති කරන අදහසිනුයි අප මේ මෙලෙස පැරැණි ටෙලි නාට්‍ය විකාශය කිරීම ආරම්භ කළේ. ඊට අමතරව එදා නිර්මාණවල තිබුණු ගුණාත්මක භාවය, නිර්මාණාත්මක භාවය ගැන වර්තමානයේ ඉන්න පරපුර දන්නේ නැහැ. ඒ නිසා මේ ටෙලි නාට්‍ය නරැඹීමෙන් ඔවුන්ට යම් අදහසක් ගන්නටත් හැකියාව තිබෙනවා. මෙය අපේ රූපවාහිනි සේවයේ අලුත් අත්හදා බැලීමක්.

වර්තමානය වනවිට කාලයක් බෙහෙවින් ජනප්‍රිය මාධ්‍යයක් වූ රූපවාහිනියෙන් නරඹන්නන් ඈත් වෙලා. එවැනි කාලයකයි ඔබගේ ආයතනය මෙවැනි වෙහෙසක් දරන්නේ. මේ මඟින් එය සාර්ථක වේවි ද?

වර්තමානයේ ජාතික රූපවාහිනියේ සභාපතිතුමා රවී ජයවර්ධන, අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ශාන්ත, අංශ ප්‍රධානී අතුල රන්සිරිලාල් යන මහත්වරුන් වර්තමානයේ නරඹන්නන්ට ගුණාත්මක දේ දෙන්න මහත් උත්සාහයක් ගන්නවා. ඒ වගේ ම ජාතික රූපවාහිනියේ වටිනාකම වර්ධනය කිරීමටත්, වෙනස් වූ යම් දෙයක් කිරීම මඟින් ජාතික රූපවාහිනිය වටා නරඹන්නන් ඒකරාශී කර ගැනීමටත් ඔවුන් බොහොම මහන්සි වෙනවා.

මීට කාලයට පෙර රූපවාහිනියෙන් විකාශය වූයේ දිනපතා විකාශය වන ටෙලි නාට්‍ය නොවෙයි නේද?

එදා ටෙලි නාට්‍යයක් විකාශය වූයේ සතියකට එක් වතාවක්. මේ නිසා නරඹන්නන් ඒ සතියේ සිට ඊළඟ සතිය දක්වා ඒ නිර්මාණය නරඹන්න බලාගෙන සිටියේ නොඉවසිල්ලෙන්. එකල වර්තමානයේ වගේ දිනපතා ටෙලි නාට්‍ය විකාශය වුණේ නැහැ. ඒ නිසා ඒ විකාශ කාලය ඇතුළත මිනිස්සු බොහොම කැමැත්තකින් ටෙලි නාට්‍ය නැරැඹුවා. අනෙක් කාරණය නම් ඒ කාලයේ ටෙලි නාට්‍යවල උපරිමයෙන් තිබුණේ කොටස් දහතුනක් පමණයි.

ඔබ අධ්‍යක්ෂණය කරන ‘සිත නිවන කතා’ ඒකාංගික ටෙලි නාට්‍ය මාලාව නරඹන්නන් අතර ජනපි‍්‍රයයි. ඉදිරියේදි නව නිර්මාණයක් කිරීමේ යම් සූදානමක් එහෙම තියෙනව ද?

මට තවමත් හිතෙන්නේ මා ඉන්නේ මහමෙර පාමුල බවයි. තවමත් මා මහමෙර නඟිමිනුයි සිටින්නේ. ඒ නිසා මැරෙන්නට පෙර එය තරණය කළ යුතු යැයි කියා මා සිතනවා. ඒ සඳහා විවිධ වූ අත්දැකීම් ලබමින්, ඒවා නිර්මාණයට නඟමින් කාලය ගත කරනවා. ඒ අනුව කාලයකට පස්සේ නිර්මාණයක් කිරීමට මා තීරණය කරලයි තිබෙන්නේ. ඒ ‘කැලෑහඳ’ ටෙලි නාට්‍යයකට නැඟීමයි. එදා මෙන්ම ඒ ආකාරයෙන්ම ‘කැලෑහඳ’ මා ටෙලි නාට්‍යයට නඟන්නයි මා තීරණය කර ඇත්තේ. ළඟදීම ඒ සියලු කටයුතු ආරම්භ කිරීමටයි මා අදහස් කරගෙන ඉන්නේ. මෙහි සම්බන්ධීකරණ කටයුතු කරන්නේ ආරියනන්ද දොඹගහවත්ත මහත්තයා. ඒ වගේ ම චිත්‍රපටයක් කිරීමටත් යම් බලාපොරොත්තුවක් තිබෙනවා. ඊට අමතරව ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව හවුලේ අර්ධ වෘත්තාන්ත නාට්‍ය මාලාවක් කරන්නට හිතාගෙන ඉන්නවා. ඒ සඳහා ඇමෙරිකාවේ ලොකේෂන් පවා බලලයි තිබෙන්නේ.