වර්ෂ 2016 ක්වූ මැයි 26 වැනිදා බ්‍රහස්පතින්දා




අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා

මේ ඉන්නේ චින්තක වාස්. පියවි, ඇඩ්ඩ්‍රස් නෑ, අබා ආදී නිර්මාණ රැසකට ඔහු ලබා දුන් රංගනය බොහෝ දෙනාට අමතක වෙලා නෑ ඔහු සේවය කරන්නේ ලේක්හවුස් ආයතනයේ. ඒ වගේම චින්තකගේ පියා අති දක්ෂ චරිතාංග නළුවකුව සිටි වින්සන්ට් වාස්. චින්තක පදිංචි වෙලා ඉන්නේ කොලොන්නාවේ.

මේ දිනවල ඉතින් ඒ ප්‍රදේශයට ගංවතුරනෙ. චින්තකලෑ ගෙදරටත් වතුර දාලා. නමුත් ඒ කරදර සියල්ල පසෙකට දාලා චින්තක ආවා වෙසක් දවස් දෙකේම ලේක්හවුසියේ පැවැත් වූ අමාදහර භක්ති ගීත වැඩ සටහනේ භක්ති ගීත කියන්න. ආයෙ වචන දෙකක් නැහැ සුපිරියටම මිනිහා සිංග් කළා. කොහොමද චින්තකගේ හිතේ තියෙන කැපවීම. ඒක නෙවෙයි හොඳම කාරණය මෙච්චර අලකලංචි මැද භක්ති ගීත කිව්ව චින්තක කතෝලික ආගමේ කෙනෙක්. කෙසේ වෙතත් මීට අවුරුදු විසි පහකට විතර කලින් වින්සන්ට් වාස් උන්නු ගෙදරටත් වතුර දැම්මලු.

චින්තක අපට ගංවතුර ගැන කියද්දී මතක් වුණේ තාත්තාට වුණු ඒ කරදරයම පුතාටත් වුණා කියලා. ගංවතුර මැද ලේක්හවුසියේදී 'අපි අසරණ වෙලා වගේ' ගීතය ගයද්දී චින්තකගේ ඇසට කඳුළු නැගුණා. කාටත් සඟවන්න බැරි වුණා.