වර්ෂ 2016 ක්වූ මැයි 12 වැනිදා බ්‍රහස්පතින්දා




වීර විරෝධි පනතක් පාර්ලිමේන්තුවට

වීර විරෝධි පනතක් පාර්ලිමේන්තුවට

කැප්ටන් අමෙරිකා : සිවිල් වෝ

මාවල් සිනමැටික් යුනිවර්ස් (මාවල් සිනමා විශ්වය) ගැනත්, මාවල් කොමික්ස් සහ මාවල් ස්ටුඩියෝස් යන ආයතන ගැනත් අසා නැති සුපිරි වීර චිත්‍රපට රසිකයින් සිටින්නේ නම් ඒ අතළොස්සක් පමණයි. මාවල් සටුඩියෝස් ආයතනය විසින් මාවල් සිනමටික් විශ්වය හරහා සුපිරි වීර චිත්‍රපට 22ක් ප්‍රේක්ෂකයින් වෙත ගෙන ඒමට සැලසුම් කෙරී ඇත.

මේ අතර අයන් මෑන් ත්‍රිත්වය (2008, 2010, 2013), ද ඉන්ක්‍රඩිබල් හලක් (2008), තෝර් (2011), කැප්ටන් ඇමෙරිකා : ද ෆස්ට් ඇවේන්ජර් (2011), මාවල්ස් : ද ඇවෙන්ජර්ස් (2012), තෝර් : ද ඩාක් වර්ල්ඩ් (2013), කැප්ටන් ඇමෙරිකා : ද වින්ටර් සෝල්ජර් (2014), ගාඩියන්ස් ඔෆ් ද ගැලක්සි (2014), ඇවෙන්ජර්ස් : ඒජ් ඔෆ් අල්ට්‍රන් (2012), සහ ඈන්ට් මෑන් (2015) ප්‍රචාරය වුනු චිත්‍රපට වන අතර, මේ ගොනුවට අලුතින්ම එකතු වන චිත්‍රපටය 'කැප්ටන් ඇමෙරිකා : සිවිල් වෝ' වේ.

පසුගිය 6 වැනිදා ලොව පුරා තිරගත වීම ඇරඹි මෙම චිත්‍රපටය ඇන්තනි සහ ජෝ රුසෝ දෙපලගේ අධ්‍යක්ෂණයක් වන අතර කෙවින් ෆීජ් ගේ නිෂ්පාදනයකි. ක්‍රිස් එවන්ස් කැප්ටන් ඇමෙරිකාගේ චරිතයට පණ පොවන අතර, රොබට් වුනි ජූනියර්, ස්කාලට් ජෝහාන්සන්, සෙබස්තියන් ස්ටෑන් ඇතුළු ඉහත චිත්‍රපට වල හුරු පුරුදු රංගන ශිල්පීන් පිරිස මෙහිදී ද රංගනයෙන් දායක වෙති.

චිත්‍රපටයේ කතාව, සැකෙවින් මෙසේයි. බොහෝ ජනයා සුපිරි වීරයින් ගැන බියෙන් පසුවන හෙයින් රජය විසින් 'වීර විරෝධී පනතක්' පාර්ලිමේන්තුවට ගෙන එයි. මින් සුපිරි වීරයින්ගේ ක්‍රියාවන් සීමා වෙයි. මෙම පනතට පක්ෂව සහ විපක්ෂව ඇවෙන්ජර්ස් කණ්ඩායම දෙකඩ වේ. මේ හේතුවෙන් මිතුරන්ව සිටි කණ්ඩායම බෙදී එකිනෙකා හා සටන් කරති. ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙය, දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් ඉහල තලයක ඇත.

ධ්ර්ච්ඕ දර්ශකයේ ලකුණු 8.5ක්, රෝටන් ටෝමාටෝස් හි 93% ක් හා මෙටාක්රිටික් හි 76% ක් ලකුණු කර තිබෙන මෙම චිත්‍රපටයට බොහෝ විචාරකයින් පැසසුම් කර ඇත. "මාවල් චිත්‍රපටයන්හි මීළඟ අවධිය ක්‍රියාදාමයන්ගෙන් පිරුණු සුපිරිවීර චිත්‍රපටයකින් පටන් ගැනෙන අතර, එය මුළුමනින්ම 'කාටූන්' ස්වභාවයෙන් වෙන්වී තිබේ" රෝටන් ටොමැටෝස් දර්ශකයේ ප්‍රමුඛ විචාරය පවසයි. වරයිටි සිනමා සඟරාවේ විචාරකයෙක් පවසන ලෙසට, මෙය මාවල් සිනමා විශ්වය විසින් ඉදිරිපත් කෙරුණු මේරූ සහ තාත්විකම චිත්‍රපටය වේ. එසෙම උද්වේගකර සටන් අවස්ථා කදිමට නිරූපණය කර ඇති බවටද 'කැප්ටන් ඇමෙරිකා : සිවිල් වෝ' චිත්‍රපටය පැසසුම් ලබා ඇත.

හෙන්රි ජැක්සන් විසින් සංගීතවත් කර ඇති මෙම චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 250 ක පිරිවැයකින් තනා ඇත. විනාඩි 147ක් පුරා තිරයේ දිග හැරෙන මෙම චිත්‍රපටය, මාවල් සටුඩ්යෝ හි නිෂ්පාදනයක් වන අතර ඩිස්නි සටුඩ්යෝස් බෙදා හැරීමකි.