වර්ෂ 2015 ක්වූ ජූනි 25 වැනිදා බ්‍රහස්පතින්දා




හැමදාම අත්පොලසන් ලැබෙනවා

හැමදාම අත්පොලසන් ලැබෙනවා

හූවක් ආවදාට ප්‍රසංග වේදිකාවෙන් සමුගන්නවා

මෙරට පළමු රණවිරු ගීතය ගැයූ ඔහු දශක පහක් පුරා අප වෙනුවෙන් ගීතවත් වුණා. රංග නදීකා සුවහසක් සංගීතලෝලීන්ට හඳුන්වා දෙමින්, ඈ නීලවරල පීරූ හැටි බොහොම අපූරුවට කියා දුන් ඔහු හසලක ගාමිණීවද අපට මතක් කර දුන්නා.

එහෙනම් . . .
පිළිගන්න . . .
මෙන්න ඔබේ ඒ ආදරණීය ගී හඬ . . .

ධනපාල උඩවත්ත

සරසවිය වේදිකාවේ . . .

කොහොමද ධනපාල අයියේ?

මේ දිනවල විශේෂ වැඩක් හින්දා කාර්යබහුලයිලු නේද?

මේ වසරට තමයි මගේ ගායන ජීවිතයට අවුරුදු පනහක් සපිරෙන්නේ. ඒ වෙනුවෙන් පුංචි ප්‍රසංගයක් සංවිධානය කළා.

කොහෙද? කවදාද?

මේ මාසෙ 27. ඒ කියන්නේ අනිද්දා. පානදුර පුරහලේදී ප්‍රසංගය පැවැත් වෙන්නේ.

ඔබේ පුතාලා දෙන්නා නේද මෙහි සංගීතය සපයන්නේ?

ඔව්. ගයාන් සංගීත් සහ ෂමින් පෙම්කිත් කියන මගේ පුතාලා දෙන්නා මං වගේම සංගීතයට ළැදියි. ඒ හින්දම ඔවුන් දෙපොළ ප්ලස් මයිනස් කියලා සංගීත කණ්ඩායමක් හදා ගත්තා. ඒ කණ්ඩායමයි එදාට ප්ලේ කරන්නේ. පුතාලා දෙන්නත් තාත්තා එක්ක එදාට ගීතවත් වෙනවා.

මේ ඔබේ කී වැනි ඒක පුද්ගල ප්‍රසංගයද?

තෙවැනි එක. මීට ප්‍රථම නෙළුම් විලේ සහ සුරංගනාවි කියලා ප්‍රසංග දෙකක් පැවැත්වූවා.

සුරංගනාවි ප්‍රසංගය දවසේ ඔබ මහත් වූ අපහසුතාවයකට පත් වූ වග ඔබේ අතීත මිත්‍රයෙක් මාත් එක්ක කිව්වා?

එදා පුදුම විදිහට සෙනඟ ආවා. ප්‍රසංගය තිබුණු ශාලාව කට කපලා පිරිලා. ඒත් සෙනඟ එනවා එනවා ඉවරයක් නැහැ. සමහරු ගහ මරාගන්න හදනවා ඇතුළට එන්න. මේ මානසිකත්වය මැද මට ප්‍රසංගය පවත්වන්නත් බැහැ. අන්තිමේ අපි තීරණය කළා ළඟ තිබුණු පිට්ටනියක ප්‍රසංගය පවත්වන්න. ටක් ගාලා සවුන්ඩ්ස් ඔක්කොම එකතු කරගෙන ප්‍රසංගයකට අනුව පිට්ටනිය සකස් කරලා මම සිංදු කියන්න පටන් ගත්තා.

ඇයි ඔබට රණවිරු ගීත ගයන්න හිතුණේ?

අසූව දශකය ආරම්භයේදී මම කැසට්පටයක් කළා. එහිදී හෙක්ටර් විජේසිරි කියන ගීත රචකයා ලියූ පදමාලාවක් මගේ අතට ලැබුණා. ‘මා ආදරණීය මගේ අම්මා වෙතටයි, මේ ලියන්නෙ ආරක්ෂක කඳවුරේ සිටයි’ යනුවෙන් ගීතය ලියැ වී තිබුණා. ඔය කාලේ අපේ රටේ යුද ගිනි ඇවිලෙමින් තිබුණ කාලයක්. මම හිතුවා මේ ගීතය ගැයීමට වඩාත් සුදුසු කාලය මේක කියලා. මොකද එතකොට මෙවැනි රණවිරු ගීත තිබුණේ නැහැ. වෙනත් මාතෘකා යටතේ ඕනෑ තරම් ගීත තිබුණා. මම කොහොමත් වෙනස් ගීත කියන්න ආසයිනේ. ඒ හින්දා මේ ගීතය කාලීන අවශ්‍යතාවක් ලෙස සලකලා මම කියන්නට තීරණය කළා.

නමුත් ඔබ ගීතය පටිගත කළ යුතු දිනයේ පටිගත කළේ නැහැ? ටික දිනක් කල් දැම්මා?

ඒකට ප්‍රධානම හේතුව මෙන්න මේකයි. සිංදුවේ මැද හරියේ තියෙනවා මෙන්න මෙහෙම කොටසක්.

අව්ව වැස්ස රෑ දහවල එකයිනෙ අපට
එකම සිතින් ඇවිත් ඉන්නෙ අපි සේවයට
වාසි පතන අතළොස්සක් රට වනසන්ට
සැහැසි ලෙසින් යොමු වෙයි අපරාධ කරන්න

මට එහි තෙවැනි සහ හතරවැනි පේළි දෙක හිිතට ඇල්ලුවෙ නැහැ. මොකද එය ලියවිලා තිබුණේ රණවිරුවන්ට නෙවෙයි. ඒ කාලේ කලබල කළ පුද්ගලයින්ට රිදෙන්නයි ඒ පේළි දෙක යොදාගෙන ඇත්තේ කියලා මට හිතුණා. මම සිංදුවේ කොලෙත් අරගෙන ගෙදර ගියා. කල්පනා කරලා අර පේළි දෙක අයින් කරලා ‘කිසිම බයක් දැනෙන්නෙ නැහැ කොහොමත් සිතට, සේවය කරනෙමි මිය යනතුරු ලක්බිමට’ යනුවෙන් මම ලිව්වා. යළිත් පටිගත කිරීම යොදා ගත් දින මම එය හෙක්ටර්ට පෙන්නුවා.

මොන වගේ ප්‍රතිචාරයක් ද ඔහුගෙන් ලැබුණේ?

ඔහුගේ බැල්ම අතිශය දරුණු වුණා. දෙපාරක් තුන් පාරක් මං ලියපු පේළි දෙක කියවලා බලලා ඔහු කොළය ගුලි කරලා පොළවෙ ගැහැව්වා. ‘මම උඹට ආයේ සිංදු ලියන්නේ නැහැ’ කියලා ශබ්දාගාරයෙන් නික්මුණා. කිව්වත් වගේම ඔහු ආයෙ මට කවදාවත් සිංදු ලිව්වේ නැහැ.

ඔබ එදා ගීතය පටිගත කළාද?

ඔව්.

මා ආදරණීය ගීතය හින්දා ඔබට මරණ තර්ජනත් ආවලු නේද?

ත්ගම ෂෝ එකකට මම ගියා. ඔන්න ඉතින් සිංදු කියනකම් ස්ටේජ් එක පිටිපස්සට වෙලා මමයි එම්. එස්. අයියයි පොඩි කතාවක් දාගෙන හිටියේ. ඒ 83 ජූලි කලබල සිදුවන කාලේ. එක පාරටම නාඳුනන කෙනෙක් මම ළඟට ඇවිත් මට කිව්වා ස්ටේජ් එක එහා පැත්තේ දෙන්නෙක් ඔයාව මුණ ගැහෙන්න බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා කියලා. මම ගියා බලන්න. මෙන්න ඉන්නවා මිනිස්සු දෙන්නෙක් මූණ කට කළු රෙද්දකින් වහගෙන. එකෙක් අතේ තිබුණු තුවක්කුව ඔළුවට තියලා කිව්වා මා ආදරණීය ගීතය ගැයුවොත් මරනවා කියලා. ඔන්න එතකොටම නිවේදකයා මගේ නම කිව්වා. ඒ කලබලේ මැද මම ස්ටේජ් එකට දිව්වේ මරණ බයෙන්. එදා මම ඈ නීල වරල පීරලා ගීතය පස් වතාවක් කියලා ඒ ෂොක් එකට. අන්තිමේ ගිටාර් ගහපු මල්ලි කනට කරලා කිව්වා අයියේ ඔයා නොන්ස්ටොප් ඈ නීල කිව්වා කියලා. තව දවසක් බහරේන්වල මම ඔය ගීතය කිය කියා ඉන්න කොට ආවා ලොකු වීදුරු බෝතලයක් ස්ටේජ් එකට. වාසනාවට වැදුණේ නැහැ. බහරේන් එකල හැඳින්නුවේ පුංචි යාපනය කියලා. එහි හිටපු එල්. ටී. ටී. ඊ කාරයෝ තමයි මට බෝතලයෙන් ගහලා තියෙන්නේ. ඒ මොහොතෙම මම සිංදුව නැවැත්තුවා.

මා දන්නා පරිදි ඔබ තමයි මෙරට වැඩිම රණවිරු ගීත ගැයූ ගායකයා. නමුත් කිසිම කෙනෙකු ඔබව සැලකිය යුතු මට්ටමකින් සලකලා නැහැ?

ඒක ඇත්ත. මාව කිසිම රණවිරු සැමරුමකටවත් රණවිරුවන් හා සබැඳි වැඩසටහනකටවත් කතා කරන්නේ නැහැ. ඒ වගේමයි කිසිම ආණ්ඩුවකින් මට කිසිම උපකාරයක් කරලත් නැහැ. හිටපු ජනාධිපති මහින්ද මහත්තයා මට උපහාර සම්මානයක් දෙන්න හිටියලු. නමුත් එතුමාණන්ගේ වටේ හිටපු අය ඒකත් වලක්වලා මම බයිලා ගායකයෙක් යනුවෙන් හඳුන්වලා දීලා. බයිලා කියන අයට මොකටද සම්මන කියලා ඔවුන් හිතන්නට ඇති.

මා ආදරණීය ගීතය රියැලිටි තරගාවලියක ජයග්‍රහණය කළ අයකුට සින්නක්කරව ලියලා දෙන්න ඇතැම් පුද්ගලයින් පහුගිය කාලේ උත්සාහ දැරුවලු නේද?

මං ඒ වැඩේට නිකම් හිටියේ නැහැ. ලෝයර් මාර්ගයෙන් අදාළ අයට ලියුම් යැව්වා. රචකයා විසින් ගීතය ලියාගෙන ගෙදර තියාගෙන හිටියා නම් ඒක ජනප්‍රිය වෙන්නේ නැහැනෙ. මං ඒකෙ ප්‍රවාහකයායි. මටත් ගීිතයේ අයිතිය තියෙනවා. අනික සිංදුව සංගීතවත් කළ ලාල් තේනබදු ජීවතුන් අතර නැහැ. ඒකත් ප්‍රධාන හේතුවක් වුණා ගීතය විකුණන්න නොහැකි වෙන්නට. කොහොම හරි මා ආදරණීය ගීතය මං ළඟ හැමදාම තියෙන විදිහට වැඩ සිද්ධ වුණා.

ඔබගෙන් කවුරු හරි සිංදුවක් සල්ලිවලට ඉල්ලුවොත් මොකද කරන්නේ?

කිසි කෙනෙකුට දෙන්නේ නැහැ. මගෙන් පසුව මගේ ගීත මගේ දරුවන්ට.

ඔහොම කිව්වට ඔබේ ගීත හතරක් රිඟිං ටෝන්වල තියෙනවා? ඒවා විකුණුවේ ඔබ නෙවෙයිද?

මම නෙවෙයි ඒ දමලා තියෙන්නේ. මං ප්‍රසංග වේදිකාවේ ගැයූ අවස්ථාවන්වල පටිගත කරපුවා මටත් හොරෙන් රිඟිංටෝන් දාලා. මං හොයා ගත්තා ඒවා කළේ කවුද කියලා. ඒක නෙවෙයි නියම කතාව. මගේ සිංදුවක් මගේ ෆෝන් එකේ රිඟිං ටෝන් එකට දාන්න මං අදාළ සමාගමට කතා කළා. ඔවුන් මගෙනුත් මුදල් අය කරලයි ගීතය මගේ ෆෝන් එකට දැම්මේ. ධනපාල උඩවත්තගෙ ගීතවලට ධනපාල උඩවත්තම ගෙවනවා.

බොහෝ අය ඔබව හඳුන්වන්නේ බයිලා ගායකයෙක් කියලා?

නැහැ. මම ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ සරල ගී ගායකයෙක්. ඒත් මං ගුවන් විදුලියේ බයිලා පරීක්ෂණයෙන් ද සමත් වී තිබෙනවා.

ඔබ වැඩිපුරම ගැයුවේ ද බයිලා ආරට නිර්මාණය වූ ගීතනෙ?

මං ආභාශය ගත් ගායකයෝ තමයි එම්. එස්. සහ ඇන්ටන් ජෝන්ස්. මමයි නිහාල් නෙල්සනුයි ඉස්සර එම්. එස්. අයියගෙ සිංදුවලට පොර කනවා. එම්. එස්. අයියා බැහැලා ගියාට පසු කොහොම හරි ඔහුගේ සිංදු බෙදාගෙන අපි කිව්වා. පසුකාලීනව මං ගැයුවෙත් ඒ අය කියූ ගීතවලට සමාන ගීිතනෙ. ඒ හින්දා මිනිසසු මාව බයිලා ගායකයෙක් ලෙස හඳුන්වලා දෙනවා.

මෙරට පළමුවැනි රණවිරු ගීතය ගැයුවා වගේම ඔබ තවත් වාර්තා තුනකට හිමිකම් කියනවා. ඒ ගැනත් කියමු?

අප රටෙහි නිර්මාණය වූ චිත්‍රපට පෙළ අමුණලා ගීයක් කිව්වේ මං. පළමු දේශපාලන ගීතය කතිර පාර, මාලිනී ෆොන්සේකාට ගැයූ පළමු උපහාර ගීතය් ගැයුවේ මම.

ඔබගේ රංග නදීකා අතිශය ජනප්‍රියයි. කවුද මේ රංග නදීකා?

මගේ යාළුවෙකුට කෙල්ලෙක් බූට් එක තියලා. කෙල්ලගෙ නම නදීකා. නදීකා නැට්ටිච්චියක් වගේ කියලා යාළුවා කියනවා. ඒ වගේම දකින දකින අයට බහ දෙනවලු. ඔය අදහස මම ගීතයකට පෙරලුවා. නැට්ටිච්චියක් වගේ නිසා නදීකාට රංග කියන කෑල්ල එකතු කළා. එය මං ලියා මමම සංගීතය සපයමින් ගැයුවා. සංගීත ලෝලීන් බොහොම ආදරයෙන් රංග නදීකව වැළඳ ගත්තා.

ඇයි අලුත් ගීත අඩංගු සංයුක්ත තැටියක් එළිදක්වන්නේ නැත්තේ?

කොහොම කරන්නද, අද තැටිය එළියට දැම්මොත් හෙට පේමන්ට් එකේ තියේවි. එහෙම කරලා මොකටද.

දිගින් දිගටම ප්‍රසංග වේදිකාවේ රැඳී සිටිින්නද බලාපොරොත්තුව?

අනිවාර්යයෙන්ම රසිකයෝ මට හැමදාම අත්පොලසන් දුන්නා. හැබැයි එක හූවක් ආව දවසට මං ප්‍රසංග වේදිකාවෙන් අයින් වෙනවා.

මොනවද අවසන් කොට කියන්න තියෙන්නේ?

මගේ රසික රසිකාවන්ට ප්‍රසංගය නරඹන්න එන්න කියලා ආරාධනා කරනවා. මෙය මෙහෙය වන්නේ අපේ පොඩි මල්ලි ගාමින්ද සහ චූටි මල්ලි සුනෙත්. ඒ දෙන්නවයි මගේ බිරිය ශිරෝමිවත් මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා.