වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
ගේයපද රචකයකු තමා සිත්ගත් ගීත පිළිබඳ කරන ආවර්ජනය

මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු රහස් අහස් තලයට පවරා

ගේයපද රචක ගීතනාත් කුඩලිගම 

අතීත මතක අතර සැරි සරන්නට මෙවර “මතක ගී පොත” හා එක් වන්නේ ගේයපද රචකයෙක් වන ගීතනාත් කුඩලිගමයි. කොළඹ යුගයේ කවියෙකු වූ එච්.එම්.කුඩලිගමගේ පුතණුවන් වන ගීතනාත් කුඩලිගම පද බඳින ලද ගී පද අතරෙන් “සුළං කෝඩයක මහා මේඝයක”, “බක් මී මලේ බඹරුන් නගේ”, “හෘංගා වනයේ ගුල්ම කුටීරේ”, යන ගී අසන්නන් අතර වඩාත් ජනප්‍රිය විය. එසේම “මාරුතයේ මියුරුසර”, “සසර සැරිසරන තෙක්-පේ‍්‍රමකීර්ති නැවත කියවමු”, “වික්ටර් රත්නායක ගී සියයක් ” ඔහු ලියූ කෘති කිහිපයකි.

රාස්සිගේ අව්ව කවුළුවෙන් පැමිණෙන්නේ මා සොයා යැයි මට හැඟේ. දින කිහිපයක සිට බිමට පතිත වන වර්ෂාව නිසා පීඩා විඳි සිතට අව් දැල්ල සහනයකි. පරිසරයෙහි නිහඬ බව බිඳිමින් පාර කපන බුල්ඩෝසරයේ හඬ අභිබවා ඇසෙන්නේ අසල නිවෙසෙහි රේඩියෝවේ ස්වරයයි. හාන්සි පුටුවට වී හිරු රැස් කිරණෙහි පහසෙන් තුටු වී සිටින මම රේඩියෝවෙන් ඇසෙන සිහින් ස්වරයට සවන් යොමු කළෙමි. මිල්ටන් මල්ලවආරච්චිගේ සුපුරුදු ස්වරය කොපමණ දුරකින් ඇසුණද මට හඳුනා ගත හැකිය. සාදයකදී අහම්බයෙන් හමු වී සුරතේ වෙලී රැඟූ යුවතියක් යළි සොයන මේ ගීතය මට සිහිපත් කළේ ඔහුමය. ඒ කළු ආරච්චිලාගේ දොන් කුමාරසිරි ධර්මවර්ධන නැතහොත් කේ.ඩී.කේ. ය. ගුවන් විදුලියෙහිදී මුණ ගැසුණු සොඳුරු මිනිසුන් අතරෙන් එක් අයකු වූ ඔහු පිළිබඳ ලියන්න යැයි මට ඇරයුම් කළේ තවත් එවැනිම සොඳුරු මිනිසෙකි.

“කුඩලි කේ.ඩී.කේ ගැන ලියන්නකෝ”

ධර්මසිරි ගමගේ නම් වූ ඒ සොඳුරු මිනිසාගේ ඇරැයුම මා කෙසේ නම් අමතක කරන්නද?. ඒ වන විටත් වික්ටර් රත්නායකයන්ගේ ගී සියයක් පිළිබඳ පොතක් ලියා තිබූ මම තවත් පොතක් ලියන්නට අත්පොත් තබන්නට සූදානම් වීමි. ඒ 1996 වසර වග මට මතකය. මමත්,ධර්මසිරි අයියාත්, කේ.ඩී.කේ. සොයාගෙන ගියෙමු. ඔහුව අපට මුණ ගැසුණේ ත්‍රීවීල් එකකදීය.

“අපි ඕක දෙසැම්බර්වලම ආවම කරමු. මම මේ හදන්නේ එයාර්පෝට් යන්න.”

අපගේ සිතැඟි වූ අදහස පිළිබඳව කියූ සැනෙන් ඔහු පැවසුවේ සුහදශීලීවය. ඩුබායි යාමට සූදානම්ව සිටි කේ.ඩී.කේ. නැවත පැමිණීමට නියමිත වූයේ උඳුවප් මහේය. මම ඔහු පැමිණෙන තුරු ඇඟිලි ගැන්නෙමි. එහෙත් සිදුවූයේ අනෙකකි. දිනෙක සීතල උඳුවප් මහේ මා ඇමතූයේ දුරකථන ඇමතුමකි.

“ කුඩලි කේ.ඩී.කේ. අපිව දාලා ගියා.”

ඇමතුම දුන් සහෘදයා කිව්වේ කිසිදිනෙකත් අප අසන්නට බලාපොරොත්තු නොවූ පුවතකි. මා එතැනම තිබුණු පුටුවට බර වූයේ කුමක් කළ යුතු ද යන්න නොහැඟුණු බැවිනි. ඔහු විදේශ ගත වන්නට ප්‍රථම මට දුන් පොරොන්දුව යළි යළිත් සවන් අතර නින්නාද වූයෙන් මම නෙත් වසා ගතිමි. කෙසේ නමුදු ඔහු මට පොරොන්දු වූ අයුරෙන්ම උඳුවප් මහ පැමිණියේය. ඒ ‘කුඩලි’ යැයි සහෘද ලෙස ආමන්ත්‍රණය කරමින් නම් නොවේ. ඔහු සමඟ සුහද ලෙස කතා බහේ නියැළෙන්නට බලා සිටි මම ඔහුගේ දෙණ අසලට වී සුසුම් හෙළීමි. නිහඬව බලා සිටින ඔහුගේ උවන දෙසම බොහෝ වෙලා බලා සිටි අයුරු මට මේ මොහොතෙහිද මැවි මැවී පෙනේ. එනමුදු ඔහු යන්නට ගියේය. ඒ ඔහු පිළිබඳ මතක අපගේ හදවත පත්ලෙහි සිර කරමිනි.

මේ අතීතය සිහිපත් කරන ඔහුගේ ගීත අතරෙන් මේ ගීතයට මම බෙහෙවින් ප්‍රිය කරමි.

තරහාවනු එපා - අයදිම් මා කමා
ඔබ හා මා කළේ කතා
මගෙ යෙහෙළියක යැයි සිතා
ඔබ ඈ වාගෙමයි

පෙනුමින් ගමනින් ඔබ නම් ඈ තමයි
ඇඳුමෙන් බැල්මෙන් ඔබ නම් ඈ තමයි
හසරැල් පවා ඇයගේ වාගෙමයි

පාසල් සමයේ සිට ඈ හඳුනමි
කලකින් ඈ මා හමු වී නැත යළී
එනිසයි මෙසේ මතකේ පැටලුනේ

ගේය පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන

සංගීතය – පැට්‍රික් දෙනිපිටිය

ගායනය – මිල්ටන් මල්ලවාරච්චි

 

මේ ගීතයේ ඇති එක් විශේෂත්වයක් නම් කේ.ඩී.කේ.පද බඳින්නේ පැට්ට්‍රික්ගේ තනුවට වීමය. තනුවට පද යෙදුවද ඒ සඳහා සොඳුරු කතාවක් තේමා වීමද ඔහුගේ ගීතවල ගැබ් වී ඇති අනෙක් විශේෂත්වයයි. මිල්ටන් මල්ලවආරච්චිට ඔහු ලියූ බොහෝ ගීතවල මේ විශේෂත්වය තිබෙන බවද අප අමතක නොකළ යුතු කරුණකි.

වික්ටර් රත්නායකයන් ගයන , ප්‍රේමකීර්ති ද අල්විස් පද බැඳි මේ ගීතයද බෙහෙවින් මගේ සිත් ගත්තකි.

සඳ කැන් වැසිලා අඳුරේ එතිලා
ගනඳුරු රෑ තනිකම නෑ
සොයා එන්න ගනඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණී

ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙළෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වැසියකු සොයනු දැනේ

මා නැත අන්සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන ඉඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස්තලයට පවරා

ගේයපද - ප්‍රේමකීර්තිද අල්විස්

සංගීතය – වික්ටර් රත්නායක

ගායනය – වික්ටර් රත්නායක

 

ප්‍රේමකීර්තිට මා බෙහෙවින් ආදරය කළේය. ඔහුව මට මුණ ගැසුණේ ගුවන්විදුලියේදී බව සැබවි. එහෙත් ඔහු හා වඩාත් කුළුපග වූයේ පිටතදී මී විතක් තොල ගාන අතරතුරේදීය. ඔහුට ගීත ලියන්නට යම් ආවේගයක් අවශ්‍ය බව මට පසක් වූයේ ඔහුගේ ගීත රචනා හා ඊට පාදක වූ කතා පිළිබඳ විමසද්දීය. එවිට ඔහු සුරතෙන් පද බැඳුණු පද රචනා අප පුදුමයට පත් කළේය. මේ ගීතයට ද ඇත්තේ එවැනි පසුබිමකි. ඔහු දයා අක්කාට බෙහෙවින් ආදරය කළේය. වෙන් වී සිටියද ඇය පිළිබඳ නිතරම විමසා බලන්නට ඔහු අමතක නොකළේය. ඒ ආදරය නිසාම ඈ දෙස අන් අයකුගේ නෙත යොමු වූ කලෙක සිතෙහි ඇති වූ වේදනාව ඔහු පද වැලකට ගෙතුවේය.

“මචං මේ සින්දුව සරල ගී වැඩසටහනකට ගයපන්”

ගෙතූ පදවැල ඔහු වික්ටර් රත්නායකයන් අත තැබුවේ සිය දෙනෙතෙහි කඳුළු පොකුරක් නලියද්දීය. ඒ අතීතය සිහිපත් කරමින් මේ ගීතය අසන විට මට සිහිපත් වන්නේ ඔහු පිළිඳ මා ලියූ ග්‍රන්ථයයි. ඊට බොහෝ තොරතුරු සොයා වෙහෙසෙන්නට මට සිදු වූයේ අංග සම්පූර්ණ ග්‍රන්ථයක් පාඨකයා අතට පත් කිරීම උදෙසාය. එහිදී අපූරු කතා බොහොමයක් අසන්නටත්, ලියන්නටත් මා වාසනාවන්ත වූයේය. “ඉන් මිනිසෙකු පිට නැඟී අසරුවෙකි” ගීතය හා සබැඳුණු අපූරු කතාවද මගේ මතකයෙන් කිසිදා ගිලිහී නොයනු ඇත.

සුනිල් එදිරිසිංහට හදිසියේම ගුවන් විදුලියෙහිදී සරල ගීයක් ගැයීමට සිදුවිය. ඒ සඳහා ඔහු ගීතයක් ලියා ගන්නට පැමිණියේ ප්‍රේමකීර්ති ළඟටය. ඔහු ගීතය ලියා දෙන්නෙමැයි පැවසුවද එය දිනෙන් දිනම කල් ගියේය. සුනිල් එනවිට කොහේ හෝ හැංගෙන ප්‍රේමකීර්ති පිළිබඳ බොරු කියන්නට සිදු වූයේ පාලිත පෙරේරාටය. අවසානයෙහි ඔහු එය ප්‍රතික්ෂේප කළේ සත්‍ය කියන බවට කළ ප්‍රකාශයකිනි. ඊළඟ දිනයෙහි සුනිල් ප්‍රේමකීර්තිව අල්ලා ගත්තේය . ඒ ගුවන්විදුලියෙහි ඉදිරිපස තිබුණු පෙට්ටි කඩයෙහි මධුවිත තොලගාමින් සිටියදීය.

“අයියේ, සින්දුව”

ප්‍රේමකීර්ති දුටු විගසම ඔහු පැවසුවේ බලාපොරොත්තු රැසක් හදවතේ තෙරපා ගෙනය. අශෝක වීදුරුව කඩයෙහි තැබූ ඔහුගේ නෙතට ලක් වූයේ බූරු ඇඳෙහි හාන්සි වී රේස් කොළයක් කියවන අයෙකි. එවේලෙහිම කොළයක් සුනිල්ගෙන් ඉල්ලාගත් ප්‍රේමකීර්ති මෙලෙස ලිව්වේය.

“මිනිසෙකු පිට නැඟි අසරුවෙකි
ඒ බර ගෙයි වහළට බරකි
පාන්දරින් පැරැඳුණු ඒ මිනිසා
හැන්දෑවෙත් අසුපිටට නගී”