වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




රඟපාන්න දෙයක් තිබූ ලියන මහත්තයාට සාධාරණය ඉටු වුණා

රඟපාන්න දෙයක් තිබූ ලියන මහත්තයාට සාධාරණය ඉටු වුණා

කුසලතා ඇගැයුම් ලද ලාල් කුලරත්න

අද ටෙලි නාට්‍යක් හරි චිත්‍රපටයක් හරි කරන කොට ලොකු මුදලක් යට කරන්නේ ලොකේෂන් හොයන්න, නළු නිළියන්ට ගෙවන්න වගේ නොයෙකුත් බාහිර දේවල්වලට මුල් තැන. කවදාවත් පිටපතට දෙන්නේ නැහැ. පිටපත හොඳ වුණොත් විතරයි නිර්මාණය සාර්ථක වෙන්නේ. පිටපත තමයි නිර්මාණයේ හදවත. පිටපත තුට්ටුවට දෙකට දාලා නිර්මාණ කරන්න ගිහින් තමයි අද මේ කර්මාන්තයට හෙනහුරු පාත් වෙලා තියෙන්නේ. පිටපතට හොඳට ගෙවලා හොඳ නිර්මාණයකට අත දානව කියන්නේ සියලු දෙනාම ගොඩ කියන එක. මගේ අත්දැකීම් එක්ක තියෙන එකම අදහස පිටපත නම්බ වන්. අද වෙලා තියෙන්නේ පිටපතට අන්තිම තැන. ඒක මහා අවාසනාවක්.

නිරන්තරයෙන් අව්‍යාජ ගැමිකම හා බැඳුණු රංගනයෙන් ද නොඑසේ නම් ප්‍රහසනාත්මක රංගනයේ නියැලිය ද ඔහු කවදත් ප්‍රේක්ෂකයාට නැවුම් වූ ආශ්වාදයක් ගෙන ආ රංගන ශිල්පියෙකු විය. ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබමින් අදත් රංගනයේ නියැලෙන ප්‍රවීණ රංග ශිල්පී ලාල් කුලරත්න පසුගියදා නිමාව දුටු තිස්තුන් වන සරසවිය සම්මාන උළෙලේදී සුහද කොකා චිත්‍රපටයේ ලියන මහත්තයා චරිත නිරුපණය වෙනුවෙන් සරසවිය කුසලතා සම්මානයට පාත්‍ර විය. සිය රංගන ජීවිතයේ මුල්වරට සරසවිය සම්මානයකින් පිදුම් ලැබීමේ දුර්ලභ භාග්‍යයට හිමිකම් කියූ ලාල් කුලරත්නයන් හා කතාබස් කරමු.

* ඉකුත් වූ වසර අවසානය ඔබට සතුටුදායක වසරක අවසානයක් වුණා?

නෑ කියන්න බෑනේ මම ජීවිතයේ මුල්වරට මගේ රංගන ජීවිතයේ සරසවිය සම්මානයකින් ඇගැයීම ලැබීමට මම වාසනාවන්ත වුණා. ඉතිං සතුටක් නැද්ද?

* සුහද කොකා ඒ අසිරිමත් සම්මානයේ හිමිකම ඔබට උරුම කළා?

2015 වසරේ සුහද කොකා නරඹලා ප්‍රේක්ෂකයෝ සතුටු වුණා. මම ඒ චිත‍්‍රපටයේ රඟපෑවේ ලියන මහත්තයා චරිතය. මේ අයුරින් විද්වත් මණ්ඩලයක් ඉදිරියේ ඇගැයුමට ලක්වීම ගැන ඇත්තෙන්ම සතුටුයි. මම රඟපෑ ලියන මහත්තයා වෙනුවෙන් ප්‍රේක්ෂකයෝ 2015 වසරේ සතුටක් ලැබුවා. මම 2016 වසරේ ඒ චරිතය රඟපෑම වෙනුවෙන් කුසලතා සම්මානයක් ලබලා සතුටක් ලැබුවා.

* ඔබ එදා සම්මාන උලෙළට පැමිණියේම සම්මානයක බලාපොරොත්තුවක් ඇතුවමද?

නැත්තේම නෑ. වර්ෂය පුරා නිර්දේශිත නම් තිබූ චිත්‍රපට දිහා බැලුවහම මම විසින්ම තීරණයක් ගෙන තිබුණා. සම්මානයක් කෙසේ වෙතත් අඩුම තරමින් නිර්දේශිත නාමාවලියටවත් මගේ නම ඇතුළත් වෙයි කියලා.

* සුහද කොකා රූගත කරන වකවානුවේම දර්ශන තලයේදීම ඔබේ සහෝදර කලා ශිල්පිණියක් ඔබ රඟපෑ ලියන මහත්තයා චරිතය ගැන අනාවැකියක් කිව්වා කියන කතාව මොකක්ද?

මේ චිත්‍රපටයේම රඟපෑ කුසුම් රේණු මට කිව්වා අයියේ ඔයා රඟපාන ලියන මහත්තයා කැරැක්ටර් එක තමයි මේ චිත්‍රපටයේ රංගනයෙන් දෙයක් කරන්න තියෙන්නේ. ඒ අතින් ඔයා හරිම වාසනාවන්තයි කියලා කිව්වා. කොහොම හරි චිත්‍රපටය තිරගත වෙන කොටත් කුසුම් මට කිව්වා අයියාගේ කැරුක්ටර් එක තමයි චිත්‍රපටයේ නියමෙට තියෙන්නේ කියලා. කොහොම හරි කුසුම් කිව්ව දේ විනිශ්චය මණ්ඩලයත් අනුමත කරලා තිබුණා. මම සම්මානය ගත්තාට පස්සේ ඇයට මේ අතීත කතාව දුරකථනයෙන් කතා කරලත් කිව්වා.

* මේ දවස්වල ඔබේ රංගන කටයුතු එහෙම කොහොමද?

මම රංගනයේ නියැලෙන ටෙලි නාට්‍ය කීපයක්ම මේ දවස්වල විකාශය වෙනවා. නෙතු, එහෙත් එහෙමයි, මෙඩිසිනා. මේ ටෙලි නාට්‍ය සතිය පුරා විකාශය වෙනවා.

* කොහොමද මේවායේ රංගනයන් වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර?

බොහොම හොඳයි. නෙතු ටෙලි නාට්‍යයේ මම සේනාධීර. වයසට වඩා තරුණ වෙන්න උත්සාහ කරන නිදහස් මනුස්සයෙක්. එහෙත් එහෙමයි ටෙලි නාට්‍යයේ යම රජ්ජුරුවන්ගේ උපදේශක. මෙඩි සිනා ටෙලි නාට්‍යයේ සිකුරිටි ඔෆීස . හැබැයි මේ දවස්වල මඟ තොටදීත් වැඩිම ප්‍රතිචාරයක් ප්‍රේක්ෂකයන්ගෙන් තියෙන්නේ යම උපදේශඛ කැරැක්ටර් එකට.

* මේ වෙන කොට ඔබේ කලා ජිවිතයේ දශක කීපයක් පසු කරලා?

මම හිතන්නේ මගේ කලා ජීවිතයට මේ වෙන කොට වසර හතළිහක්. මේ දශක හතර පුරාවට මම රඟපෑව චිත්‍රපට ප්‍රමාණය දහයක් විතර ඇති. හැබැයි ටෙලි නාට්‍ය සියයත් ඉක්මවලා.

* ඔබ සරසවිය සම්මානයට පාත්‍ර වූ ලියන මහත්තයා කැරැක්ටරයේ සැබෑ රහස මොකක්ද?

චිත්‍රපටයේ පිටපතේ ගෞරවය හිමි විය යුත්තේ ගිරිරාජ් කෞශල්‍යට. ඔහුගේ පිටපත් රචනයේ තිබුණු හාස්‍ය මුසු ලියන මහත්තයාගේ චරිතය තමයි මම කළේ. මම කලේ ගිරාරාජ් ලිව්ව පිටපතට පණ දෙන එක විතරයි. කොමඩි පිටපතක් ලියන එක ලේසියෙන් කරන්න බෑ. ඒත් ගිරිරාජ් ඒ කටයුත්ත හරි අපූරුවට කරලා තිබුණා. සමහර අය ලියන පිටපත් තියෙනවා පිටපත දැක්කම ප්‍රේක්ෂකයන්ට නෙමේ අපිටයි හිනා යන්නේ. අවශ්‍ය වෙන්නේ රඟපාන අපි හිනා වෙන එක නෙමේ. අපි කරන දේ කියන දේ අහලා ප්‍රේක්ෂකයා හිනාවෙන එකනේ.

* ටෙලි නිර්මාණ වෙනුවෙන් ඔබට ආරාධනා ගලාගෙන ආවත් චිත්‍රපට නම් ලැබෙනවා අඩුයි වගේ?

සුහද කොකා රඟපෑවට පස්සෙ එක චිත්‍රපටයකට ආරාධනාවක් ලැබුණා. එත් මට ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වුණා අශ්වයෙක්ගේ පිටේ යන්න තිබුණ නිසා. ඒකට හේතුව මම ඔපරේෂන් එකක් කරලා ඉන්න පුද්ගලයෙක් වීම.

* ඔබ රංගනයට අමතරව ටෙලි නාට්‍ය නිෂ්පාදනයටත් යොමු වුණා?

චන්ද්‍ර හේවාපතිරණ අධ්‍යක්ෂණය කළ තීර්ථ තරණය ප්‍රසාංගික ටෙලි නාට්‍යය මම මුලින්ම නිෂ්පාදනය කරමින් රඟපෑවා. ඊට පස්සේ චන්ද්‍රහේවා පතිරණ අධ්‍යක්ෂණය කළ ළෙන්ගතු අසපුව ප්‍රසාංගික ටෙලි නාට්‍යය මම නිෂ්පාදනය කළා. එහි රඟපෑම වෙනුවෙන් හා නිෂ්පාදනය වෙනුවෙන් සුමති සම්මාන උලෙළේ මට කුසලතා සම්මානය හිමි වුණා.

* ඔබ පිටපත් රචනයේ ද නව ඉසව්වක් සොයා යන පුද්ගලයෙක්?

මම දැන් පිටපත් ලිවීමත් කරන්න පටන් ගත්තා. අජිත් ලොකුගේ අධ්‍යක්ෂණය කළ චන්දන ලියන ගුණවර්ධන නිෂ්පාදනය කළ නාඩගම් සභා ටෙලි නාට්‍යයට මම පිටපත ලිව්වා. මේ වන විට ඒ නාට්‍යයේ රූපගත කිරීම් පවා අවසන් කරලා ප්‍රදර්ශනයට සූදානම් කරලා තියෙන මොහොතේ ආයෙත් මට තව කොටස් හැටක් දක්වා ලියන්න කියලා ආරාධනයකුත් කරලා තියෙනවා.

* ඔබගේ විශිෂ්ට රංගනයක් ඇතුළත් ටෙලි නිර්මාණයක් අදත් ප්‍රේක්ෂකයන්ට දැක ගන්නට නොලැබී තියෙනවා නොවේද?

සසර සක්මන් කියන මේ ටෙලි නාට්‍ය දැනට අවුරුදු තුනකට ඉස්සෙල්ලා කරලා ඉවර කරපු ටෙලි නාට්‍යයක්. ප්‍රදර්ශනය සඳහා අනුමත වූ මේ නාට්‍ය සඳහා විකාශනයට අදාල නාළිකාව කියනවා අනුග්‍රාහකයකු නෑ කියලා. මට මේ ටෙලි නාට්‍ය විකාශයට අනුමත කරපු එක්තරා කලා විචාරකයෙක් කිව්වා මගේ රංගන ජීවිතයේ මෙතෙක් දකින්න තිබුණු විශිෂ්ටම රංගනය තියෙන්නේ මේ ටෙලි නාට්‍යයේ කියලා. ඔහු මට කිව්වා මේක පෙන්නුවොත් මාව දේශීයව විතරක් නොවෙයි විදේශීයවත් සම්මානයට ලක්වෙයි කියලා. අසනීප වී ලෙඩ ඇඳට සීමා වූ පුද්ගලයකුගේ චරිතයක් තමයි මම මේ නිර්මාණයේ කරන්නේ.

* අත්දැකීම් බහුල නළුවකු ලෙසත් ටෙලි නාට්‍ය නිෂ්පාදකයකු ලෙසත් කටයුතු කරන ඔබ ඇයි අධ්‍යක්ෂණය සඳහා තවම ප්‍රමාද?

මට ලැජ්ජාව සහ බය කියන දේ තියෙන නිසා. මට අධ්‍යක්ෂවරයෙක් වෙන්න බැරි වෙලා තියෙනවා. මේ දේ නැත්නම් අධ්‍යක්ෂවරයෙක් වෙන එක අද සුළු දෙයක්. පුළුවන් දේ කරපන්, බැරි නම් ඉගෙන ගනින් කියලා කතාවක් තියෙනවානේ. ඉතිං මම බැරි දේ නොකර ඉන්නවා.

* ඔබේ සාර්ථක රංගනයේ රහස මොකක්ද?

මම ගුරුවරයෙක්, දේශපාලඥයෙක්, ටෙලි නාට්‍ය, චිත්‍රපට, වේදිකා නාට්‍ය නළුවෙක්. මට මේ සමාජයේ බොහෝ වපසරියන් තුළ අත්දැකීම් තියෙනවා. මේ අත්දැකීම් මට හොඳ රංගනයට වස්තු බීජ සපයනවා.

* අපිත් ඉන්නවා නැද්ද කැරැක්ටරයක් කියල අහන වෘත්තීය නළුවන්ගේ ගොඩේ ඔබත් සාමාජිකයෙක්ද?

මම වෘත්තීය නළුවෙක් වෙලා හිටියෙත් නැහැ. ඉන්නෙත් නැහැ. මම වෘත්තීය නළුවෙක් නොවුණාට රඟපෑම වෘත්තීය කරගත් බොහෝ දෙනෙක් ඉන්නවා. අන්න ඒ අයට අර ඔබ කියන කැරැක්ටර් නැද්ද කියලා අහන්න වෙන අවස්ථා තියෙනවා. මොකද මෙයින්ම ඔවුන් ජීවත් වන නිසා. ඒත් මට එහෙම දෙයක් නැහැ. මම වානිජ විෂය උගන්නපු පාසල් ගුරුවරයෙක්. අද මම ගුරු වෘත්තීයෙන් අයින් වෙලා ඉන්නේ. ඒත් මම රඟපෑම කියන දේ වෘත්තීය වෙලා නැහැ. මගේම කියලා ව්‍යාපාර තියෙනවා මට හම්බ කරන්න.

* මිට කලිනුත් ඔබ සම්මානනීය ඇගයුම් අතර රැඳී හිටියාද?

නැගෙනහිර වෙරළින් ටෙලි නාට්‍යයේ හොඳම සහය නළුවා ලෙසින් උණ්ඩා සම්මානය දිනා ගත්තා. නිසල විල ටෙලි නාට්‍යයේ මම කළ චරිතයට බොහෝ දෙනෙකුගේ නිගමනය වුණේ මට සම්මානයක් ලැබිය යුතුයි කියලා. ඒත් ඒක නොලැබී ගියා.

* කොහොමද ඔබේ පවුලේ තොරතුරු?

මගේ බිරිය ශ්‍රියානි පෙරේරා, මට පුතාලා දෙන්නයි, දුවලා දෙන්නයි. අවන්ත, හිරන්ත පුතාලා දෙන්නත් අරුන්දතී දුවත් දැන් විවාහ වෙලා. සඳුනි දුව විතරක් තවම ඉගෙන ගන්නවා.

* අද ඔබේ රංගන ජීවිතයේ විවේචකයා බිරිය?

මම ප්‍රේක්ෂකයා හිනස්සන අවස්ථාවේදී හිනස්සලා තියෙනවා. අඬවන අවස්ථාවලදී අඬවලා තියෙනවා. ඒ වාසනා ගුණය මට නිතැතින් ලැබිලා තියෙනවා. මම යම් රංගනයක් සාර්ථකව කරලා තියෙනවා නම් මම ඒක හරියටම දැනගන්නේ බිරියගේ ප්‍රතිචාරයෙන්. මගේ රංගනය හරි නම් විශිෂ්ට නම් මගේ බිරිඳට තැනක් කොතැනක් නැහැ. එයාට ඉන්න තැනත් අමතක වෙනවා. කරන්නේ එකම දෙයයි. මාව බදාගෙන ඉඹගෙන ඉඹගෙන යනවා. එයා මාව බදා ගත්තොත් මම දන්නවා වැඩේ සාර්ථකයි කියලා. බැරි වෙලාවත් මඟහැරලා හිටියොත් මම දන්නවා කෙල වෙලා කියලා. ඔන්න ඔහොමයි ශ්‍රියානි මගේ සාර්ථක අසාර්ථක බව මට පෙන්නලා දෙන්නේ.

* රසිකයන්ට කතා කරන්නත් එක්ක දුරකථන අංකය පැවසුවොත්?

0714071970 අංකය මතක තියා ගන්නකෝ.