වර්ෂ 2016 ක්වූ  ජූනි 01 වැනිදා බ්‍රහස්පතින්දා




සු.මි සමුගනී

සු.මි සමුගනී

සරසවිය හිටපු කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, ප්‍රවීණ සිනමා විචාරක, ලේඛක සුනිල් මිහිඳුකුල පසුගිය 30දා (අඟහරුවාදා) අභාවප්‍රාප්ත වූ වග සරසවිය සාතිශය සංවේගයෙන් යුතුව දැනුම් දෙයි. ඔහුගේ අවසන් කටයුතු අද සවස කොට්ටාව රුක්මල්ගම පොදු සුසාන භුමියේදී සිදු කෙරේ. දේහය මේ වන විට අංක 95/10, පැතුම් උයන, රුක්මල්ගම, කොට්ටාව, පන්නිපිටිය ලිපිනයෙහි තැන්පත් කොට තිබේ. සුනිල් සරසවිය සිනමා පුවත්පතේ දස වැනි කර්තෘවරයාය. එමෙන්ම 30 වැනි සරසවිය සම්මාන උලෙළ සංවිධානය වූයේ ද සුනිල් අතිනි. සු. මි. යන අනවර්ථ නාමයෙන් පුවත්පත් ලෝලීන්ගේ කුතුහලය සංසිඳුවමින් පැනයන්ට පිළිතුරු සැපයූවේ ද සුනිල් විසිනි. ඔහු විසින් සිනමා ග්‍රන්ථ රැසක් ද සම්පාදනය කර ඇත. සුනිල්ගේ බිරිය වූ සුරාජි කරුණාතිලක රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවය කරයි. ඔහු පුතුන් සිව් දෙනකුගේ දයාබර පියෙකි. අසනීප වූවායින් පසුව ද සරසවියට ලිපි සැපයූ සුනිල්ගේ අහිමි වීම පිරවිය නොහැකි හිඩැසකි. අපි ඔහුට නිවන් සුවය පතමු.


28 හෙට එයි

ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ ඔහුගේ නවතම සිනමා සිතුවම 28 මෙම මස 02 වැනිදා සිට සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීම ආරම්භ වේ. මහේන්ද්‍ර පෙරේරා, සේමිණී ඉද්දමල්ගොඩ, සරත් කොතලාවල, රුක්මාල් නිරෝෂ්, දයා තෙන්නකෝන් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති. ප්‍රසන්න විසින් තිර රචනය කළ 28 සිනමාපටයේ චන්දන ජයසිංහ කැමරාව අධ්‍යක්ෂණය කොට තිබේ. රසිත ජිනසේන විධායක නිෂ්පාදනයෙන් ද, රංගන සිංහාරගේ සංස්කරණයෙන් ද, දේශක බමුණුමුල්ල සංගීත අධ්‍යක්ෂණයෙන් ද 28 සඳහා එක්ව තිබේ. නුවන් සනුරංඛ කලා අධ්‍යක්ෂවරයාය. මෙහි කතා මූලාශ්‍රය සිසිර තඩිකාරගෙනි. නිශාන්ත පද්මකුමාරගේ නිෂ්පාදන අධීක්ෂණයෙන් නිම වූ 28 හි චමින්ද පෙරේරා සහාය අධ්‍යක්ෂවරයාය. සුමුදු වෙල්ලාලගේ රේඛීය නිෂ්පාදකවරයා වේ. නාරද තොටගමුවගේ අංග රචනයකි.


 

තිරගත වූයේ 26 දා

මංගල දර්ශනය අද

නිනෝ ලයිව් අලුත් වැඩක්

මංගල දර්ශනය නොතබමින් තිරගතවීම ඇරැඹි නිනෝලයිව් සිනමාපටයේ මංගල දර්ශනය අද දින ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්වේ. සම්ප්‍රදායට අනුව සිනමාපටයක් තිරගතවීම සිදුවන්නේ මංගල දර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුවය. එහෙත් එම සම්ප්‍රදාය බිඳලමින් පසුගිය මස 26 වැනිදා සිට එම්. පී. අයි. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී නිනෝලයිව් තිරගතවීම ආරම්භ විය. නව පරපුරේ සිනමාකරුවන්ගේ ආගමනය ආරම්භය සිදු වූ නිනෝලයිව් සිනමාපටයේ අධ්‍යක්ෂවරයා තිසර ඉඹුලානයි. සුනිල් ගුප්තාගේ නිෂ්පාදනයක් වූ මෙහි නිනෝ අරලිය ජයකාඩි, චාන්දනී සෙනෙවිරත්න, දසුන් පතිරණ, යුරේනි නොෂිකා, ජගත් මනුවර්ණ, උමාලි තිලකරත්න, බන්දුල විතානගේ, තුසිත ලක්නාත්, තිලක් ශාන්ත, රුචි දිසානායක, චාමර ප්‍රසාද් ආදීහු රංගනයේ යෙදෙයි. නිනෝලයිව් නිෂ්පාදන බෙදා හැරීම සුනිල් ටී. ප්‍රනාන්දුගෙනි.

සටහන් - ප්‍රසාද් සමරතුංග


රයිනි - වින්ඩි ප්‍රසංග සංචාරයක

රූකාන්ත - චන්ද්‍රලේඛා සිය දියණියන් දෙදෙනා වන රයිනි සහ වින්ඩි සමඟ මෙම මස 02 දා එනම් හෙට සිට 24 දක්වා ප්‍ර‍්‍රසංග හතරකින් සමන්විත ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත සංචාරයක නිරතවීමට නියමිතව ඇත. මේ සඳහා නව පරපුරේ කතාබහට ලක් වූ ගායන ශිල්පියකු වන සනුක වික්‍රමසිංහ ද සහභාගි වීම විශේෂත්වයකි. මේ සඳහා කථනයෙන් කැළුම් ශ්‍රිමාල් දායක වේ. ප්‍රසංග මාලාවේ සංගීත අධ්‍යක්ෂණය සුරේෂ් මාලියද්දගෙනි.


රයිගම් ටෙලීස් කල් යයි

මෙම මස 03 වැනිදා එනම් එන ඉරිදා දින ජනපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ රයිගම් ටෙලීස් 2017 සම්මාන උලෙළ එදින නොපැවැත්වෙන බව එහි සංවිධායක මණ්ඩලය සරසවියට දන්වා තිබිණ. මේ වන විට රටේ පවතින හදිසි ව්‍යවසනකාරී තත්ත්වය හේතුවෙන් එය දින නියමයකින් තොරව කල් දමා තිබේ. රයිගම් ටෙලීස් 2017 යළි පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.


වැඩිම මනාපය ඕෂධීට

යුරෝපයේ පසුගියදා පැවති විවාහක රූ රැජින තරගාවලියකදී වැඩිම ජනතා මනාපය හිමිකරගත් තරගකාරිණිය ලෙසට මෙරට නියෝජනය කරමින් ඊට සහභාගි වූ ඕෂධී හේවාමද්දුම කිරුළු පැළැඳීය. තරගකාරිණියන් රාශියක් අතරින් ඇය මෙලෙස එම අංශයෙන් ජයග්‍රහණය ලැබුවේ අප රටට කීර්තියක් අත්කර දෙමිනි. ඇය මෙම සමස්ත තරගාවලියේ ජයග්‍රාහිකාව ලෙස පළ වූ ප්‍රවෘත්තිය සාවද්‍ය එකකි.


තරු යුවළක් අසනීපෙන්

පුංචි තිරයේ ජනප්‍රිය තරු යුගළයක් මෙන්ම නව පරපුරේ ජනප්‍රිය අඹු සැමියන් යුවලක් ද වූ හර්ෂණ බෙත්මගේ සහ වොල්ගා කල්පනි හට ඩෙංගු රෝගය වැලඳී මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින වග සරසවියට වාර්තා විය. මේ හේතුවෙන් ඔවුන් ආරම්භ කිරීමට නියමිතව තිබූ නව ව්‍යාපාර කටයුත්ත ද කල් දැමූ බව ඔවුන් අපට දැන්වීය.