වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




විවාහ වුණත් අපි ගැන නිතර අම්මා සොයා බැලුවා

විවාහ වුණත් අපි ගැන නිතර අම්මා සොයා බැලුවා

නදීකා ගුණසේකර තම මව තලතා ගැන කතා කරයි

සිංහල සිනමාවේ දං චූටි කියල කිව්වොත් නොදන්නා කෙනෙක් නැති තරම්. ඒ තරමට මේ දං චූටි ජනප්‍රිය චරිතයක්. කීන දං මිටක් කඩන් ආවා මගේ නංගෝ ගීතය ඇසුව කිසිවකුටත් මේ දං චූටි අමතක වී නැතුවා ඇති. එදා චංචල රේඛා චිත්‍රපටයෙන් ජන හද බැඳ ගත් මේ දං චූටි කලාත්මක සිනමාව තුළත්, වාණිජ සිනමාව තුළත් නොමැකෙන චරිත නිරූපණයක නියැළුණේ අපූරු චරිත රැසකට පණ පොවමිනි. අප අතර සිටින ජ්‍යෙෂ්ඨ කලා ශිල්පිනියක වන නදීකා ගුණසේකර පිළිබඳ මෙලෙස පූර්විකාවක් සටහන් කරන අතරේ ඈ සමඟ සරසවිය කලකට පසු පිළිසඳරට එක් වූයේ වත්මන් තොරතුරු කෙසේද කියා දැනගන්නටය.

ඉතිං නදීකා මේ දවස්වල තොරතුරු කොහොමද?

කාර්යබහුලයි කියලමත් නෑ, කාලය බෙදාගෙන වැඩ කරනවා. මේ දවස්වල ජාතික රූපවාහිනියේ විකාශය වන දූවිලි මල් ටෙලි නාට්‍යයේ රූපගත කිරීම්වල නියැළී ඉන්නවා.

දූවිලි මල් චූටි අක්කා ඔබේ රංගන ජීවිතයේ නවමු අත්දැකීමක්?

ඔව්. අපේ සමාජයේම එක්තරා පිරිසක්. තමන්ගේ ජීවනෝපාය කරගත් අප මතු පිටින් නොසිතන පැත්තක් තමයි මේ දූවිලි මල් තුළින් කතා කරන්නේ. අපිට සැබෑ සමාජ ජීවිතයේ අතපාන සිඟමන් යදින්නකුගේ ක්‍රියා පිළිවෙත විවරණය කරන නිර්මාණයක් තමයි මේ තුළ තියෙන්නේ.

චූටි අක්කාට මේ දවස්වල ප්‍රතිචාර කොහොමද?

ටෙලි නාට්‍යය විකාශය වන අතරතුර කැලණිය පැත්තේ තමයි ෂූටිං කරන්නේ. නාට්‍යය වෙනුවෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා.

කාලෙකින් ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන් සමඟත් රංගනයේ යෙදෙන්න ඔබට අවස්ථාව ලැබිලා?

ඔව්. විමල් කුමාර ද කොස්තා, සිරිල් වික්‍රමගේ, විශාකා සිරිවර්ධන, නෙතලි නානායක්කාර මේ වගේ පිරිසක් සමඟ මට මෙහි වැඩ කරන්න ලැබුණා. මම රංගන ජීවිතයේ මුල් වරට තමයි මෙහිදී සිරිල් වික්‍රමගේ සමඟ රඟපාන්න ලැබුණේ. සිරිල් අයියා මේ චරිතයේ රඟපානවා නෙමේ, ඒ චරිතයේ ජීවත් වෙනවා කියන සිතුවිල්ල තමයි මට එයත් එක්ක රඟපාන කොට ඇති වෙන්නේ. ඒ තරමට චරිතය තාත්ත්විකයි.

කාලයක් නිහඬ බවක් රැක්ක ඔබ අද පුංචි තිරයේ වගේම සිනමාවේත් දකින්න ලැබෙනවා?

මේ දවස්වල ස්වාධීන රූපවාහිනියේ චංචල රේඛා ටෙලි නාට්‍යය විකාශය වෙනවා. ඒ වගේම මහරජ අජාසත්ත චිත්‍රපටය තිරගත වෙනවා. රූපවාහිනියේ දූවිලි මල් විකාශය වෙනවා. හැබැයි මේ හැම ඒකක්ම මම කාල පරාසයක් ඇතුව රඟපෑ නිර්මාණ. ඒත් වෙලා තියෙන්නේ එකම වකවානුවක මේ නිර්මාණ විකාශය වීම, තිරගත වීම.

ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිර්මාණයවීමේ යාන්ත්‍රණයත් සමඟ අද ඔබට කොහොමද ලැබෙන ආරාධනා?

ආරාධනා ලැබුණත් මට තියෙන ලොකුම ගැටලුව මගේ එකම දුව තෙනුකි සෙහන්සා. එයාට දැන් අවුරුදු එකොළහක්. කොළඹ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසලේ තමයි දුව ඉගෙන ගන්නේ. දැන් මම දුව ගැන හොඳ අවධානයෙන් සිටිය යුතු කාලය. අද රටේ වෙන දේවල් දකින කොට එයාගෙන් ඈත්වෙලා දවසක්වත් මට ගෙදරින් පිට ඉන්න හිතෙන්නේ නැහැ. අදටත් මම ෂූටින් ගියත් මගේම නංගි එක්ක එයා ඉන්නවා. නංගිට දුව මටත් වැඩිය එකතුයි. මේ වගේ වාතාවරණයක මට ලැබෙන නිර්මාණ ගොන්නම බාර ගන්නේ නැහැ. මගේ පවුල් ජීවිතය තුළ කළමනාකරණය සමඟ මට නිදහස් මානසිකත්වයකින් රඟපාන්න පුළුවන් නිර්මාණයක් විතරයි බාර ගන්නේ.

හෙළ සිනමාවේ ප්‍රවීණ නිළියක වූ ඔබේ මව තලතා ගුණසේකරයන්ගේ ගුණානුස්මරණයත් යෙදී තිබුණේ පසුගිය දිනෙක නේද?

අම්මා අපෙන් සමුගෙන ගියේ 2003 සැප්තැම්බර් 17 වැනිදා. මේ වෙන කොට අම්මා මිය ගොස් වසර දොළහක්. පසුගිය දාහත් වෙනිදා මම අම්මා සිහිපත් කරලා පන්සලට අටපිරිකරක් පූජා කරලා පින් අනුමෝදන් කළා. මම සිරිතක් වශයෙන් පන්සලකට ගියත් බුදුන් වැඳලා අපේ පවුල්වල මිය පරලොව ගිය සියලු දෙනා සිහිපත් කරලා පිං පෙත් අනුමෝදන් කරනවා.

මවගේ අභාවයත් සමඟ අද වෙන කොට ඈ කලා ක්ෂේත්‍රයෙන් සදහටම සමුගෙන කියා ඔබ සිතනවාද?

නෑ. අදටත් අම්මා රඟපෑ චිත්‍රපට ප්‍රේක්ෂකයන් නරඹනවා. මගේ අම්මා ගැන අදටත් මාධ්‍ය කතාබහ කරනවා ඇය කලාවට කළ සේවය වෙනුවෙන් ඇයට ගෞරවයක් ලෙසින්. ඇය ගැන අදටත් සිහිපත් කිරීම ගැන මා තුළ තියෙන්නේ සතුටක්.

නදීකා අද ඔබත් දියණියකගේ මවක්. මෙවන් පසුබිමක් තුළ ඔබේ මව ගැන අද මොකද ඔබට හිතෙන්නේ?

අම්මා නැති හුදකලා බව මට අදත් දැනෙනවා. එදා මට අම්මා කිව්ව දේ අකුරක් නෑර අද මම ප්‍රැක්ටිස් කරනවා කිව්වොත් හරි. අම්මා අපි දිහා එදා බැලුවේ හරි බයකින්. අපි ඔක්කොම විවාහ වෙලා වෙනම ජීවත් වුණත් අම්මා අපි ගැන රැයක් දවාලක් නැතුව හොයලා බැලුවා. මම පවුලේ වැඩිමලා. නංගිලා තුන් දෙනත්, මල්ලිත් අපි හැමෝම දිහාම බැලුවේ එක සමානව. එක්කෙනෙකුටවත් වෙනසක් කළේ නැහැ. එයා හැම වෙලාවෙම බැලුවේ අපි ගැන. එයා ගැන සැලකිලිමත් වුණේ නැහැ. අම්මා පදිංචි වෙලා හිටියේ මාලිගාවත්තේ මහල් නිවාසවල. එයා එහේ ඉඳන් මහ රෑත් අපිට කතා කරලා අහනවා ගෙදර දොරවල් වැහුවද, ජනෙල් වැහුවද, කියලා. ඒ තරමට එයා අපි ගැන සෙව්වා. කවදාවත් ලේසියෙන් එයාට තියෙන ලෙඩක් අපිට කිව්වේ නැහැ. ලෙඩකට පරස්සම් වුණේ නැහැ. බෙහෙත් වුණත් එයා ගන්නේ හරිම අඩුවෙන්.

කලා ක්ෂේත්‍රයේ කාටත් ඔබ දෙපළ හරියට නිකන් ඉඳිකට්ටයි නූලයි වගේ?

කලා කටයුත්තකදී, උත්සව අවස්ථාවකදී, සම්මාන උලෙළකදී මමයි අම්මයි එකටම තමයි සහභාගි වුණේ. බැරි වෙලාවත් අම්මා තනියෙන් මොන යම් හෝ දෙයකට ගියොත් එයාගෙන් අහනවා කෝ නදීකා කියලා. මම මොනවට හරි තනියෙන් සහභාගි වුණොත් අහනවා තෝ තලතා කියලා. ඒ තරමට අපි දෙන්නා එකටම තමයි මොන දේටත් සහභාගි වුණේ.

ඇත්තද මේ ඔබේ නමත් සිනමාව නිසාම නිර්මාණය වූවක් කියන්නේ?

ඒක සත්‍යයක්. මගේ උප්පැන්නේ තියෙන්නේ දිසානායක විජේසූරියගේ සන්ධ්‍යා දර්ශනී ගුණසේකර කියලා. මේ නම මම රඟපෑ මුල්ම චිත්‍රපටය වූ කාංචනා චිත්‍රපටයෙන් පස්සේ වෙනස් වුණා. 70 දශකයේ තරුණ සිනමාකරුවෝ රාශියක් සිනමාවට ආවා. එයාලට ඕනෑ කළා දකුණු ඉන්දීය ආභාසයෙන් මිදුණු චිත්‍රපට නිර්මාණය කරන්න. ඒ වගේම අලුත් නිළියෝ ඒ නිර්මාණ සඳහා යොදා ගන්න. කොහොම හරි සන්ධ්‍යා කුමාරි, සිරි කුලරත්න, මගේ අම්මා එක් වෙලා චිත්‍රපටයක් කරන්න සැලසුම් කළා. ඒ වෙලාවේ මම මුල්ම චිත්‍රපටය රඟපාලා තිබුණෙත් පාසල් අවධියේ. ඒ රඟපෑවෙත් බොහොම පරෙස්සමට, ඉස්කෝලෙන් විරෝධයක් ඇති නොවෙන්න. ඒ වෙන කොට සන්ධ්‍යා කෙනෙක් සිනමාවේ ඉන්න නිසා තවත් කෙනෙක් අවශ්‍යය නැහැ කියලා සිරි කුලරත්න මහත්තයා නදීකා ගුණසේකර කියලා සිනමාවට නම යෝජනා කරලා තියෙනවා. ඒ යෝජනාවත් හරි එදා පටන් මං නදීකා ගුණසේකර.

ඔබගේ මුල්ම චිත්‍රපට රංගනය වූ කාංචනා චිත්‍රපටය, චිත්‍රපටයක් හදන කතාවක් තේමා කොට නිර්මාණය වූවක්. මේ පිළිබද අද මතක සැමරුම කොහොමද?

ඒ වෙන කොට මම නුවර මහාමායා විද්‍යාලයේ ශිෂ්‍යාවක් . එතකොට මට අ. පො. ස. උසස් පෙළ ලියන්න තිබුණේ මාස තුනයි. ඒ වෙනකොට මම ඉස්කෝලෙදි සින්දුවක්වත් කියලා තිබුණේ නැහැ. ඒ චිත්‍රපටය හදපු අධ්‍යක්ෂක එම්. සංඝදාස මහත්තයා මගේ අම්මාගේ යාළුවෙක්. මේ චිත්‍රපටය තුළ තිබුණු කතාවේ ප්‍රධාන නළුවා ලෙස විජය කුමාරතුංග රඟපෑවා. මම එහි රඟපාන්න ආ ප්‍රධාන නවක නිළිය ලෙස රඟපෑවා. වොලී නානායක්කාර තමයි ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ලෙස රඟපෑවේ. ඩොනල්ඩ් කරුණාරත්න තමයි එහි කැමරා ශිල්පියා ලෙස රඟපෑවේ.

ජනකාන්ත නළු විජය කුමාරතුංග සමඟ ඔබ මුල්ම රංගනය ඉදිරිපත් කිරීමේ භාග්‍යය ලැබූ වාසනාවන්තියක් වුණා?

මගේ රංගනයේ ඇරැඹූම විජය සමඟ.

කාංචනා චිත්‍රපටයේ මුල්ම රූපගත කිරිම අදත් මතකද?

රීගල් සිනමා ශාලාවේ තමයි රූපගත කළේ. චිත්‍රපටයේ කතාවේ හැටියට හදන චිත්‍රපටයේ මංගල දර්ශනයේ ප්‍රධාන නිළිය පාන පත්තු කරන දර්ශනය තමයි රූපගත කළේ.

ජනප්‍රිය රැල්ලේ පෙරළිකාර නිළියක් වන්නත් ඔබට සිදු වුණා?

ලෙනින් මොරායස්ගේ යුගයෙන් යුගය චිත්‍රපටයෙත්, සේන සමරසිංහගේ චංචල රේඛා චිත්‍රපටයේ රඟපෑමත් සමඟ මේ පෙරළිකාර ගමන මට ආශිර්වාද කළා.

ඔබ වඩාත් ජනප්‍රිය වුණේ චංචල රේඛා චිත්‍රපටයෙන්?

ඒ චිත්‍රපටයේ දං චූටි චරිතයට මම ගොඩක් කැමැතියි. අදටත් මගේ රසිකයෝ මාව දැක්කම මට දං චූටි කියන අය ඉන්නවා. ඒ චිත්‍රපටයේ කීන දං මිටක් කඩන් ආවා මගේ නංගෝ ගීතය පුදුම විදියට රසිකයෝ අතර ජනප්‍රිය වුණා.

සිනමාවේ දැවැන්තයෝ සමඟත් එදා ඔබේ රංගනය මුසු වුණා?

ගාමිණී ෆොන්සේකා කියන්නේ අපේ සිනමාවේ දැවැන්තයෙක්. ඒ වගේ අය එක්ක රඟපාන්න මට බයත් හිතුණා. සමහර අවස්ථාවල ගාමිණී අයියත් එක්ක රඟපාන කොට ඔහු පිළිබඳ ලොකු ගෞරවයක් ඇති වුණා.

සිනමා ජීවිතයේ අමරණීය සිහිවටන මොනවාද?

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බැද්දේගම, සුමිත්‍රා පීරිස්ගේ යහළු යෙහෙළි, ඩී. බී. නිහාල්සිංහගේ රිදී නිම්නය.

ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

කලාව වෙනුවෙන් යමක් කළා කියන මානසික තෘප්තිය මට තියෙනවා. මගේ ජීවිතයේ වැඩිම කාලයක් ගත වුණේ සිනමාවත් සමඟ. මගේ සැමියා සුරේන් හපුආරච්චි. එයා ව්‍යාපාර කටයුතුවල නියැළී ඉන්නවා. අපි දෙන්නාගේ එකම බලාපොරොත්තුව තෙනුකි දුව. එයා වෙනුවෙන් ඉදිරි මුළු ජීවිත කාලයම කැප කරලා තියෙන්නේ. ඒ කාලේ ෂූටිං යන කොට තිබුණු අවිවේකීකම ඇතුළේ පුදුම සතුටක් තිබුණා. දැන් ඒ අවධිය මතක් වෙන කොටත් හිතට පොඩි සාංකාවකුත් දැනෙනවා.

ඔබේ වත්මන් ලිපිනය මතක් කළොත්?

552/1 බී, වෙස්බරි උද්‍යානය, අකුරේගොඩ, පැලවත්ත.