වර්ෂ 2016 ක්වූ ජූනි 30 වැනිදා බ්‍රහස්පතින්දා




සී. ටී. ගේ ගී හඬට වශී වීමි

සී. ටී. ගේ ගී හඬට වශී වීමි

මා මරදානෙන් කොටුවට සංක්‍රමණය වූයේ 'ලංකාදීපය'ටත්, 'දෙසතිය' පුවත් සඟරාවටත් ලියන්ට යොමුවීම නිසාය. එවක 'ලංකාදීප' පළ කළේ ටයිම්ස් මන්දිරයෙනි. 'දෙසතිය' කාර්යලය රජ ගෙදරට (ජනාධිපති මන්දිරයට) ආසන්නයේ පිහිටා තිබිණි.

එකල කොටුව බේලි වීදියේ 'සිල්වර් ලයින්' නමින් රෙකෝඩ් බාරයක් තිබිණි. එහි කළමනාකාරීත්වය දැරුවේ ප්‍රකට ගායක සී. ටී. ප්‍රනාන්දුය. සී. ටී. මගේ ප්‍රියතම ගායකයෙකි. එක පැත්තකින් චිත්‍රපට ඔස්සේ ජෝතිපාලගේ ගී ප්‍රිය කළ මම අනිත් පැත්තෙන් සී. ටී. ගේ ගී ප්‍රිය කළෙමි. සී. ටී. හමු වී කතාබහ කිරීමේ දැඩි ආශාවක් මට ඇති වූයේය. මම 'සිල්වර් ලයින්' රෙකෝඩ් බාර් වෙත ගොස් සී. ටී. හමුවීමි. සිල්වර් ලයින් ලේබලය යටතේ නිකුත් වූ ගීතවල මුද්‍රිත නාමාවලියක් ද ඔහු එදා මට දුන්නා මතකය.

මා මුලින්ම සී. ටී. දුටුවේ මීගමුව ආවේ මරියා කන්‍යාරාමයේ පැවති සංගීත ප්‍රසංගයකදීය. (මා මොන්ටිසෝරි ගියේ මෙම කන්‍යාරාමයටය). සී. ටී. පමණක් නොව නෙවිල් ප්‍රනාන්දු ප්‍රමුඛ ලොස් කබයියෙරොස් සංගීත කණ්ඩායම, රුක්මණී දේවි, පැට්රික් දෙනිපිටිය, එම්. එස්. ප්‍රනාන්දු, එච්. ආර්. ජෝතිපාල, ඉන්ද්‍රානි පෙරේරා, ධර්මරත්න සහෝදරයෝ වැනි ගායක ගායකාවන් සංගීතඥයන් දුටුවේ ඉහත සංගීත සංදර්ශනයේදීය.

අප විද්‍යාලයේ ද (මාරිස්ටෙලා) වර්ෂාවසානයට 'මාරිස්ට් මේලා' නමින් සංගීත ප්‍රසංගයක් පැවැත්විණි. එම ප්‍රසංගයට අනිවාර්යයෙන්ම සහභාගි වූ ගායකයකු වී නම් ඒ සී. ටී. ය.

මා සී. ටී. ගේ ගීතවලට ප්‍රිය කළේ ඇයි? ඒ ප්‍රශ්නයට නිශ්චිතව පිළිතුර මා සොයා ගත්තේ කලක් ගත වූවාට පසුවය. ඔහුගේ බොහෝ ගීතවල කන්තාරු ගී ශෛලිය දක්නා ලැබේ. 'සුවඳ රෝස මල් නෙළා', 'අනන්ත ගී මා මුවින්', 'මා බාල කාලේ, 'ලෝ අඩ නින්දේ', 'බිළිඳා නැළවේ උකුලේ', 'සඳවට රන් තරු', 'පින් සිදු වන්නේ' වැනි ගීත මෙයට දෙත හැකි නිදර්ශන කීපයකි. සී. ටී. කුඩා කාලයේ නාවලපිටියේ ශාන්ත මරියා දේවස්ථානයේ කන්තාරු කන්ඩායමේ ගී ගායනවල නිරතව සිටි බව කියවෙයි.

කුඩා කාලයේ පාසල් දේවස්ථානයට ගොස් ගීතිකා ගායනා කිරීම අපේ පන්ති කාල සටහනේ එක් අංගයක්ව තිබිණි. මර්සලීනු ජයකොඩි පියතුමා ලියූ 'රෑ තරු බබළනවා', 'රොනට වඩින බිඟු ඔබයි', 'නෙළුම් පිපීලා', මෝසැසි පියතුමා ලියූ 'දුවන ලෙසට පවසේ පෙළි පෙළි' වැනි ගීතිකා එකල අප ගැයුවා අදටත් මතකය. ඒ කන්තාරු ගී ශෛලිය සුනිල් ශාන්තගේ මෙන්ම සී. ටී. ගේ ගී වෙතින් ද ප්‍රකටව පෙනිණි.

සී. ටී. ගැයූ ගී බොහොමයකම තනු නිර්මාණය ද සී. ටී. ගේමය. එහිදී ඔහු බටහිර ගීවලින් කිසියම් අනුප්‍රාණයක් ලද ආකාරය ද දැක්ක හැකිය. 'බේරෙන පැණි බිඳු' ගීතය පෝලන්ත තනුවක් බව කියැවෙයි. 'සැලළිහිණි කොවුල් හඬ' ගීයෙන් ඉංග්‍රීසි ගීයක යම් ප්‍රතිරාවයක් ඇසෙන බව මහාචාර්ය සරච්චන්ද්‍ර සඳහන් කර ඇත. 'සීගිරිි සුකුමාලියේ' ගීතය බොසනෝවා (ඕර්‍ණඉඒව්ර්‍ණඍඒ) රිද්මයෙන් බිහි වූ ප්‍රථම සිංහල ගීය ලෙසත් 'රන්වන් රන් කෙඳි පීරාලා' ගීතය මුල්ම සිංහල 'රොක් ඇන්ඩ් රෝල්' ගීතය ලෙසත් ඇතැම්හු හඳුන්වති.

අප පාසල් යන වියේ තිරගත වූ 'නිම්වළල්ල' චිත්‍රපටයේ සී. ටී. රඟපාමින් ගීයක් ගායනා කළේය. ඒ 'නිසයුරු මුතුවැල්' ගීතයයි. චිත්‍රපටයේ කතාවේ හැටියට තිස්ස විජේසුරේන්ද්‍ර ඔහුගේ පෙම්වතිය (මෝනා මංගලා) කැටුව 'සී. ටී. රාත්‍රිය' නමැති ප්‍රසංගය බැලීමට යයි. සී. ටී. ඒ ගීතය ගයන්නේ ඒ අවස්ථාවේදීය.

එකලම තිරගත වූ 'පාරාවළලු' චිත්‍රපටයේද සී. ටී. සුළු චරිතයක් රඟපෑවේය. මෙම චිත්‍රපටය නරඹද්දී මගේ පියා 'අන්න සී. ටී.' 'අන්න සී. ටී' කියා කෑගසද්දී ඒ හඬ ඇසීදෝ සී. ටී. වහා නොපෙනී ගියේය.

කණ්ඩායම් ගීත ජනප්‍රිය වන්ට පටන් ගත්තේ මා මේ කියන කාල වකවානුවේදීය. විශේෂයෙන් මූන්ස්ටෝන්ස් සංගීත කණ්ඩායමේ 'ගොන් වස්සා', 'කළු මාමේ' 'දිල්හානි', 'වන දෙව්ලිය තුරුළේ' වැනි ගී කුඩා අප මුසපත් කරන්ට සමත් වූයේය.

1969 හෝ 1970 දී අප පාසලට අලුත් සහෝදරතුමෙකු පැමිණියේය. එතුමා පිළිගැනීමේ උත්සවය පාසල් ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී. උන්වහන්සේ අපට හඳුන්වා දෙමින් ග්‍රෙගරි ඇලෝෂියස් විදුහල්පති සහෝදරතුමා මෙසේ කීවේය.

'අද ඉඳන් අලුත් බ්‍රදර් කෙනෙක් අපට උගන්වන්න පැමිණ සිටිනවා. උන්වහන්සේගේ නම සිරිමල් . . .'

උන්වහන්සේගේ වාසගම මට මතක නැත. එය ඇසූ එවක දඩබ්බරයන් වූ අපි 'සිරිමල් අයියට පැණි වරකා' ගීතය මුමුනන්ට පටන් ගතිමු. අප පාසල් මිත්‍ර රන්ජන් රාමනායකට ද මේ සිද්ධිය මතක ඇතැයි සිතමි. මා මේ අත්ැදකීමෙන් කියන්ට උත්සාහ කළේ එකල 'මූන්ස්ටෝන්ස්' ගීත මොන තරම් ජනකාන්ත වී තිබිණි ද යන කරුණයි.

යළිත් කතාව මුලට ආ යුතුය. මා සී. ටී. හමුවන්ට සිල්වර් ලයින් රෙකෝඩ් බාරයට ගොස් මාස කීපයකට පසු සී. ටී හෘදයාබාධයකින් මෙලොව හැර ගියේය. ඒ 1977 ඔක්තෝබර් 16 වැනිදාය.

සී. ටී. මියගිය අවස්ථාවේ 'සරසවිය' පුවත්පත සැකසූ විශේෂාංගයට අදහස් දක්වමින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මෙසේ කියා තිබිණි.

'සී. ටී. ප්‍රනාන්දු සිංහල සංගීතයට නවපණක් දුන් කෙනෙක්. මට හිතෙනවා සී. ටී. එක්තරා විප්ලවයක් කළා කියලා ඔහුගේ හඬ වගේ හඬක් අපේ සංගීත ලෝකයේ වෙනත් ඇත්තේ නැහැ'.

ලබන සතියේ අවුරුදු දහයක්ම 'දෙසතියේ'