වර්ෂ 2018 ක්වූ  ජූලි 26 වැනිදා බ්‍රහස්පතින්දා




පද හතරක් තියෙන කවි වගේ ජාතියක්

පද හතරක් තියෙන කවි වගේ ජාතියක්

PRIYANTHA Kodippili

ප්‍රියන්ත කොඩිප්පිලි මාධ්‍යවේදියකු වගේම කවියකු බව පුවත්පත්වලට සහ කවිපොත්වලට ළැදි බොහෝ දෙනා දන්නවා. මුහුණු පොත ඔස්සේත් ඔහුගේ කවි නිරන්තර අපට කියවන්න ලැබුණා. අප එසේ සමාජ මාධ්‍ය ඔස්සේ කියවූ කවි එකතු කොට සැකසූ ප්‍රියන්ත කොඩිප්පිලි ගේ 'කොඩි' පොත ජනගත කිරීම ලබන 31 වැනිදා සවස 3.00ට මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී සිදු වෙනවා. ඒ ගැන ඔහුගෙන් අප විමසුවා....

'කොඩි' වෙනස්ම කවි පොතක්?

ඔව්. මම මුහුණු පොතට ලියූ කවි කිසිම වෙලාවක සැලසුම් කරලා අරමුණක් ඇතුව ලියපුවා නොවේ. ජීවිතේ වරින් වර තැන්තැන්වලදී සිදු වූ දේවල් ගැන ලීවා වාගේම මේකත් හදිසි සිදුවීමක්. මේ නිර්මාණ කවිමද කියන්න මම දන්නේ නෑ. පද හතරක් තිබෙන කවි වගේ ජාතියක්. ඒ නිසා ඒ දේවල් ටිකක් එකතු කරලා පාඨකයාට ඉඩ දෙනවා තීරණය කරන්න. මොකද සමහරු මේවාට කවි කියලා කීවට තවත් සමහරු කීවේ ඒ කවි නොවේ කියලයි. ඉතින් ඒ ඕනෑම ප්‍රතිචාරයක් මම සතුටින් බාර ගන්නවා.

එහෙම නම් ඔබේ නිර්වචනය අනුව කවිය යනු කුමක්ද?

ඇත්තටම මමත් මීට අවුරුදු 10-15 ට පෙර ඔබ ඔය කියන සඳැස්, නිසඳැස් කවි ලියු කෙනෙක් තමයි... තරුණ පරපුරේ කවි කිවිඳීයන් සමග හිටි කෙනෙක්. ඒත් මම පත්තරවලට ආ පසු මගෙන් ඒ කවිය ගිලිහුණා. ඉරුදිනට ආවාම වෙනත් කවීන්ගේ කවි සහ මගේ කවි පිටුවට අදාළ දේවල්වලට අවධානය යොමු කරන්න සිදු වුණා. ඒ එක්කම දිගින් දිගටම මගේ කවි ආකෘතිය නැවතුණා. ඊට අවුරුදු එකහමාරකට දෙකකට වගේ පස්සේ තමයි මේ කවි ලියැවිල්ල සිදු වුණේ. මීට කලිනුත් මම කවි පොත් කළේ කිසිම සැලසුමකින් තොරවයි. මෙයත් කළේ එහෙමමයි. ඉතින් කොයි මොහොතේ මේ දේත් නැවතෙයි ද දන්නේ නෑ. මම විශ්වාස කරන දේ නම් තමන්ගේ හිතට එන අදහසක් එළියට දාන්න ආකෘතිය බලපාන්නේ නැ.

ඉස්සර වගේ නෙවෙයි. මුහුණු පොත නිසා ඕනෑම කෙනෙකුට කලාකරුවකු, කවියෙකු වන්න ලේසියි?

ඇත්ත. ඉස්සර කලාකරුවකු වන්න නම් නිර්මාණ කරලා, ඒවා ජනතාව අතර ප්‍රසිද්ධ වෙලා, පොත් පත් ලියලා, රටේ යම් පිළිගැනීමකට ලක් වූවකු විය යුතුයි. කවියකු වන්නත් ඒ වගේම අමාරුයි. ඒ කාලේ ලේසියෙන් පොතක් මුද්‍රණය කරන්නේ නෑ ආධුනික කවියකුගෙ. දැන් ෆේස්බුක් විතරක් නොවේ මාධ්‍ය සියලු දෙනාට විවෘත වීම නිසා ඕන කෙනකුට ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි මම නම් හිතන්නේ එදා වගේම අදත් යම් යම් සීමා තිබීම හොඳයි කියලා. එහෙම වුණා නම් අද වගේ සුමානෙන් දෙකෙකන් ගැලවෙන චිත්‍රපට දකින්න ලැබෙන්නේ නෑ. ගමන සීමා වෙනවා නම් තමන් කරන දේ පිළිබඳ වගකීමක් ඇතිව නිර්මාණය කරන්න පුද්ගලයින් පෙලඹෙනවා. එහෙම තමන් කරන දේ පිළිබඳ අවබෝධයක් තිබුණොත් පමණයි අනන්‍යතාවක් ගොඩනගා ගන්න පුළුවන්. එනිසා අවකාශය කෙතරම් පුළුල් වුවත් එහි අප කරන්නේ කුමක්ද යන්නයි වඩා වැදගත් වන්නෙ.

කාලයක් කවියට තිබුණේ අඩු සැලකිල්ලක්?

ඔව්. හැබැයි මේ වෙද්දි කවිවලට ප්‍රකාශකයන්ගේ උනන්දුව වැඩි වෙලා තිිබෙනවා. අලුත් ප්‍රකාශකයන් කීපදෙනකු ඉන්නාවා කවියට, කවීන්ට සහාය දෙන. ඒ වගේම ප්‍රකාශන ක්ෂේත්‍රයේ දිගු කලක් නියැළුණු අයත් දැන් කවියට උනන්දු වෙනවා. කවි පොත් පිළිබඳ ප්‍රකාශකයන්ට තිබුණු විශාලතම අඳෝනාව වුණේ අලෙවිය සම්බන්ධවයි. එය ඇත්තෙන්ම ආර්ථිකය සම්බන්ධ ප්‍රශ්නයක්. එත් දැන් දශක දෙකකට එහා තිබුණ තත්ත්වය වෙනස් වෙලා. මෙය සාධනීයයි.

එහි තේරුම වෙනදාට වඩා හොද නිර්මාණද දැන් බිහි වෙන්නේ?

කවි පොත් මුද්‍රණය වනවා වැඩියි. ප්‍රමාණාත්මකවත් කවියන් බිහිවනවාත් වැඩියි. ඉස්සර නම් සීමිත පිරිසක්නේ අඳුනගෙන හිටියේ. දැන් එහෙම නෙවෙයි. කවි කිවිඳීයන් වැඩියි. ඔබේ ප්‍රශ්නයට හොඳම උදාහරණය තමයි මීට වසර කීපයකට පෙර ස්වර්ණ පුස්තක සම්මානය ඇරඹුණේ නවකතාවට සීමා වූවක් ලෙස. එය දැන් කවියටත් ඉඩක් දෙනවා. එයින් කියැවෙන්නේ ප්‍රකාශකයන් පවා දැන් කවියට තැනක් දෙන බවයි. එය නව කතාවට හිමි තැනම නූනත් වර්තමානයේ කවියටත් තැනක් ලැබෙනවා. ඒ නිසා කවින්ටත් තමන්ගේ වගකීම මඟහරින්න බෑ,. ඉතින් අපට සතුටු වන්න පුළුවන් තත්ත්වයක, ගුණාත්මක මට්ටමක ඒ බොහෝ කවි තිබෙනවා කියන්න පුළුවන්.

ප්‍රේක්ෂක රස වින්දනය?

එයත් අනෙක් කාරණාවලට සාපේක්ෂව ඉහළ ගිහින් තිබෙනවා. අප තරුණ කවි-කිවිඳීයන් එකතු කර වැඩසටහන් කළා. එය බොහෝ ජනප්‍රිය වුණා. මකරන්ද කවි වැඩමුළුව වැනි දේ තිඹිරරියාගම බණ්ඩාරත් මමත් එකතුව කරද්දී මේ වගේ උනන්දුවක් ඇති වෙයි කියා හිතුවේ නෑ. ඒ සමඟම ඊට සමගාමීව බිහි වූ තවත් වැඩමුළු වැනි දෑ නිසා රස වින්දනයත් වර්ධනාත්මක තැනකයි අද තිබෙන්නෙ.

ඔබේ කවියට බලපෑ දෙස් විදෙස් කවීන් ඉන්නවාද?

එහෙමම නෑ. හැබැයි මට දෙස් විදෙස් කවීන්ගේ නිර්මාණ සමඟ සමීප ඇසුරක් තිබෙනවා. විදෙස් කවීන්ගේ පරිවර්තන මම හොඳීන් ඇසුරු කර තිබෙනවා. ඒ වුණාට මගේ කවිය ඒවාට ගැති වුණේ නෑ. හැබැයි ඒවා කියවීම කවිකරණයට යම් හේතුවක් වුණා. කවි පමණක් නොවේ පොත පත නාට්‍ය හා සමාජ ඇසුර වැනි වෙනත් බොහෝ දේත් ඊට බලපෑවා.

මුහුණු පොතේ කවි ලියන්න වැඩිපුර බලපෑවේ?

විශේෂයෙන්ම පින්තූරයක් දැක්කාම එයට හතර පද කවි දාන්න හිතුණා. විශේෂ හේතුවක් නිසාම නොවෙයි. ඇත්තෙන්ම ෆේස්බුක් මාධ්‍ය බොහොම සරල තැනක තිබෙන්නේ. ඒ කවි පුවත් පතකට ගෙන යෑමේ අදහසක් තිබුණෙම නෑ. අනෙක මේ ආකෘතිය පත්තරේට ගෙනයෑමේ අපහසුතාවක් තිබෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මාධ්‍ය දෙකේ තාක්ෂණික අපහසුතා නිසා අදහස අල්ලා ගන්න බැරි වන්නත් පුළුවන් . සමාජ ජාලවල ඉන්න බොහෝ දෙනා කියනවා කමෙන්ට්ස් ලයික් ගැන හිතන්නේ නෑ කියලා. ඒත් මට නම් ඒ ප්‍රතිචාර වැදගත්. මම ඒවාට හිස නමනවා. හැබැයි වැඩිපුර කමෙන්ට්ස් ආවාට අනවශ්‍ය තරමට උද්දාම වන්න හෝ අඩු කමෙන්ට්ස් නිසා සැලෙන්නේ නෑ. ඒත් වෙන කවියකදී ඒ ප්‍රතිචාර වැදගත් කර ගන්නවා මිස.

කොඩි පොතට ඇතුළත් කළේ මොනවගේ කවිද?

විවිධ ආකාරයේ කවි. සමාජ දේශපාලන කරුණු සම්බන්ධව දැඩි විවේචනයට ලක් වූ ඒවා සහ උපහාසාත්මකව ලියැවුණු ඒවා. ඒ අතර සමාජ සංස්කෘතික වශයෙන් වැදගත් වූ චරිත පිළිබඳ ලියවුණු සමහර ඒවා ඒ දෙස උවමනාවෙන් එබි බලා ලියූ කවි. දැන් බලද්දි සමහර විට කොහොමද මම ඒ කවිය ලීවේ කියලා මටම පුදුම හිතෙනවා. පසුගිය වසර එකහමාරක පමණ කාලය තුළ ලියවූ ඒවායින් තෝරාගත්, ඒ වගේම තාක්ෂණික කරුණුවලට ගැලපෙන කවි 100-120ක් අතර සංඛ්‍යාවක් කොඩි පොතට ඇතුළත් කළා.

ප්‍රමාදය ප්‍රමෝදයට බාධා කරයි කියන්නේ මොකද?

ඔව්. ජුලි 31 කොළඹ 07 මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී හරියට හවස 3ට පොත එළි දැක්වීමේ උත්සවය පටන්ගන්නවා. උනන්දු අයට වෙලාවටම එන්න කියලා ආරාධනා කරනවා. ෆේස් බුක් එකේ වගේම විඳීන්න. වෙලාවටම පටන් ගන්න නිසා ප්‍රමාද වීම රසවින්දනයට බාධාවක් වෙන්න පුළුවන්.