වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




හතර දෙනාම සූරයෝ මල් කඩති

හතර දෙනාම සූරයෝ මල් කඩති

සොඳුරු අතීතාවර්ජනයක යෙදෙන්නට ගෙවුණු සතියේ මට හැකි විය. එය බොහෝ විට කෙනෙකුට කලාතුරකින් උදාවන අවස්ථාවකි. ඒ මගේ උපන් දිනයත් වෘත්තීය පත්‍ර කලාවට පිවිසි දිනයත් එකිනෙකට යාබදව පිහිටි හෙයිනි. මා වෘත්තීය ලෙස පත්‍ර කලාවට පිවිස හරියටම වසර විසි පහක් පිරුණේ ගිය සතියේය. වෘත්තීය ජීවිත කාලය දෙගුණයකින් වැඩි කළ විට මෙවර මගේ වයස සොයා ගත හැක. මා පුවත්පතකට මුල්වරට ලිපියක් ලිව්වේ ද සරසවියටය. ඒ 1985 වසරේ ඔක්තෝබර් 03 වැනිදාය. එවකට 'සරසවිය' පුවත්පතේ පළ වූ චිත්‍රපට නාමාවලියක තිබූ දෝෂ සමනය කර පාඨකයෙක් හැටියට මම ලිපියක් එවීමි. එය පළ කර තිබුණේ පාඨකයා එවන ලද ලිපියට ස්තුති කිරීමක් ද සහිතවය. ඒ දිනවලම ලෝක ප්‍රකට මහා සිනමාකරුවකු වූ ඕසන් වේල්ස් මිය ගියෙන් මම ඒ පිළිබඳ ද ලිපියක් ලිවීමි. ඒ ලිපිය ද පළ විය.

ඉන් පසු මේ අවධියේ සඳා අහුබුදු මහත්මියගේ කාරුණික අත දීමෙන් සර්වෝදය පුවත්පත සඳහා චිත්‍රපට විචාරයක් ද, 'රාවය' සඟරාවට ද ඉඳහිට ලිපියක් ලියූ මට අත දිග හැර ලියන්නට ලැබුණේ ප්‍රේම් දිසානායක සංස්කරණය කල 'විචිත්‍ර' පුවත්පතටය. ඊට පෙර 'සරසවිය' පුවත්පතට මා විසින් ලියන ලද ලිපි දෙක ද, 'කොටි වලිගය' චිත්‍රපටය අරබයා ලියන ලද නිර්දය විවේචනය ද කියවා තිබූ ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් මිහිඳුකුල මගේ පාඩුවේ ඉන්නට නොදී මා සොයාගෙන විත් ප්‍රේම් දිසානායකයන් සංස්කරණය කරන ලද 'විචිත්‍ර' පුවත්පතට කැඳවාගෙන ගියේය. එය මට හොඳ ඇරැඹුමක් වුව ද කෙටි කලකින්ම පුවත්පත වැසී ගියේය. පුවත්පත් කලාවේදියකු වීමට වඩා සිනමාකරුවෙකු වීමේ අරමුණෙන් පෙළුණු මම කොළඹ නගරයේ සිනමා ශාලාවල ද, තානාපති කාර්යාලවල ද, තවත් මෙකී නොකී තැන්වල ප්‍රදර්ශනය කරන ලද චිත්‍රපට එකක් නෑර නැරැඹුවෙමි.

ඒ පිස්සුව කෙතරම් ද යත් ලැබුණු ගුරු රස්සාවත්, පෞද්ගලික බැංකුවක රැකියාවත් යන දෙකම එක මොහොතකින් අත හරින්නට මට හැකි විය. සිනමාව ගැන ලියන්නට ඇති උනන්දුව නිසාම රාවය සඟරාවේ එවකට නියෝජ්‍ය කර්තෘ උපාලි කොළඹගේ මහතා ඔහුගේ පන්ති සගයකු වූ ඒ වන විට 'සරසවිය' කර්තෘ ධුරයට පත් වූ ඒ. ඩී. රංජිත් කුමාර මහතාට කුඩා ලිපියකින් මා හඳුන්වා දෙනු ලැබීය.

සරසවියේ සුසිල් ගුණරත්න, ලතා බොතේජු, දීප්ති ෆොන්සේකා, කැමිලස් පෙරේරා, අනුර බණ්ඩාර රාජගුරු වැනි දලකාරයන් සිටිය ද, රංජිත් අයියා මට හිස් අතින් ආපසු යන්නට නොදුන්නේය. ඔහු මෙරට සිනමා කාර්මික ශිල්පීන් පිළිබඳ ලිපි පෙළක් ලියන්නට යැයි එදිනම මට භාර දුන්නේය. ඉස් ඉස්සෙල්ලාම පැවරුයේ සංස්කරණ ශිල්පී ස්්ටැන්ලි ද අල්විස් ගැන ලියන්නටය. අද මෙන් දුරකථන පහසුකම් නොතිබුණු එකල මා ස්ටැන්ලි ද අල්විස් එදිනම සොයා ගත්තද ඔහු සිටියේ නුවරය.

තකහනියේ නුවර නොගොස් කොල්ලුපිටියේ සිටින වී. වාමදේවන් සොයා ලිපියක් ලියන්න යැයි රංජිත් අයියා මට අණ කළේය. කොල්ලුපිටියේ මුහන්දිරම් පාරේ විසූ වී. වාමදේවන් සොයා ගිය මම ඔහු සමඟ දීර්ඝ සාකච්ඡාවක් කළෙමි. නන්නාඳුනනා ඉලන්දාරියකුට සම්මුඛ සාකච්ඡාවක් දීමට ප්‍රවීණ කැමරා ශිල්පී වාමදේවන් මැළි වූයේ නැත. ඔහුගේ චිත්‍රපට පිළිබඳ, තාක්ෂණ භාවිතාව පිළිබඳ සාකච්ඡා කළෙමි.

පසුදා වාමදේවන් සමඟ කළ සාකච්ඡාව ද රැගෙන මා සරසවියට යන විට වාමදේවන් දුරකථනයෙන් මා ගැන රෙකමදාරුවක් දී තිබිණි. එදා පටන් මම සරසවියේ පදිංචිකරුවෙක් වීමි. වසර 3 ක් රජයේ චිත්‍රපට අංශයට දායක වුව ද එකල ද මා සරසවියෙන් බැහැරව ගියේ නැත. මේ ආශ්වාදජනක අතීතාවර්ජනයේදී එදා සිට අද දක්වා සරසවිය කර්තෘ පදවිය ඉසිලූ සියලු දෙනාවත්, සියලු දුක සැප එක්ව බෙදා ගත් සරසවියේ සිටි සියලුම සාමාජිකයන්ටත් මගේ ගෞරවය පිරිනැමෙයි.

මගේ නලාව ගැසීම එතැනින් නතර කොට ලියන්නට හිතාගත් කතාවට එක්විමි. මේ ලියන්නේ හතරදෙනාම සූරයෝ ගැන ඇති වූ කතාබහකි. නීල් රූපසිංහ අධ්‍යක්ෂණය කළ හතර දෙනාම සූරයෝ කළුසුදු චිත්‍රපටය එදා මෙදා මා නැරඹු හොඳම සිංහල චිත්‍රපට වලින් එකකි.

ගත වූ වසර 25 ඇතුළත ලෝක සිනමාව සහමුලින්ම උඩුයටිකුරු විය. එය මේ රටට සීමා වූවක් පමණක් නොවේ. ලෝකය පුරා කලාව, දේශපාලනය හා සාමාජීය ආකල්පවලද බරපතළ වෙනසක් ඇති කළ කාලයක් විය. මගේ කුඩා කාලයේ චිත්‍රපටයක් නැරැඹීම යනු විශාල කර්තව්‍යයක් විය. එය නැරැඹීමට නම් සිනමාහලක් සොයා ගත යුතුය. එහි තාක්ෂණ දෝෂ, රූප අඳුරු වීම, විදුලි පංකා ක්‍රියාත්මක වනවාද? ආසනවල මකුණන් සිටී ද වැනි විවිධ කොන්දේසි ගණන් ගත්තේ නැත. සිනමාහලක් තිබුණේ නගරයක පමණි. කොහොමටත් සාමාන්‍ය නිවෙසකත් විදුලි පංකාව හා ටෙලිෆෝනය පවා සුඛෝපභෝගී භාණ්ඩයක් විය. මගේ කුඩා කාලයේ අපේ ගමේ පාපැදියක් තිබෙන අයෙකු පවා තරමක ධනවතෙකු ලෙස සැලකීය. එහෙත් ගත වූ විසි පස් වසරක කාලය ඇතුළත මේ සියල්ල වෙනස් විය. මේ ළඟදී ප්‍රේම බන්ධනයකින් පසු විවාහ වූ ඉලන්දාරියෙක් 'හතර දෙනාම සූරයෝ' චිත්‍රපටය අහම්බයෙන් නැරැඹුවේය.

'ඒ කාලේ ටෙලිෆෝන් නැතුව හරිම ප්‍රශ්නයක් නේ. කොහොමද කෙනෙක්ව හම්බ වෙන්නේ. මේ ඉලන්දාරියා මගෙන් ඇසූ ප්‍රශ්නයකි. කතාව ඇත්තය. ටෙලිෆෝන් නැති ලෝකය අද සිතා ගන්නට නොහැක. මා කැමැතිම සිංහල චිත්‍රපට අතරින් එකක් වන 'හතර දෙනාම සූරයෝ' අද කාලයට වලංගු නැත. ඇත්ත නම් එය ඓතිහාසික කතාවක් වී හමාරය. හතර දෙනාම සූරයෝ චිත්‍රපටයේ මාලිනී හෙවත් නිල්මිණි සොයන්නට විජය කුමාරතුංගට එදා මෙන් අද ගස්බඩ ගාන්නට උවමනා නැත. විජයට තනි රකින්නට ඇන්තනීට මඟ සිටින්නට උවමනා නැත. විජයට මාලිනී සමඟ ටෙලිෆෝනයෙන් මල් කැඩිය හැක. එවිට ඇන්තනී උවමනා වන්නේ නැත. සේනාධීර රූපසිංහට තමා ලයනල් දැරණියගල ළඟ බොඩිගාඩ් වැඩේ කරන ගමන් රෑ බෝවන වග සිය මිතුරන්ට කිව හැක. නැත්නම් SMS එකක් යැවිය හැක.

එවිට සේනාධීර කා ළඟ රැකියාව කරනවාදැයි ගාමිණී දැනගනියි. එවිට ලයනල් කොයි වගේ දැයි හෝ ඔහු ළඟ රස්සාව කරන්නට එපා යැයි ගාමිණීට කිව හැක. එවිට චිත්‍රපටයේ එන රසවත්ම සිදුවීම නිමා වෙයි. 'හතර දෙනාම සූරයෝ' අද හැදුවා නම් කොල්ලන් කෙල්ලන් අසන ප්‍රශ්නය එයයි. එදා විජය රඟපෑ චරිතය වර්ගයේ අද කොල්ලන් ළඟ ෆෝන් එකක් නොවුණොත් එය බොරුවකි. මේ ළඟදී අපි දන්නා කෙල්ලක් සවුන්ඩ් ඔෆ් මියුසික් චිත්‍රපටයේ පිටපතක් මගෙන් ඉල්ලුවාය. ඒ කාලයේ නම් එසේ ඉල්ලුවාම චිත්‍රපටයක් ලබා දිය නොහැක. එහෙත් අද එය එසේ නොවේ. මම චිත්‍රපටය ලබා දෙන්නට පොරොන්දු වුණෙමි. චිත්‍රපටය නරඹන්නේ කොහිදීදැයි මම විමසුවෙමි. 'මට ගමේ යනකොට ලැප්ටොප් එකෙන් චිත්‍රපටය බලන්න පුළුවන්'.

කතාව ඇත්තය. ලැප් ටොප් එකේ දමාගෙන චිත්‍රපටය බැලිය හැකිය. අය සිටියේ මාතරය. සවුන්ඩ් ඔෆ් මියුසික් විඳින්නට නම් නැරැඹිය යුත්තේ දුවන කෝච්චියක වාඩිවීගෙන නොවේ. එවිට පෙනෙන්නේ සින්දු ගොඩක් හා රූප පෙළක් පමණි. පසුගිය වසරේ හිතවත් විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් මට අපූරු කතාවක් හෙළි කළේය. සිනමාව පිළිබඳ හදාරන එක් සරසවි සිසුවකු 'මාර සොයා ගැනීමක්' සිය නිබන්ධනයේ සඳහන් කර තිබුණි. ශිෂ්‍යයාගේ සොයාගැනීම අනුව 'සෝන්ග් ඔෆ් සිලෝන්' චිත්‍රපටය දුටු මෙරට පාලකයන් එය නිර්මාණය කළ ලෙස්ටර් ජේම්ස් පීරිස් නමැති ඉංග්‍රීසි ජාතිකයා එංගලන්තයේ සිට මෙරටට ගෙන්වා හොඳ චිත්‍රපට නිර්මාණය කිරීමට එකල බාරදුන් බවය. මේ කතාව මා සඳහන් කළේ උත්ප්‍රාසයෙන් නොවේ. ප්‍රශ්නය සැහැල්ලුවට ගතයුතුද නැත. අඬන්නට හෝ සිනාසෙන්නට ද නොහැක.

සිදුවූ සමාජ පරිවර්තනය වටහා ගත යුතුය. තවදුරටත් විදුලි පංකා ඇත්තේ සිනමාහලේ පමණක් නොවේ. එය ඕනෑම දිළිඳු ගෙදරක වුව සාලය සරසන ගෘහ භාණ්ඩයකි. ලංකාවේ ජංගම දුරකථන සංඛ්‍යාව ගණන් කළහොත් එය මෙරට ජනගහනයට වඩා වැඩිය. ඒ පරම්පරාවට දුවන කෝච්චියක වාඩි වී කන් දෙක අඟුළු ලන ඉයර් ෆෝන් එකකින් සවුන්ඩ් ඔෆ් මියුසික් නරඹන්නට ඔවුන්ට හැකිය. එහෙත් එය විඳින්නට ඔවුන්ට කාලයක් නැත. පෙම්වතිය එනතුරු හන්දියක වරු ගණන් ළැඟ සිටින්නට පෙම්වතෙකුට උවමනා නැත. වෙන කොහේ හෝ සිට ඇය එන වෙලාවටම ඇය ඉදිරියේ සිටගත හැක්කේය. දීර්ඝ පෙම් හසුන් තවදුරටත් ලියන්නට අවශ්‍ය නැත.

SMS එකක් හොඳටම සෑහේ. තාත්තලාගේ ගී පුතුන් කියද්දී එයට වඩා හොඳින් ඒ ගීතම ස්ටාර්ස්ලා විසින් ගායනා කරනු ලබති. සිනමාකරුවාගේ හෝ සිනමා තරුවල වැලගිය අලගිය තැන් සොයන්නට ඔවුනට කාලයක් නැත. කොටින්ම අද පායන තරුව හෙට නැත. මේ සමාජ පරිවර්තනය විමසා බැලිය යුත්තේ කොදෙව් මානසිකත්වයෙන් ව්‍යුක්ත කොට ගෙනය. ස්වභාවික සංගීතය රස විඳින්නේ කෙලෙසද? මහමඟදී බලහත්කාරයෙන් ශ්‍රවණයට යොද වන්නේ මුදල් දී අසනු ලබන එෆ්. එම්. නාළිකාය. එය වසා දමන්නට රියැදුරු කැමැති නැත. ඒ චැනල් සල්ලි ගෙවන බැවිනි. ඉදිරි හන්දියේදී රථයට ඔළුව දමා ඔබ අහන චැනලය කුමක්දැයි ඇසූ කළ තෑගි ලැබේ.

ඉතිහාසය පුරාම සමාජ පරිවර්තන සිදු විය. කාර්මික විප්ලවය සමඟ ලෝකයේ මහා පෙරළියක් සිදු විය. එහෙත් එය එක රැයකින් සිදු වූවක් නොවේ. එහෙත් ගත වූ දස වසර ඇතුළත සිදු වූ සමාජ පෙරළිය මිනිස් ඉතිහාසය ගණනය කරන කල්හි එක රැයක සිදු වූවක් ලෙස නිර්ණය කිරීම වරදක් නැත. එහි පෙර මෙන් ආදර්ශවත් තාරකාවන් නොමැත. මිනිස් ජීවිතවල රහස් නොමැත. හොලිවුඩ් චිත්‍රපටයක් ඒ කාලයේ අප දකින්නේ වසරකට පසුවය. එහෙත් අද අප හොලිවුඩ් චිත්‍රපටයක් දකින්නේ ඇමරිකාවට හෝ එංගලන්තයටත් කලිනි. ඒ ලෝකයම එකම දවසේ චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භ කරන හෙයිනි. ඇමෙරිකාව හෝ එංගලන්තයට කලින් අපට හිරු පායයි. චිත්‍රපටය ශාලාවට ගෙන ඒමට ලොරි භාගයක රීල් අවශ්‍ය නැත. අවශ්‍ය වනුයේ හාඩ් ඩික්ස් එකක් පමණි. ඊටත් වඩා පොඩි චිප් එකත් මැද පන්තියේ ගෙවල් බිත්ති සැරැසිල්ලක යෙදී සිටින LED ටෙලිවිෂන් තිරය වර්ණවත් කරන්නේය.

විසිපස් වසරකට පෙර දෙන්නෙක්, තුන් දෙනෙක් කර ගසාගෙන කැබිනෙට්ටුවක් මත තැබූ ටෙලිවිෂනය අද බිත්තියේ එල්ලෙන දැවැන්ත පින්තූර රාමුවක් පමණි. වර්තමානයේ සමාජය ගනුදෙනු කරන්නේ ඔවුන් සමඟය. ඒ කාලයේ විදෙස් ගතව සිටි සරසවිය පාඨකයෝ එය කියවන්නේ නිකුත් වූ දිනට සතියකට පමණ පසුවය. එහෙත් අද පුවත්පත මුද්‍රණයෙන් එන්නට පෙරාතුව අන්තර්ජාලය හරහා ලෝකය පුරා විහිද යයි. සිනමාහලේ රූප ධාරිතාව, ශබ්ද පහසුකම්, වායුසමනය මේ ආදී එකී නොකී සියලු සැප පහසුකම් නොමැති නම් එයට ගොඩවන්නට කිසි කෙනෙක් කැමැති නැත. ඕපාදුප හා කටකතා කියවමින් කල් අරින්නට උවමනා නැත.

ඉස්සර කාලේ කියා සිටියේ අසත්‍ය කටකතා පතුරන්නන්ට විරුද්ධව දැඩි නීතිමය පියවර ගන්නා බවය. දැන් කටකතා කිය කියා ඉන්නට වෙලාවක් නැත. ෆේස් බුක් වැනි සමාජ වෙබ් අඩවි කටකතාවේ තැන උදුරාගෙන සිටී. බිත්තියේ කැලෑ පත්තර අලවන පරම්පරාව අවසන්ය. ලෝකය වෙනස් වී ඇත්තේ එහෙමය. ඒ සටහන් කළේ ද කාරණා ටිකකි. මේ අතීතය හාරා අවුස්සනවා යනු අපූරු එකකි. කඳෙන් බඩෙන් පමණක් නොව ඔළුවෙන් ද වෙනස් වන්නට අපට සිදුව ඇත. අලුතින් සිතන පරම්පරාවේ සිතිවිලි අපූරුය. ඒ සිතිවිලි දොරට වඩින්නට ඇති ඉඩකඩ එයටත් වඩා වැඩිය. සිනමාහල නැතිනම් චිත්‍රපට පෙන්වන්නට අන්තර් ජාලය ඇත. රේඩියෝ චැනල ද ඒ නිසා නිදහස්ය. අපේ සිතිවිලි මුදා හළ හැක්කේය. එහෙත් මිනිස් හැඟීම් ද එහි විය යුත්තේය.