වර්ෂ 2016 ක්වූ මාර්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




තනිකඩ දයාන් දුටු ලස්සන මනාලියෝ

තනිකඩ දයාන් දුටු ලස්සන මනාලියෝ

දයාන් විතාරණ අපට සිටින දක්ෂ කැමරා ශිල්පියෙකි. ගායකයෙකි. ඔහු වඩාත් කලාකරුවන් අතර හැඳීන්වෙන්නේ දක්ෂ කැමරා ශිල්පියෙකු ලෙසිනි. එකල ඔහුගේ කැමරා ඇසට හසු නොවූ නළු - නිළියන්ගේ සොඳුරු රුවක් වෙයි නම් එය අහම්බයක් විය යුතුය. මනාලියක ලෙස සිය ජීවන ගමනේ විශේෂ ම දවස මේ නිසා සේයාරුවට නඟන්නට නිළියන්ගේ ආරාධනයට පාත්‍රවන අනිවාර්ය පුද්ගලයා වන්නේ දයාන් ය. ඔහුගේ කැමරා ඇසෙන් සේයාරුවක් ගැනීම තරම් තම ජීවිතයේ වටිනා දෙයක් තවත් නොවේ යැයි ඔවුහු සිතූහ. මේ විශේෂාංගය වෙන් වන්නේ දයාන්ගේ වෘත්තිය ජීවිතයේ කැමරා ඇසට හමු වූ සුන්දර මනාළියන් පිළිබඳ ඔහු පවසන ඒ අතීත සොඳුරු ඉඩහසරකට ය.

ඒ කාලයේ තරුණ වියේ පටන් ම කොලු ගැටයන්ගේ ආදරයට පාත්‍රවුණු නිළියන් අතර වසන්තිටත් හිමිවුණේ පළමු තැනක්. ඈ ඔහුගේ ප්‍රියතම නිළියන්ගෙන් එක් කෙනෙක්. තරුණ දයාන් වසන්ති චතුරාණි නම් රංගන ශිල්පිනියට පෙම් බඳීන්නේ වයස පහළොවේ පටන්. ඒ පෙම් බැඳීම ආරම්භ වුණේ කොතනින් ද කියලා කිව්වොත් ඔහුගේ මතකයට එන්නේ සුමිත්‍රා පීරිස්ගේ ‘ගැහැනු ළමයි’ චිත්‍රපටය. ඊට පස්සේ ඔහුට ඈ මුණ ගැසෙන්නේ ගඟ අද්දර, සිරිබෝ අයියා, අමල් බිසෝ, බිත්තිහතර, ආයාචනා කියන චිත්‍රපටවල. ඒ චිත්‍රපටවල වසන්ති රඟපෑව විතරක් නොවෙයි මනාලියක් විදියටත් හිටියා. කාලයක් යද්දි දයාන් කියන මේ තරුණයත් කලා ලෝකයට පිවිසෙනවා. ඒ කැමරා ශිල්පියෙකු විදියට. කැමරා ශිල්පයට පෙම් බඳීන දයාන්ගේ සේයාරූවල තිබුණේ වෙනස් ම ලස්සනක්. හැරිස් විජේසිංහ අයියත් එක්ක වැඩ කරන කාලයේ ඔහුගේ සිතේ ඇති වෙන්නේ අපූරු කැමැත්තක්.

ඒ තමන් තරුණ කාලයේ බොහොම ආදරය කළ වසන්තිව මනාලියක් විදියට සරසලා සේයාරූ කිහිපයක් ගන්න. අද වගේ නොවෙයි එදා දයාන් වැඩිපුර නළු - නිළියෝ අඳුනගෙන සිටියේ නැහැ. ඒත් දයාන් මානි මෙන්ඩිස් කියන ඇඳුම් නිර්මාණ ශිල්පිනියව දැනගෙන සිටියා. මානි කියන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයගේ බොහෝ නිර්මාණවලට දායක වුණු කාන්තාවක්. ඇගේ මාර්ගයෙන් දයාන් කාලයක පටන් තමන්ගේ සිතේ පැලපදියම් වුණු ආසාවට මුල පිරුවා. හරියට ම 1993 සැප්තැම්බර් 21 වැනිදා. රසිකයන් අතර බොහොම ජනප්‍රිය වසන්ති දයාන්ගේ නිවහනට ආවේ කිසිම ආඩම්බර කමක් නැතිවම. ඒ වෙනකොට දයාන්, ඔහුගේ ස්ටුඩියෝ එකවත් හදලා තිබුණේ නැහැ. හිස්ව තිබුණු එක කාමරයක් තමයි ස්ටූඩියෝ එකට භාවිත කළේ.

ඈව සාම්ප්‍රදායික උඩරට මනාලියක් ලෙස හැඩ ගැන්වුවේ හැරිස්. ඇගේ අතේ තිබුණේ ඕලු හා පිච්ච්මල්වල එකතුවෙන් සැදුණු මල්කලඹක්. දවල් දොළහට විතර ආරම්භ කළ පින්තූර ගැනිල්ල අවසාන වුණේ හවස හතරට විතර. ඈ නිහතමානීව ඒ කටයුත්තට සහභාගි වුණේ කිසිම කන්කෙදිරියක් නොනගා ම. තවත් දවසකත් දයාන් වසන්තිගේ සේයා රූ ගත්තා. එදා වසන්ති සැරැසුණෙත් ඉන්දියන් මනාලියක් විදියට. රූපලාවණ්‍ය ශිල්පී හැරිස්ගේ නිවෙස් දී මේ විදියට මනාලියක් ලෙස සැරැසුණු වසන්ති එදා සේයා රූ ගන්න දයාන්ගේ නිවෙසට ආවේ ඇගේම වාහනයෙන්. ඒත් දයාන්ටවත්, එතැන සිටි අනෙක් අයටවත් වාහනය පදවන්න බැහැ. අන්තිමට මනාලියක් විදියට සැරැසුණු වසන්තිමයි රථය පැදෙව්වේ. ඒත් ඈ රථයට නැග්ගේ

“අයියෝ දයාන් මේ වේල් දාගෙන කොහොමද ඩ්‍රයිව් කරන්නේ”
මාලිනී
සංගීතා
වසන්ති
සබීතා

කියමින්. රාජගිරියට එන අතරතුර වාහනවල සිටිය මිනිස්සු හැරි හැරි මේ වාහනය දෙස ම බැලුවා. ඒ කවුද මේ මනමාලියක් රථයක් පදවන්නේ කියලා. අන්තිමට සමහර තැනකදි වාහන එකින්එක ගැටුණා.

සැබෑ මනාලියක් විදියට නොවුණත් වසන්ති දයාන්ගෙන් කැමරාව ඉදිරියේ මනාලියක් වුණේ ඒ විදියට.

ප්‍රවීණ නිළියක් වුණු සබීතා පෙරේරාත් දයාන්ගේ කැමරාව ඉදිරියේ මනාලියක් වුණා කිහිපවතාවක් ම. විවාහ වෙන්නට පෙර සිට ම ඈ මනාලියක් ලෙස උඩරට විදියට වගේ ම පහතරට විදියටත් ඇන්දා. ඈ අත තිබුණු සල්මල් කලඹ දයාන්ට අද වගේ මතකයි.

“වැඩ කරන්න බොහොම පහසු කෙනෙක්”

දයාන් කිව්වේ සබීතා ගැන ඇතිවුණු පැහැදීමෙන්. ඒ වගේ ම සබීතා මනාලියක ලෙස සැරැසුණු සැබෑ ජීවිතයෙත් සේයා රූ ගන්නේ දයාන්මයි. ඒ විතරක් නොවෙයි මීට දින කිහිපයකට කලින් වසර ගණනකට පස්සෙත් ඔහුට අපූරු අවස්ථාවක් උදාවුණා. ඒ යළිත් මනාලියක් විදියට මනාලියන්ගේ දැක්මකට සහභාගි වුණු සබීතාගේ සේයාරුවක් ගන්න.

ඒ විදියට ම මීට වසර කිහිපයකට කලින් මනාලියක් විදියට සරසලා සේයා රූ ගත්ත නිළියක් තමයි අචලා අලස්. ඇගේ සේයා රූ යළිත් ගන්න දයාන්ට අවස්ථාව උදාවුණෙත් පසුගිය දවස්වල. දයාන්ට හිතුණේ එතැන සිටි ළාබාල අනෙක් මනාලියන්ට වැඩිය අචලා තවමත් තරුණයි කියලා. වෙනදාට වඩා තවත් ඈ හැඩවෙලා. එතැන හිටිය හැමෝම අචලා ගැන පැවසුවේ එහෙමයි. දයාන්ටත් එහෙම හිතුණා. දයාන් හා අචලා එක්වරක් ‘සාගරය පරදා’ කියන උදයකාන්තගේ ටෙලි නාට්‍යයේ රඟපෑවේ සැමිය හා බිරිය විදියට. වෙනදා වගේ ම ඈ එදත් ඔහු ළඟට දුවගෙන ආවේ ‘ආනේ.....මේ ඉන්නේ මගේ සැමියා’ කියාගෙන.

නිරෝෂා - කුමාර ජයකාන්තගේත්, රුවන්තිගේ හා නාමල්ගෙත්, චන්ද්‍රලේඛා පෙරේරා, ගයත්‍රි ඩයස්, ඉන්දිකා උපමාලි, නයනි මහේෂිකාගේ විවාහ උත්සවලදි ඔවුන් තමන්ගේ සුන්දර දිනය ඡායාරූපයට නඟන්න ආරාධනා කරන්නේ දයාන්ට. නිරෝෂා හේරත් මනාලියක් වන දිනයේ සැරැසෙන්නේ වේල් එක දමලා. ගොයින් අවේ එකට ඈ අඳීන්නේ ඔසරිය. රුවන්ති උඩරට හා ඉන්දියන් විදියට වගේම ගොයින්න වේ එකට සැරැසුණේ ගවුමකින්. නිරෝෂා විරාජිනී, නිල්මිණී - මධු, සසන්ති, ඩිලානි වැනි තරුවල සැබෑ ජීවිතයේ මනාලියක වීමේ සුන්දර සිහිනය රැඳී සේයාරුව ගත්ත දයාන් මේ එක් එක් අයට තිබෙන්නේ වෙන වෙන ම විශේෂත්ව කියලයි පැවසුවේ. සමහර අයගේ ලස්සන නෙත්. තවත් සමහර අයගේ ප්‍රියමනාප සිනහව. දිල්හානි වගේ කෙනෙකුට විශේෂ ඒ කාරණය. වසන්තිගේ කැපී පෙනෙන්නේ අවිහිංසක බව. සංගීතාගේ කෙළිළොල් බව. හැරිස් අයියා ඒ ඒ අයට විශේෂිත කාරණා දැනගෙන ඒ ඒ දේවල් ඉස්මතු වෙන අයුරිනුයි මනාලියක් විදියට සැරැසුවේ. ඒ විදියට සැරැසුව ඔවුන්ට විශේෂිත ඒ ආකාරවලින් ම සේයා රුවට ගන්න දයාන් උත්සාහ ගත්තා. දයාන්ගේ සේයා රූ කලාවේ ඒ විශේෂත්වය කැපී පෙනුණා. දයාන්, නිල්මිණී තෙන්නකෝන්ව මනාලියක වන දිනයේ සේයා රූ ගත්තත්, වෙන ම මනාලියක ලෙස සරසලාත් ඇයව පින්තූර ගත්තා.

සසන්ති ජයසේකර මනාලියක් ලෙසින් කුලගෙට පිය මනින දවසත් ළංවුණා.

“අයියෝ ඔයා නැතිව මට බඳීන්න බැහැ. ඔයයි මගේ පින්තූරය ගන්න ඕනෑ.”

සසන්තිගේ ඉල්ලීම අහක දමන්නත් දයාන්ට බැහැ. එත් එදාම ඒ වෙලාවෙම දයාන්ට මවුන්ට් ලැවීනියා හෝටලයේ තවත් මංගල උත්සවයක්. සසන්තිගේ මංගල උත්සවය තිබුණේ ගොල්ෆේස් එකේ. කරන්න දෙයක් නැහැ. පාන්දර තුනට සසන්ති මනාලියක් ලෙස සැරසෙන්න සූදානම් වුණේ දයාන්ගේ කැමරාවෙන් ම සේයා රූ ගන්න. උදේ 9.00 ට ඇගේ සේයා රූ ගන්න දයාන් හෝටලයට ගියා. සසන්තිගේ පින්තූර අරගෙන කෙලින් ම දයාන් ගියේ අනෙක් මංගල උත්සවයට. නැවතත් හවස ඔහු දුවගෙන ආවේ සසන්තිගේ ගොයින් අවේ එකේ සේයා රූ ටික ගන්න. ඩිලානිගේ මංගල උත්සවය තිබුණු 94 වසරේ දී. එද ත් දයාන්ට වෙනත් මංගල උත්සවයක්. ඒ සඳහා දයාන් සහභාගි වුණෙත් සසන්තිගේ මංගල උලෙළට වගේ. ඩිලානිගේ මංගල උත්සවයේදියි දයාන් සංගීතාව අඳුන ගන්නේ.

චිත්‍රපට නිළියක් ලෙස රසිකයන්ගේ ආදරය දිනූ ගීතා කුමාරසිංහව මනාලියක් විදියට සරසලා දයාන් සේයා රූ ගත්තේ මීට ටික කලකට ඉස්සර.

“ගීතාගේ උවන හරියට අඹ ගෙඩියක් වගේ.”

දයාන් කියන්නේ ඇගේ සුන්දර උවනේ හැඩය ගැන. ඈව සේයා රූ ගන්න මේ විදියට ඉන්න කියලා දයාන් කියන්න වුවමනා නැහැ. ඈ මයි සේයාරුවට අවශ්‍ය ඒ ඒ පෝසස් හදාගෙන පෙනී සිටින්නේ. ඈට හැකියි උවන නියම ආකාරයෙන් පෝස් කරන්න.

“ගීතා කොයි විදියට පෝස් කරත් ලස්සනයි. මම හිතන්නේ ඈ පොටෝජනික් ම නිළිය කියන්න පුළුවන්.”

ඒ දයාන්ගේ අදහස. බොහෝ දෙනාගේ පින්තූර අරගෙන අත්දැකීමක් තිබෙන දයාන් පවසන්නේ තමන් මෙතෙක් ලැබුව අත්දැකීම්වලින්.

1997 වසරේ භද්‍ර යෞවනයේ සිටි යශෝධත් මනාලියන් දැක්මට ඉදිරිපත් වෙලා සිටි නිළියක්. “එතැනදියි මට සිතුණේ යශෝධව මනාලියක් ලෙස සරසලා සේයා රූ කිහිපයක් ම ගන්න.” ඒක කොයිතරම් මේ වනවිට වටිනවා ද කිව්වොත් ඈ තවමත් විවාහ නොවුණු නිසා ඒක තව තවත් වටින බවයි දයාන් පවසන්නේ.

දයාන් රෝසි සේනානායකගෙත් සේයා රූ ගත්තේ මනාලියන් දැක්මකදි.

සංගීතා වීරරත්න මනාලියක් විදියට කුල ගෙයට පිය මනින මොහොතත් ඒ වගේ ම සුන්දර දවසක්. ඈ මනාලිය විදියට සැරැසිලා ආවේ පෝරුවේ චාරිත්‍රවලට. දයාන් සැදී පැහැදි සිටියේ සංගීතා මනාලියක් වෙන සේයා රූ ගන්න. ඒත් ඒ අවට සිටි කිසිම කෙනෙක් දෙස ඈ ඇහැ ඇරැලවත් බැලුවේ නැහැ. හිටියේ බිම බලාගෙන බොහොම ලැජ්ජාවෙන්. ඒ හරියට නිවෙසට තමන්ව බලන්න පළමුවෙන් ම ආව මනාලය දැක්ක යුවතියක් වගේ. දයාන් හෙමිහිට සංගීතා ළඟට කිට්ටු වුණා.

“ සංගීතා ඔයා මේ රඟපෑමක් ද කරන්නේ?”

දයාන් ඇහුවේ සංගීතාගෙන්.

“අනේ ඇත්තටම දයාන් මම මනාලියක් විදියට ඇන්දට පස්සේ ඇතිවුණේ පුදුම ලැජ්ජාවක්.”

එවෙලේ සංගීතා දයාන්ට එහෙම කිව්වේ බිම බලාගෙන ලැජ්ජාවෙන්. ඒ වගේ අපූරු දේවල්වලට මුහුණ දෙන්න දයාන්ට හැකිවුණේ මනාලියන්ගේ සේයා රූ ගත්ත නිසා.

ගීතා

මේ අතර එක්තරා දුකකුත් දයාන්ගේ සිතේ ලියැවෙනවා. ඒ නිළි රැජන මාලිනී ෆොන්සේකාව මනාලියක් විදියට සරසලා සේයාරුවක් ගන්න බැරිවුණ එක ගැන. එහෙත් දවසක් රිදී රැයක් ප්‍රසංගයේ දී ඈ මනාලියක් ලෙස සැරැසිලා හිටියා. දයාන් ඒ අවස්ථාව කැමරාවට හසුකර ගත්තේ ඉක්මනින්. ඒත් මාලිනී ෆොන්සේකාව සහභාගි කරගෙන පොටෝ ෂූට් කිහිපයක් කරන්න දයාන් අමතක කළේ නැහැ. ඒ 94 වසරේ. ඒ ෂූට් එකේ දි එක් අවස්ථාවක අයි ලයින් අඳීන්නේ දයාන්.

“ දයාන් ඔයාට ඒක කරන්න පුළුවන් ද?”

නිළි රැජන ඇහුවේ පුදුමයෙන්. ඊට පස්සේත් දයාන් මුණ ගැසුණ බොහෝ අවස්ථාවල ඈ ඒ ගැන මතක් කළේ නිහතමානීව.

අනෝජා වීරසිංහගේ දුව දිල්කි, ජීවන් කුමාරතුංගේ දුව මල්ෂා ආදී බොහෝ කලාකරුවන්ගේ සේයා රූ ගන්න දයාන්ට ආරාධනා ලැබුණා. ඒ වගේ ම නව පරපුරේ නළු - නිළියන් පිළිබඳ දයාන් කතා කළේ ඒ තරම්ම සතුටෙන් නම් නොවෙයි. ඒ අයට මුදලයි මූලික වන්නේ. ඔවුන්ගේ සේයාරුවක් ගන්න කවුරු හෝ ඇහුවත් ‘කීයක් ගෙවනවද’ කියලා අහන අයත් ඒ අතර ඉන්නවා. ඒත් ඒ අය අතර හොඳ අයත් සිටි බව පවසන්න දයාන් අමතක කළේ නැහැ.

“මේ අපේ පරණ නළු - නිළියන් සියලු දෙනා සමඟ ම වැඩ කරන්න පහසුයි. ඔවුන්ගෙන් පුදුම සහයෝගයක් ලැබෙන්නේ. ඒ අය බොහොම හෘදයාංගමයි.”

නිළි මනාලියන් ගැන කතා කරලා අවසානයේ දයාන් පැවසුවේ බොහොම හැඟීම්බරව.

දිල්හානි අචලා
ඩිලානි චන්ද්‍රලේඛා
නිරෝෂා ගයත්‍රි
නිල්මිණි රුවන්ති
ඉන්දිකා රෝසි
 
නයනි