|
මචං, සුනිල්මචං, සුනිල්.අප හැමෝම ඔහු ඇමතුවේ එහෙමය.ඔහු මට වඩා වැඩිමහල්ය.එමෙන්ම විටෙක ගුරුවරයෙකි.ඒ ඔක්කෝම කාරණා එකතු කළ ද දැවැන්ත යාළුකමක් ද අප අතර විය.හමු වූ මුල් දවසේ ඔහු මා ඇමතුවේ සහෝදරයා යනුවෙනි.එය මට ඇල්ලුවේ නැත. සුනිල් ගේ සාමාන්‍ය වාග්කෝෂයේ සහෝදරයායැයි පැවසුවේ ඉඳහිටය.ලෙල්ලටම තදවෙන දවසක සුනිල් කවුරුන් හෝ අමතන්නේ අයිසේ කියාය. නැත්නම් අපි මචං ලා වීමු.පසුගිය මාස දෙකක කාලය ඇතුළත මා සුනිල් පිළිබඳ ලියන තුන් වැනි ලිපිය මෙයයි. පළමු වැන්න මහාචාර්ය සමන්ත හේරත් සහ කිවිවර බුද්ධදාස ගලප්පත්ති විසින් සංස්කරණය කරන ලද සුනිල් පිළිබඳ අභිනන්දන ග්‍රන්ථය වෙනුවෙනි.දෙවැන්න එම උත්සවය වෙනුවෙන් සරසවිය පුවත්පතට කතුවැකියක් හැටියටය.මේ තෙවැන්නයි. කිසිවකු ගේ උපතේ දී හෝ විපතේ දී ඇති වන ඇත්ත හැඟිම කිසිවකුට හෝ විස්තර කර දිය නොහැක. උත්පත්ති මොහොතේ ඇති වන හැඟිම විස්තර කළ හැකි කිසිවකු මිහිමත නැත.මරණයේ දී ඇති වන හැඟිම ද දැන ගන්නට විධියක් නැත. මරණයෙන් පසු එය විස්තර කරන්නට ද නොහැක. යම් යම් ආගමික මතවාද වල එබඳු හැඟිම් විස්තර කිරීම කොයි හැටි වෙතත් කෙනෙකුගේ පෞද්ගලික හැඟිම දැනවිය හැකි ක්‍රමවේදයක් නැත. එහෙත් සරසවිය පුවත්පත හොබ කළ කතුවරයකු වු මා මිත්‍ර සුනිල් මිහිඳුකුළට මරණය ශාන්තියක් වන්නට ඇතැයි මම සිතන්නෙමි. ඒ අවසාන දවස් කිහිපයෙහි සුනිල් විසිනු අත් විඳීනා ලද්දා වූ වේදනා සමූහය එයින් කෙළවර වන නිසාවෙනි. සුනිල් ජීවත් වූයේ අවුරුදු පනස් අටකට ආසන්න කාලයකි.එය ඉතා කෙටි කාලයකි. එහෙත් ඔහු ඇතැමුන් විසින් සියවසක් නොකරන දෑ කළේය. 1960 වසරේ සැප්තැම්බර් 22 වැනි දින මීගමුවේ උපත ලද මිහිදුකුළසූරිය සුනිල් කයිතන් ප්‍රනාන්දු 2017 වසරේ මැයි මස 30 වැනි දින මෙලොව හැර ගියේ සුනිල් මිහිඳුකුළ නමින් කීර්තිමත් නමක් ඉතුරු කර ගෙනය. දක්ෂතා ඇති කිසිවකු දැක්කේ නම් නොපැකිලවම ඔහු සොයා ගියේය. ප්‍රශංසා කළේය.නැගී සිටින්නට අත දුන්නේය. පත්තර කලාවට ඔහු යොමු වන්නේ මව්පිය උරුමයෙන් නොවේ. පත්තර රස්සාව ට ඔහු ඉහලින් ඔසවා තැබුවෙක් ද නොවේ. කට්ට කා ආ ගමනකි.අඩියෙන් අඩිය පැමිණි ගමනකි. පුවත්පත් කලාවට යොමු නොවුනා නම් ව්‍යාපාර කෙෂත්‍රයේ රස්සාවක් හෝ සිනමා කර්මාන්තයට හෝ යොමු වන්නට සුනිල්ට ඉඩ තිබිණ. එහෙත් උරුම ව තිබුනේ සිනමා පත්තර කලාවය. ලේඛන වෘත්තියයි.කලකට ඉහත සුනිල් සිනමා තිර රචනයක් ලිව්වේය. එය කිසි දිනක සිනමා කෘතියක් නොවීය. එහෙත් සුනිල් සිනමාව ගැන කලාව ගැන දිගට හරහට ලිව්වේය. ඒ සියල්ල නිකම් ම නිකම් ලිපි නොවීය. සාරගර්භ ලිපි විණ. සුනිල් අලුත් පරම්පරාවේ මාධ්‍යෙව්දින්ට ආදර්ශයකි. ඔහු නිතරම කියෙව්වේය. දැනුම යාවත්කාලින කළේය. අවසාන මොහොතේ පෑනට වෙර නැති දවස දක්වාම ලිව්වේය. සුනිල් ජීවිතයේ අවසන් මොහොතට පැමිණ ඇතැයි මට හැඟුණේ ඔහුගේ පුත් ශෙහාන් මා අමතා තාත්තා මේ සතියේ ලියන්නට බැහැයි කී වග දැන් වූ විටය. එසේ නොවන්නට සුනිල් ගේ ජීවිතය වූයේ ලිවීමය. සමහර පුවත්පත් කලාවේදින් ලියන්නට කම්මැලිය. සමහරුනට භාෂාව නිවැරදිව ලිවිය නොහැක. එහෙත් සුනිල් මිය යන තුරුම භාෂාව හැදෑරුවේය. ඔහු නිවැරදිව ලිව්වේය.සිනමාව හා කලාව පිලිබඳ නිරන්තර හැදෑරීමක් කළේය. ඔහු පුවත්පත් කලාවට යොමු වන්නේ සිනමාවට ඇති ඇල්ම නිසාය. ඒ හැත්තෑව දශකයේ අග භාගයේය. මීගමුවේ උපන් නිසාවෙන් සිනමාවේ ඉතිහාසය ද දූවේ පාස්කු අත්දැකීම ද සුනිල්ට උරුමව තිබිණ. බොහෝ පැරණි සිනමා කලාකරුවන් ගැන ඔහු දැන සිටියේය. මීගමුවේ සිනමා ශලාවල තිර ගත වූ කිසිදු චිත්‍රපටයක් ඔහුට ගිලිහුනේ නැත. මීගමුවේ මාරිස්ටෙලාව යනු බී.ඒ.ඩබ්ලිව් ජයමාන්න ලා ඉගෙන ගත් පාසලයි. සුනිල් මිහිඳුකුල ද මාරිස්ටෙලාවේය. රන්ජන් මෙන්ඩිස් සහ ක්ලීටස් මෙන්ඩිස් සුනිල්ට ඉහල පන්තියකය.සුපිරි නළු රන්ජන් රාමනායක සුනිල් ට පහල පන්තියකය. හැත්තෑව දශකයේ අග සිනමා කලාව ගැන අලුත් අදහස් සහිත සිනමා විචාරශීලී තරුණ පෙළක ද ආරම්භය විය. සුනිල් ද ඔවුන්ට එක්විය. ඔවුන් වාමාංශික මතවාද හරහා පෝෂණය ලද වුන්ය. ගරු අර්නස්ට් පෝරුතොට පියනම විසින් මෙහය වන ලද කතෝලික සිනමා පර්ෂදයේ සිනමා හමු එයට තෝ තැන්නක් විය. සුනිල් පුවත්පත් කලාවට යොමු කරනුයේ ප්‍රවීණ සිනමා විචාරක ගුණසිරි සිල්වාය. ඒ සකුරා පුවත්පත් හරහාය. එතැන් පටන් සුනිල් සිනමාව ගැන කලාව ගැන පමණක් නොව කලා ලෝකයේ නම ගිය හැම කෙනෙක් ගැනම විදග්ධ සංවාදයේ යෙදිණ. ඒ සියල්ල ලිපි බවට පරිවර්තනය කොට පාඨකයා අතට පත් කළේය. දෙසතිය, රාවය,විචිත්‍ර, පෙරමග, කල්පනා වැනි සඟරා පමනක් නොව දිනපතා පළවන පුවත්පත් වල පවා සුනිල්ගේ ලිපි අඩංගු විය. මහාචාර්ය සරච්චවන්ද්‍ර, පණ්ඩිත් අමරදේව, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් , චිත්‍රසේන ආදින් සමග කළ විදග්ධ සංවාද එකල අපගේ දැනුම සහ මතවාද ඔපවත් කළ බව ලියා සිටිනුයේ සුනිල්ට ගෞරවයක් හැටියටය. සුනිල් ලේක් හවුස් ආයතනයට ගොඩ වැදුණේ දිනමිණ කතු මඩුල්ලටය. අනතුරුව ඔහු සරසවියට එක් විය.පසුව සුනිල් සරසවිය කර්තෘ පදවියට ද පත් විය. එයට පෙරාතුව ඔහු සරසවිය නියෝජ්‍ය කර්තෘ පදවිය ද දැරුවේය. ලේක් හවුස් ආයතනයෙන් ගිය වසරේ විශ්‍රාම යන විට සුනිල් සිළුමිණ පුවත්පතේ සම කතුවරයෙකි. රසඳුන පුවත්පතේ කතුවරයාය. සුනිල් උපතින් කතෝලික වුව ද ජීවත් වූයේ බෞද්ධයකු හැටියටය.ඔහු බොහෝ බෞද්ධ පුවත්පත් කියැව්වේය.එහෙත් ඔහු කතෝලික බැතිමතෙකු විය. ඔහුගේ කියැවීම එක් විෂයකට සීමා වූයේ නැත. අගනා ග්‍රන්ථයක වටිනා යමක් වෙතොත් එම දැනුම ඔහු සිය සගයන්ට ද කියා පෑවේය. සුනිල් ආයතනයේ රාජකාරියෙන් විශ්‍රාම ගිය ද සේවයෙන් විශ්‍රාම ගියේ නැත. ඔහු දිගටම ලිව්වේය. හැමදාම සරසවියට ඇළුම් කළ සුනිල් එතුවක් සිළුමිණ ට ලියන ලද සු.මිගෙන් අහන්න ලිපි මාලාව මෙන්ම නාට්‍යයකරුවන් ගැන ද ලිපි පෙළ ක් ද ලිව්වේය.එහි ඊළගට ලියන්නට හිටියේ ජයන්ත චන්ද්‍රසිරි ගැන වුවත් එය ලියන්නට පෙරාතුව සුනිල් සමු ගත්තේය.සුනිල් විසින් අත දෙන ලද එක් අයෙක් හෝ පෙන්වන්නට යැයි කිසිවකු කි කළ මට පැහැදිලිව පෙන්විය හැකි එක් අයෙකු සිටී.ඒ වෙන කවුරුව්ත් නොව මාගැනමය .ම විසින් ලියන ලද ලිපි කිහිපයක් දැක ගත් සුනිල් ලිපිනය සොයා ගෙන මගේ නිවසට පැමිණියේ වසර තිහකට පෙරාතුවය. කිසිවක් හෝ නොදැන සිටි මා එදිනම සුනිල් රැගෙන ගියේ ප්‍රේම් දිසානායක මහතාගේ සංස්කරණයෙන් යුත් විචිත්‍ර පුවත්පතටය. එය මගේජීවිතයට නොසිතූ ආලෝකයක් විය. සුනිල් ට ඒ වන විටත් ප්‍රබුද්ධ පාඨකයන් අතර නමක් තිබිණ. ලේක් හවුස් ආයතනයෙන් වෙන්ව ගිය පසුව ද සුනිල් සහ මම නිකර හමුවීමු. එක්කෝ ඔහු ආයතනයට පැමිණෙයි. නැත්නම් දුරකතනයෙන් කතා කරයි. මචං අද අර පත්තරේ හොඳ අලුත් කොල්ලෙක් ගේ ලිපියක් තියෙනවා. ඔහු පවසයි. නැත්නම් අපට හසු නොවුන විශේෂාංගයක් ගැන ඔහු කියා සිටියි. ඉතා හදිස්සියෙන් හොඳ ලිපියක් ඇවැසි කළ මා අමතන්නේ ද සුනිල්ටය.වැඩ කටයුත්ත සියයට සියයක් ෂුවර්ය.එයට හේතුව සුනිල් සතු දැනුමය.සිනමාවට කලාවට ආදරය කළ ඒ නිසාම මහා කලාකරුවන්ගේ ආදරයට ලක්වුණ සුනිල් වෙන්ව යනුයේ පුවත්පත්කලාවේ එක් යුගයක් පිළිබඳ මතකය රැගෙනය. ඔහු සමග අවසන් ගමන් යන්නේ හැම විටම නිර්ලෝභී ව කාටත් බෙදා දුන් දැනුම සම්භාරයයි.සුනිල් සිය පොත්ගුල ලේක් හවුස් ආයතනයට පරිත්‍යාග කළේය. එහෙත් ඒ සියල්ල කැටි කළ ඔහුගේ දැනුම රැගෙන යන්නේය. සුනිල් ගේ සමුගැන්මට පෙර මහාචාර්ය සමන්ත හේරත් සහ කිවිවර බුද්ධදාස ගලප්පත්ති එකතුවෙන් අභිනන්දන උත්සවයක් පැවැත්විණ.එහි පැමිණි සිය හිතවතුන් කලාකරුවන් දැක සුනිල් සතුටින් ඉපිල ගියේය.එදා සුනිල් සිය කතාවේ දි සියල්ල සිනහ ගැන්වූයේය.ඒ සිනහවේ මතකය ඔහු අපට ඉතිරි කර දුන්නේය. සරසවිය පාඨකයන් වෙනුවෙන් සුනිල්ගේ දයාබර භාර්යාව සුරාජි ඇතුළු දරුවන් සිව්දෙනාටම සාතිශය සංවේගය පුද කරන්නට මෙය අවස්ථාව කර ගනිමි. |