වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ගීතයක් ජනප්‍රියවීමට වීඩියෝවක් අවශ්‍ය නැහැ

ගීතයක් ජනප්‍රියවීමට වීඩියෝවක් අවශ්‍ය නැහැ

- දීපිකා ප්‍රියදර්ශනී

කවිය ඔබ 24දා

විශාරද දිපිකා ප්‍රියදර්ශනී පීරිස් ඇගේ රන් ස්වරයෙන් ඔබව ආමන්ත්‍රණය කිරීමට නැවතත් සූදානම්ව සිටින්නීය. ඒ මෙම මස 24 වැනිදා සවස බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී පැවැත්වෙන 'කවිය ඔබ' නම් වූ සොඳුරුතම සංගීත සැඳෑව සමඟිනි. එදා මෙදාතුර දීපිකා ගැයූ සුබාවිත ගී අතරින් තෝරා ගත් ගීත විස්සකට ආසන්න ප්‍රමාණයක් ඇය එදින ගැයීමට නියමිතය. කවිය ඔබ ගැන දීපිකා දැක් වූ අදහස් කිහිපයක් අපි මෙසේ සටහන් ගත කෙරුවෙමු.

දීපිකා 'කවිය ඔබ' ප්‍රසංගය පැවැත්වීමේ මූලික අරමුණ මොකක්ද?

මේ වන විට මං ක්ෂේත්‍රයට ඇවිත් දශක තුනක් වෙනවා. මේ කාලය අතරතුර සුබාවිත ගීතයේ උන්නතිය වෙනුවෙන් මං බොහෝ දේවල් කළා. මේ ප්‍රසංගයත් එවන් වූ කර්තව්‍යයක්. මගෙන් බොහෝ දෙනෙකු ඉල්ලා සිටියා එක තැනකට වෙලා නිදහසේ මගේ සිංදු අහන්න ක්‍රමයක් සලසලා දෙන්න කියලා. ඒ අතරින් වැඩි දෙනෙක් තම දෛනික රාජකාරීන් නිසා හෙම්බත් වූ අය. හැල්මෙ දුවන ජීවිතයට එක්තරා අන්දමින් විරාමයක් තබන්න 'කවිය ඔබ' ප්‍රසංගය සංවිධානය කළේ.

ඔබම කියනවා ඔබේ ගීත අහන්න බොහෝ දෙනෙකු ඉන්නවා කියලා. නමුත් ඔබේ ගීත අපට ගුවන් විදුලි නාළිකා ඔස්සේ ද ඇහෙන අවස්ථා අඩුයි. අඩුම තරමේ ප්‍රසංග වේදිකාවේවත් ඔබ නැහැ?

මේ වන විට සුභාවිත ගීතය යටපත් වෙලා. වෙන වෙන ගීත තමා ඇහෙන්නේ. මගෙත් කොච්චර නම් අලුත් ගීත තියෙනවාද. නමුත් ඒවා එකක්වත් ප්‍රචාරය වන්නේ නැහැ. කිසිදු බලපෑමකින් තොරව රසික රසිකාවන්ට මගේ ගීත අහන්න පුළුවන් අන්තර් ජාලයෙන් පමණයි. ඒත් අද හැමෝටම අන්තර්ජාල පහසුකම් නැහැනෙ.

උදාහරණයක් සහිතව ඔබේ පිළිතුර තවදුරටත් පැහැදිලි කළොත්?

මගේ ගීතයක් තියෙනවා 'මල කොතැන පිපුණාම මොකද' යනුවෙන්. එය මා අන්තර් ජාලයට එකතු කරලා තියෙන්නේ. ඔබට වෙලාවක් ලැබුණොත් අන්තර් ජාලයට ගිහින් බලන්න ඒකට කොච්චර ප්‍රතිචාර ලැබිලා තියෙනවාද කියලා. සමහර අය ඒ සින්දුව මගෙනුත් ඉල්ලලා තියෙනවා. ඇතැම් විට ගුවන් විදුලි නාළිකාවලින් පවා ඒ සින්දුව ඉල්ලන්න ඇති. නමුත් ප්‍රචරය වන්නේ නැහැ.

මා පෙර ප්‍රශ්නයකදී ඇසුවා ඔබ ප්‍රසංග වේදිකාවේ නොමැති කාරණාව?

මා ප්‍රසංග වේදිකාවෙන් සමුගෙන අවුරුදු හතරක් වෙනවා. ප්‍රසංග වේදිකාව කිසිම ප්‍රමිතියක් නැති තැනක්. අනික අපි එතනට ගිහින් එක එක තැන්වල අත්සන් කරලා ලිස්ට් එකකට සින්දු කියන්න ඕනෑ. අනේ මට එහෙම හෑල්ලුවෙන්න බැහැ. ඒ හින්දා ප්‍රසංග වේදිකාව අතහැරියා.

මේ වන විට වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් ගීත නිර්මාණය වෙනවා. ඔබටත් එවන් වූ ගීත ගයන්නට ඇරැයුම් ලැබෙන්න ඇති?

ඔව්. ගොඩක් ඇරැයුම් ලැබුණා. එකක් දෙකක් නෙවෙයි, ආරාධනා බොහොමයි.

නමුත් ඔබ ගැයුවේ නැහැ?

මට තියෙන්නේ හොඳ ගීත ගැයීමේ පිපාසාවක්. එදා ඉඳලම මං කළේ ගුණාත්මක පද රචනා මගේ ගිතවලට යොදා ගැනීම. මං විශ්වාස කරනවා අමරදේවයන්ගෙන් ඇරැඹි සුභාවිත ගායන පරපුරේ අන්තිම හරියේ මමත් ඉන්නවා කියලා. ඒ වටිනාකම මං හදාගෙන තියෙන්නේ මගේ ගීත හින්දා.

වෙළෙඳපොළ වෙනුවෙන් නිර්මාණය කරන ගීත ඔබේ ඇතැම් ගීතවලට වඩා ජනප්‍රියයි?

හොඳ දේ ජනප්‍රිය නැහැ. ජනප්‍රිය දේ හොඳ නැහැනෙ. මං මේ කියන්නේ ඒ සින්දු නරකමයි කියලා නොවෙයි. මගේ ගීත මිනිසුන් අතර තියෙනවා. විශේෂයෙන් ඔවුන්ගේ හදවතේ මං ඉන්නවා. ඒකයි මං මුල් යුගයේ ගයපු ආජු තපර ලාහිලා, සිනා පොදක් වී වගේ ගීත අදටත් ජනප්‍රිය.

සිනා පොදක් වී කැසට්පටය ඔබ නිකුත් කළේ 1990 විතර. එහි බොහොමයක් ගීත අතිශය ජනප්‍රිය වුණා. නමුත් ඔබ අවසන් වරට නිර්මාණය කරන ලද සුදු හංසිනී සංයුක්ත තැටියේ ගී අතරින් හතරයි පහයි ජනප්‍රිය වුණේ?

ඒක වුණේ මෙහෙමනේ. සිනා පොදක් නිකුත් කරපු පරිසරය නෙවෙයි අද තියෙන්නේ. එදා ඔබ කිව්වා වගේ සිනා පොදක් කැසට්පටයේ ඔක්කොම ගීත වගේ සැරින් සැරේ ගුවන් විදුලියෙන් ඇසුණා. නමුත් අද එහෙම නැහැ. ඒ අභාග්‍ය සුදු හංසනීට වුණා.

ඔබගේ සමකාලීන ගායිකාවෝ ප්‍රතිපත්ති බිඳගෙන වේගයෙන් ඉදරියට ඇදෙනවා. ඔබ ඉතාම හිමින් ගමනකයි යන්නේ. හැමදාම එහෙමද?

මගේ ප්‍රතිපත්ති කවදාවත් මුදලට පාවා දෙන්න මම සූදානම් නැහැ. මේ කෙටි මනුෂ්‍ය ජීවිතයේ මට විශේෂ වගකීමක් තියෙනවා කියලා මං හිතනවා. ඒ මිනිසුන්ගේ රස වින්දනය දියුණු කිරීම. ගුරුවරියක හැටියට එය මගේ වගකීමක්. මං මගේ ළමයින්ටත් කියන්නේ හැල්මෙ දුවන්නට එපා කියලා. හොඳ රස වින්දනයක් තියෙන මිනිිසුන් ඉන්න සමාජයක් පිරිහෙනවාද අඩුයි.

ඔබට ෆේස්බුක් ගිණුමක් තියනවාද?

ඔව්.

ඔබ මොන වගේ ප්‍රයෝජනනයක් ද ෆේස් බුක් එකෙන් ගන්නේ?

මං මගේ සින්දු එයට එකතු කරනවා. මං සම්බන්ධ පුවත් විශේෂයෙන්ම කවිය ඔබ ප්‍රසංගය ගැන, මං එයට නෝටිස් දානවා.

ෆේස් බුක් එකේ බොහෝ කලාකරුවන්ට හිරිහැර කරදර වන විදිහේ පුවත් පළවනවා. ඔබටත් එහෙම වෙලා තියෙනවාද?

කවදාවත්ම නැහැ. නමුත් මගේ නමින් ව්‍යාජ ෆේස්බුක් ගිනුම් කිහිපයක්ම තියෙනවා. මම බෙහෙවින් තුති පුදනවා මගේ ව්‍යාජ ෆේස් බුක් ගිනුම් හදපු අයට.

කලාකරුවන් අකැමැතියි තම නමින් ව්‍යාජ ෆේස් බුක් ගිණුම් හදන අයට. නමුත් ඔබ වෙනස්?

මගේ ව්‍යාජ ෆේස්බුක්වල තියෙන්නේ මගේ නිර්මාණ සහ මගේ විස්තර. ඒ හරහා වුණත් සුභාවිත ගීතය ජනතාව තුළට යනවනේ. ඒකයි මං තුති පිදුවේ මගේ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් හදපු අයට.

සින්දුවක් ජනප්‍රිය කර ගන්නට වීඩියෝවක් අත්‍යවශ්‍ය බව වැඩි දෙනකුගේ මතයයි. ඔබට මොනවද ඒ ගැන කියන්න තියෙන්නේ?

ඒක බොරුවක්. ගීතයක් ජනප්‍රිය වෙන්නට වීඩියෝවක් ඕනෑ නැහැ. ගීතය විතරක් ප්‍රමාණවත් මිනිසුන් අතරට යන්න. මියුසික් වීඩියෝවට ගීතය ලියන යුගයක් මේක. බොහොම කනගාටුයි. ඒත් මොනවා කරන්නද. කෙනෙකු පැය ගණනකින් කියන පණිවිඩයක් තමයි විනාඩි තුන හතරක් ඇතුළත ගීතයක් හරහා අපි සංගීත ලෝලීන්ට දෙන්නේ. ඒ හැඟීම ඒ විදිහටම දුන්නම මිනිසුන්ට වීඩියෝ ඕනෑ නැහැ. ගීතයේ අර්ථය හිතේ මැවෙනවා.

මොනවද ඊළඟ පරම්පරාව ගැන කියන්න තියෙන්නේ?

හොඳයි, දක්ෂයෝ ඉන්නවා. හැබැයි සැම හඬක්ම එක වගේ එකම රාමුවක කොටු වෙලයි ඔවුන් ගීත ගයන්නේ. ඒක වෙන්න ඇති හැමෝගෙම කටහඬවල් එක වගේ ඇහෙන්නේ.

නවකයෝ වැඩි දෙනෙක් කියනවා ප්‍රවීණයෝ හරි කුහකයි කියලා. ඇත්තද ඒක?

මං ඔය කාරණාව ප්‍රතික්ෂේප කරනවා. ප්‍රවිණ අයගෙන් උදව් ගත්ත ඇතැම් නවකයෝ දන්නේ නැහැ. මේ ක්ෂේත්‍රය තුළ ඉන්න විදිහක් තියෙනවා. ඒ විදිහ තමයි නිහතමානීකම. එහෙම නොඉඳ තමන් මහා ලොකු මිනිස්සු කියලා හිතනවා. එහෙම ඉන්න හොඳ නැහැ. අදටත් අපි ඉන්නේ අපේ තිබුණු නිහතමානීකම නිසා. අපි දන්නවා ප්‍රවීණයන්ගෙන් උදව් ගන්නේ කොහොමද කියලා. මට එදා ඉඳලා ප්‍රවීණයෝ බෙහෙවින් උදවු කළා. අදටත් මං ඔවුන්ට ගරු කරන්නේ ඒකයි.

මොනවද අවසන් කොට කියන්නට තියෙන්නේ?

ප්‍රසංගය ගැන තමයි කියන්නට ඕනෑ. මං මගේ රසික රසිකාවන්ට ඇරැයුම් කරනවා මේ ප්‍රසංගය විඳින්නට එන්න කියලා. මෙහි සංගීතය මෙහෙය වන්නේ ආචාර්ය රෝහණ වීරසිංහ මහත්මයා. සමන් අතාවුදහෙට්ටි නිවේදනයෙන් මෙහෙයවනු ලබනවා. මං 'කවිය ඔබ' මෙතැනින් නිමා නොකොට ප්‍රසංග මාලාවක් වශයෙන් පවත්වන්නත් බලාපොරොත්තු වෙනවා.