වර්ෂ 2016 ක්වූ මැයි 05 වැනිදා බ්‍රහස්පතින්දා




NEWS

සරසවිය ආරම්භක කර්තෘ මීමන ප්‍රේමතිලක භාර්යාව මියයයි

සරසවිය ආරම්භක කර්තෘවරයා වූ මීමන පේ‍්‍රමතිලක මහතාගේ ආදරණීය බිරිය වන ඇඩ්ලින් ප්‍රේමතිලක මහත්මිය අභාවප්‍රාප්ත විය. මිය යන විට ඇයගේ වයස අවුරුදු අනූ හතරකි. ඇය ප්‍රවීණ මාධ්‍යවේදීන් වූ සුනිල් මාධව ප්‍රේමතිලක, රමණී ප්‍රේමතිලක, සරත් ප්‍රේමතිලක, සහ නැසීගිය සඳුන් ප්‍රේමතිලකගේ මව ද වූවාය. ඇඩ්ලින් මහත්මියගේ අවසන් කටයුතු පසුගියදා පන්නිපිටිය පැලවත්ත පොදු සුසාන භූමියේදී සිදු විය.

‘හැම විටම හැම තැනම’ දේශීය චිත්‍රපට සිනමා වෙළෙඳපොල පුළුල් වෙයි

හඳගමගේ ඇගේ ඇස අග දැනටමත් ඇවිත්

ලොව කොතැන හෝ තමන් සිටින තැනක සිට කුමන වේලාවකදී වුවද උසස් තාක්ෂණයෙන් යුතුව දේශිය සිනමාපට නැරැඹීමේ අවස්ථාව දැන් උදා වී තිබේ. ඒ www.cinemass of srilanka.com  වෙබ් අඩවිය තුළිනි. ඕනෑම මොහොතක අත ඇති ස්මාර්ට් ජංගම දුරකතනයෙන්, ස්මාර්ට් ටෙලිවිෂනයෙන්, ටැබ් හෝ ලැප්ටොප් යනාදී තාක්ෂණික උපකරණ ඔස්සේ මෙලෙස සිංහල සිනමාපට නැරැඹිය හැකිය. මෙම තාක්ෂණය මෙරටට හඳුන්වා දෙනු ලැබුවේ සම්මානනීය සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ විසිනි. විස්ටා ඉන්දියා සමාගම සහ ලෝංග් ලිව් සිනමා සහ සමාගමේ කාර්යයට උර දී ඇත.

මේ සමඟින් අප සිනමාවට නම වෙළෙඳපොළක් එකතු වන ඇති බව ප්‍රසන්න සඳහන් කරයි. එය ඩිජිටල් වෙළෙඳ පොළ ලෙස හඳුන්වාදිය හැකිය. මේ වනවිටත් ප්‍රසන්න විතානගේ සිනමා පටයන් මෙම තාක්ෂණය ඔස්සේ නැරැඹීමට ඉඩකඩ සලසා ඇති අතර අශෝක හඳගමගේ නවතම චිත්‍රපටය ඇගේ ඇස අග මේ වනවිට එය ඇතුළත්ව තිබේ. හැමවිටම හැම තැනම (any time, any where)  යනුවෙන් එහි තේමා පාඨය නම් කොට ඇත. ප්‍රසන්න වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ අපගේ නව නිර්මාණකරුවන්ට මෙමඟින් විශාල වූ පේ‍්‍රක්ෂක කණ්ඩායමක් තම සිනමා පටයක් නැරැඹීමට එකතුකර ගත හැකි බවය. ඔවුන්ගේ සිනමාපට මෙම ජාලයට එකතු කිරීමට ද මේ වනවිට අවස්ථාව ලබාදී ඇත. එමෙන්ම ඉදිරියේ තිරගත වීමට නියමිත හෝ පෙර තිරගත වූ ඕනෑම සිනමා පටයක් මෙම තාක්ෂණික වෙළෙඳපොළට ලබාදිය හැකිය. ඉහළ තාක්ෂණයෙන් යුතුව සිංහල සිනමාපට නරඹන්නට කැමැත්තෙන් පසුවන බොහෝ දෙනකු මෙය මහඟු අවස්ථාවක් බව ප්‍රසන්න අවසන් කොට සඳහන් කළේය.

Breaking News

ලකී ඩයස් අධ්‍යක්ෂණයට ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු එක දිගට නිෂ්පාදනයේ

සම්මානනීය රංගවේදි ලකී ඩයස් මුල්වරට සිනමා අධ්‍යක්ෂවරයකු ලෙස දොරට වඩින බ්‍රේකිං නිවුස් මේ දිනවල එකදිගට රූගත වෙමින් පවතියි. එහි විජය නන්දසිරි මහේන්ද්‍ර පෙරේරා, හිමාලි සිරිවර්ධන, විශ්ව ලංකා, ලසන්ත උඩුකුඹුර, රෙක්ස් කොඩිප්පිලි, ගයේෂා පෙරේරා, ශිරෝමා ප්‍රනාන්දු ඇතුළු නළු නිළියන් රාශියක් චරිත මවති. එය මෑත භාගයේ එක දිගට චිත්‍රපට නිෂ්පාදනයෙන් දායක වන ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ අටවැනි නිෂ්පාදනයයි.

අරෝෂගේ නවවැනි සිනමා නිෂ්පාදනය හලෝ මිස්ටර් මම ඩිරෙක්ටර් චිත්‍රපටයේ රූගත කිරීම් ළඟදීම ඇරැඹීමට නියමිතය. එය කීර්ති බණ්ඩාරගේ අධ්‍යක්ෂණයකි. එමෙන්ම ආරෝෂ නිපද වූ තානාපතිලාගේ ගෙදර සිනමාපටය මේ වනවිට ප්‍රදර්ශන මට්ටමේ පවතියි. නලීන් මාපිටියගේ කුලුදුල් සිනමා අධ්‍යක්ෂණය සහ සම නිෂ්පාදනය මෙම දැවැන්ත චිත්‍රපටයේ කතාබහට ලක් කෙරෙනුයේ වසර 1200 කට එහා ගිය අපගේ ඉතිහාසයයි.

ජාත්‍යන්තර සිනමා නිෂ්පාදන කර්මාන්තය සමඟ අත්වැල් බැඳ ගනිමින් ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු තම දසවැනි සිනමා නිර්මාණය අරඹා ඇත්තේ මාලදිවයින සමඟය. දොරට අතර ආදර කතාවක් ලෙස රූ ගැන්වෙන මෙම චිත්‍රපටයෙහි මූලික කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතියි. ඉන්දියානු, මාලදිවයින් සහ මෙරට නිර්මාණ ශිල්පීන් දායක වන මෙම නිර්මාණය ජුනි මසදී ඇරැඹීමට නියමිතය. අරෝෂගේ මෙම නිර්මාණයන්හි ප්‍රචාරන සහ නිර්මාණ සැලසුම් ක්‍රියේටිව් ඇඩිවර්ටයිසිං ටීවි සර්විස් විසින් සිදු කරයි.

රන්ජන්, රජිනි, කමල්, හමුවෙයි

ඉන්දු-ලංකා දැවැන්ත චිත්‍රපටයක්

ජනපි‍්‍රය රංගන ශිල්පී චිත්‍රපට අධ්‍යක්ෂ රන්ජන් රාමනායක පසුගිය දිනෙක තම නවතම චිත්ර්පටයේ ගිවිසුම් අත්සන් කිරීම සඳහා ඉන්දියානු සංචාරයක නියැලුනි. මෙම චිත්‍රපටයේ රන්ජන් රාමනායක ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වන අතර ශී‍්‍ර ලංකා - ඉන්දියානු නළු නිලියන් විශාල පිරිසක් රඟපෑමට නියමිතව ඇත. රන්ජන් රාමනායක මෙම සංචාරයේදී දකුණු ඉන්දියාවේ සුපිරිම නළුවන් දෙපලක් වන සුපර් ස්ටාර් කිරුළ හිමි රජිනි කාන්ත් සහ කමල් හසන් යන ප්‍රවීණතම නළුවන් දෙපල ඇතුළු තවත් බොහෝ සුපිරි නළු නිළියන් ගණනාවක්ම හමුවී ඇත.

එමෙන්ම දැනට දකුණු ඉන්දියාවේ ජනපි‍්‍රයම චිත්‍රපට බවට පත් වූ බෝයීස්, අනියන්, ඉන්දිරන්, ශිවාජි හා අයි රොබෝ වැනි දැවැන්ත චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ශංකර් හමුවී ඇත. රන්ජන් රාමනායක මෙම නවතම චිත්‍රපටය නිෂ්පාදනය කරනුයේද දකුණු ඉන්දියාවේ දැනටමත් වැඩිම මුදලක් යොදා චිත්‍රපට නිෂ්පාදනය කරනු ලබන ජනපි‍්‍රයතම නිෂ්පාදකවරයෙකි. මෙම චිත්‍රපටය දැනට ලංකාවේ වැඩිම මුදලක් යොදා නිර්මාණය වන චිත්‍රපටය බවට ඉදිරියේදී පත්වනු ඇත. ඒ සඳහා නිෂ්පාදන සැලසුම්කරණය දැනටමත් සිදුවන අතර ඊට අදාල ඉන්දියානු නිෂ්පාදන කළමණාකරු වන රාජු ඉදිරි සතියේදී දිවයිනට පැමිණීමට නියමිතය.

මෙම චිත්‍රපටයේ රූගත කිරීම් ඉදිරි මාස 4ක් වැනි කාලසීමාවක් තුලදී ආරම්භ කිරීමට නියමිතය.

මෙම චිත්‍රපටයේ රඟපෑම සඳහා නළු නිළියන් තේරීම ඉදිරි දිනකදී ඉන්දීය නිෂ්පාදන කණ්ඩායම ලංකාවට පැමිණි වහාම ආරම්භ කිරීමට නියමිත අතර එහිදී ගිවිසුම් අත්සන් කිරීම් හා සැලසුම්කරණ සියල්ල කොළඹ සිනමන් ග්‍රැන්ඩ් හෝටල් පරිශ්‍රයේදී සිදුකිරීමට කටයුතු සලසා ඇත. මෙම දැවැන්ත චිත්‍රපටයේ කථාව දැනට අප්‍රකාශිතව තිබෙන අතර ශී‍්‍ර ලංකා - ඉන්දියා දැවැන්ත නළු නිලි පිරිසක් මේ සඳහා සහභාගී වීමට නියමිතය.

මෙහි කැමරාකරණය හා සටන් අධ්‍යක්ෂණය ඉන්දියානු ශිල්පීන් අතින් සිදුවෙයි. ලාංකීය කාර්මික ශිල්පීන් ගණනාවක්ද සහභාගී වෙයි. මෙය ශී‍්‍ර ලංකා - ඉන්දියා සම අධ්‍යක්ෂණයක් ලෙසින් නිමවීමට නියමිතය. රන්ජන්ට මෙම ඉන්දියානු සංචාරයේදී ගුවන් තොටුලේ සිට අවසානය දක්වාම උණුසුම් පිලිගැනීමක්ද ලැබී ඇත. ලාංකීය සිනමා නළුවෙකු ඉන්දියාව තුලදී විශේෂ අවධානයකට හා ආකර්ෂණයට ලක්වූ විශේෂ අවස්ථාවක් ලෙස මෙය සටහන් වන අතර සැබැවින්ම මෙය ලාංකීය නළු නිලියන් සියළු දෙනා වෙත ලැබුණු විශේෂ ගෞරවයක් වාර්තා වෙයි. මෙම නිෂ්පාදනය නොබෝ දිනකින්ම ආරම්භ වන අතර එය ලාංකීය සිනමාව ජාත්‍යන්තරයට පිවීසීමේ ප්‍රබල පියවරක් වනු ඇත.