වර්ෂ 2015 ක්වූ අගෝස්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




සුප්පාදේවීගේ සිංහබාහු මතක

සුප්පාදේවීගේ සිංහබාහු මතක

අපේ වේදිකා නාට්‍ය, චිත්‍රපට, ගුවන් විදුලි, සාහිත්‍යය, මාධ්‍යය ආදි කලා ක්ෂේත්‍රවල බොහෝ පිරිස් එතෙර විප්‍රවාසයේ ඉන්නා බව ප්‍රකට කරුණක්. ඔවුන් විප්‍රවාසයෙහි වුවත් අපේ රටේ සිදු වන සිනමා කලා, සාහිත්‍ය සංස්කෘතික ක්‍රියාකාරකම් පිළිබඳ උනන්දුව නම් අත් හැරලා නැති බව අපට දැනෙනවා. සරසවියේ පසු වේදිකාවේ ලියැවුණු රසවත් සිදුවීම් පිළිබඳ තමන්ගේ ප්‍රතිචාරය මුලින්ම ලියා එවපු වේදිකා හා රූපවාහිනී නිළිය තමයි මාලිනී රණසිංහ. මාලිනී සිංහබාහු මුල් නිෂ්පාදනය (1961) ඉඳලා සුප්පාදේවී. ඇයව හැම දර්ශනයකටම වේදිකාවට කැඳෙව්වේ ඇගේ සැමියා ටෙරන්ස් රණසිංහ. ඔහු පොතේ ගුරු විදියට වේදිකාවේ වම් කෙළවරේ ඉඳලා 'දැන් නරඹනු රසාඳින සුප්පාදේවී මනකල්' කියලා දකුණු පස පැති තිරය දෙසට අත යොමු කළාම මාලිනී රණසිංහ සුප්පා දේවී නැටුම් තාලයෙන් වේදිකාව මැදට ඇවිත් වගුරට නරනිඳු දඹදිව පරසිදු හට දා වූ මම වෙමි දෙටු දූ කියලා සිංදුව පටන් අරගෙන නැත ලොවේ අන් රසඳුනා ආදරේ සේ සුවදෙනා කියලා වේදිකාවෙන් නික්ම යනවා.

සුප්පා දේවීට නාට්‍ය කණ්ඩායමේ හැමෝම කිව්වේ මාලිනී අක්කා කියලයි. පොතේ ගුරු ටෙරී අයියා. සිංහබාහු දෙවන නිෂ්පාදනයෙ (1970) ඉඳලා සුප්පා දේවී චරිතෙන් සමුගන්නා කල් මාලිනී අක්කා මට හමු වෙනවා සිංහබාහු ගමන්වලදී, නේපථ්‍යාගාරයේදී, බස් රියේදී. මගේ හොඳම සුප්පා දේවී මාලිනී අක්කා. ඇයට පසු සුප්පා දේවී චරිතයට පණ දෙන නිහාරි සෝමසිරිටත් මම කැමතියි. හැබැයි මාලිනී අංක එක. සිංහබාහු නාට්‍යයේ ඒ වගේ මගේ අංක එකේ චරිත කීපයක් තියෙනවා. මට අදටත් හොඳම සිංහබාහු කුමාරයා දිගා, නිශ්ශංක දිද්දෙණිය. එතකොට සිංහයා? මම මාක් ඇන්ටනිගේ ඉඳලා සිංහයො කීප දෙනෙක්ම දැකලා තියෙනවා.

සමන් බොකලවෙල, ජයශ්‍රී චන්ද්‍රජිත්, ජයනාත් බණ්ඩාරත්. මගේ සිංහයා නම් ජයශ්‍රී. ඒත් සමන්ගේ සිංහයා භූමිකාවටත් මම කැමැතියි, ඔහු පියෙක් විදියට ගැඹුරු නිරූපණයක් කළා. ජයශ්‍රී ගායනයෙන්, නර්තනයෙන් සමන්ව පහු කරගෙන ඇවිත්. ඇත්තටම ඔහු තාත්තා කෙනෙක් වුණාට පස්සේ සිංහයා තුළ ජීවත් වුණා. මාලිනී අක්කා පහුගිය පසුවේදිකා කතා කියවලා මට විද්‍යුත් තැපෑලෙන් ඇගේ මතක සටහන් කීපයක් එවනවා පුළුවන් නම් ඒ කතා සකස් කරලා සරසවියට ලියන්න කියලා. ඈ ඕස්්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඉඳලා කරන මේ ඉල්ලීම අහක දාන්න මගේ හිත කියන්නේ නෑ.

සුප්පාදේවී ගැන තව ඩිංගක් කියන්න ඕනෑ. ඇගේ මතක සටහනේ සිංහයා සමන් බොකලවෙල. 70 නිෂ්පාදනයේ. මුල්ම නිෂ්පාදනයේ ඈ රඟපෑවේ මාක් ඇන්ටනි සිංහයා විදියට , චාලි ජයවර්ධන සිංහබාහු විදියට. චාලි ජයවර්ධන කියන්නෙත් රංගන පරපුරක කීර්තිමත් සාමාජිකයෙක්. ඔහුගේ වැඩිමල් සොහොයුරා තමයි ඩොමී ජයවර්ධන, අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ සිංහල සිනමාවේ දුෂ්ටයා කියලා. චාලි ජයවර්ධන සිංහබාහු රඟපාන කාලේ පරිපාලන සේවයේ නිලධාරියෙක්. ඔහු ගැන කතා පසුවට.

මේක්අප් රූම් එකේ කවුරු මේක්අප් කරමින් හිටියත් මාලිනී අක්කා ඇසට නැතේ දකිනේ පුතු මාගේ කියන සිංදුව අහන්න, බලන්න නොවැරැදීම වේදිකාව ඉදිරියට එන පුරුද්දක් මට තිබුණා. ඇගේ ගායනය, රංගනය තාමත් 70 දශකයේ ඉඳලම හිත ඇතුළේ නිධන් වෙලා වගේ. මාලිනී අක්කාගේ සටහනේ තියෙන්නේ සිංහබාහු ගමන්වලදී ගායන වෘන්දයට එක් වෙච්ච ඇගේ හිතේ රැඳිලා ඉන්න ගායකයෝ ගැන සිහිපත් කරන්නයි කියන ඉල්ලීම. සප්ත මහා සාගරයෙන් එයා ලෝකයේ කොහේ හෝ මුල්ලක ජීවත්ව සිටියත් මව්බිමේදී ලත් අත්දැකීමක ජීවන මිහිර සිතින් ඈත් කරන්න පුළුවන් කාටද? තම ස්වාමියාගේ වියෝවින් පස්සේ දරුවන් එක්ක තනි වී ඉන්න වෙලාවක සරසවිය පසුවේදිකාව ඇගේ මතක අලුත් කළා වෙන්නැති.

සිංහබාහු මුල් නිෂ්පාදනයේ සංගීත අධ්‍යක්ෂණය එච්. එච්. බණ්ඩාරගේ. 70 වෙන කොට ඔහුත් විප්‍රවාසයේ එංගලන්තයේ. අලුත් නිෂ්පාදනයේ සංගීතය පැවරෙන්නේ ගිරාගම සෞන්දර්ය පීඨයේ ආචාර්ය මණ්ඩලයේ ඉඳලා පසුව එහි විදුහල්පති වුණු ජයන්ත අරවින්ද. බණ්ඩාරත්, ජයන්තත් දෙන්නම පේරාදෙණියේ නිෂ්පාදන. ජයන්ත සිංහබාහු අත්වැල් ගායක කණ්ඩායමට කැන්දන් එනවා ඔහුගේ ශිෂ්‍යයෙක් ගිරාගමින්. ඔහු තමයි සුනිල් සිරිවර්ධන. සංගීත, නාට්‍ය පවුලකින් පැවතගෙන එන සුනිල්ගේ සොහොයුරී චන්ද්‍රිකා සිරිවර්ධන.

සුනිල් පසු කලෙක ජාතික රූපවාහිනියේ සංගීත අංශයේ සේවය කළා නිෂ්පාදකවරයෙක් විදියට. මාලිනී අක්කට සිංහබාහු බස් රියේ ගමන්වලදී සුනිල් ගායනා කරපු සිනිඳු සුදු මුතු තලාවේ මතක් වෙලා. සුනිල් සමඟ ඇගේ මතකයට ආපු අනිත් ගායකයා පේරාදෙණිය විශ්ව විද්‍යාල කණ්ඩායමේ මහින්ද සමරසිංහ. මහින්ද සිංහබාහුවලට එන්න කලින් සරච්චන්ද්‍රගේ පෙමතො, ශිෂ්‍යයෙක් විදියටත් රඟපාලා තියෙනවා. සුනිල්, මහින්ද දෙන්නගෙ ගායනාවලට බස් රථයේ හැමෝම නිශ්ශබ්ද වෙලා එකතු වෙන හැටි මාලිනී අක්කට මතකයිලු. දිගා, මනෝ, අනුර, ස්වර්ණමාලී, රංජි, දන්තුරේ, සිරිමා, චන්ද්‍රා, විමල්, මහේන්ද්‍ර ගායන වාදන වෘන්දය. සිඩ්නි නුවර වාසය කරන මාලිනී අක්කට සිහිපත් වන මිහිරිතම අවස්ථා ශ්‍රී ලංකාවේ වෙසෙන අපිටත් නිතර සිහි වෙන බව කිව යුතුයි.