|
||||
රොක්සාමි උපන්නෙත්, විවාහ වුණෙත්, මිය ගියෙත් බදාදා
ඉන්ද්‍රාණි එලායස් රොක්සාමි
දිව්‍යමය ගාන්ධර්වයෙක් කියා කිසියම් පුද්ගලයකු හැඳින්වීම ඉතා විරල ගණයේ පූර්විකාවකි. මෙවන් වූ පූර්විකාවකට හිමිකම් ඇති වාද්‍ය ශිල්පයේ ඇසූ පිරූ තැන් සොයා ගොස් ජන මනස සංගීතයෙන් මුසපත් කළ කෙනෙකි එම්. කේ. රොක්සාමි. රොක්සාමි මාස්ටර්, රොක් අයියා නමින් කා අතරත් ජනප්‍රිය වී සිටි මේ විශිෂ්්ට වයලීන් වාදකයා චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයා සත්සර එක්කොට මැවූ සංගීත මිහිරියාව අදටත් කිසිවකුටත් අමතක කළ නොහැකිය. රොක්සාමි අයියා අද ජීවතුන් අතර නැත ද රොක්සාමි මාස්ටර් අදත් අපි අතර ජීවත් වන්නේ අපේ දෙසවන් සනසවමිනි. මේ සුන්දර කලාකරුවා අප අතරින් වෙන්ව ගොස් පුරා වසර 26 ක් ඉක්ම ගොස්ය. මේ අසහාය සංගීතවේදියාගේ පවුලේ තොරතුරු සොයා අප පිය මැන්නේ රොක් අයියා ජීවත් වූ 31/25, බලගල පාර, හැඳල, වත්තල නිවහන සොයා ගෙනය. රොක්සාමි මාස්ටර්ගේ බිරිය ඉන්ද්‍රාණි රොක්සාමි මහත්මිය සමඟ අප කතාබස් කළ මාස්ටර්ගේ යටගිය අතීතයේ ආවර්ජනයකි මේ. චිත්‍රපට පසුබිම් සංගීතයේ, ගුවන් විදුලි ගීිතයේ, ග්‍රැමෆෝන් ගීතයේ, දෙස් විදෙස් ගායන ප්‍රසංගයන්හි අති දක්ෂ වයලීන් වාදකයෙකු, සංගීත අධ්‍යක්ෂවරයෙකු වූ රොක්සාමි මාස්ටර් ජීවිතයෙන් සමුගෙන බොහෝ කලක් ගත වෙලා? මේ වෙන කොට අවුරුදු විසිහයක් ඉක්ම ගොසින්. මේ වසරේ නොවැම්බර් 30 වැනිදාට අවුරුදු 27 ක් සපිරෙනවා. අවුරුදු විසි හතක අතීතයක් ගෙවී ගියත් රොක් අයියා අදත් ජීවමානයි? මේ විශ්වයේ සංගීතය රැඳිල තිියෙන තාක් මගේ රොක් ජීවමානයි. රොක් ක්‍රිස්ටි සාමි එම්. කේ. රොක්සාමි වුණේ කොහොමද? එයාගේ උප්පැන්න සහතිකයේ නම තියෙන්නේ රොක් ක්‍රිස්ටි සාමි ලෙසින්. එම්. කේ. රොක්සාමි කියලා නම එයා හදාගත්තේ පස්සේ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු සඳහා. එයා මේ නම හදා ගත්තේ එයාගේ අම්මාගේ තාත්තාගේ නම් එකතු කරලා. අම්මා මරියා. තාත්තා කොලන්දේ සාමි. මරියා (දේව මාතාව), කොලන්දේ සාමි (ජේසු බබා). මරිය නමෙන් එම් අකුරත් කොලන්දේ නමින් කේ අකුරත් අරන් එයා නම හැදුවා එම්. කේ. රොක්සාමි කියලා. මෙරට බිහි වූ ප්‍රථම ස්වතන්ත්‍ර හින්දි ගීතයේ තනුව හා සංගීතය නිර්මාණය කළ සංගීතවේදියාත් රොක් මාස්ටර් නේද? සිරිල් මල්ලි චිත්‍රපටයට රවිලාල් විමලධර්ම රචනා කළ ඒක කලී කී... හින්දි ගීතය හින්දි භාෂාවෙන් ගායනා කළේ මිල්ටන් මල්ලවාරච්චි. ඒ චිත්‍රපටයේ ඒ ගීතයේ සිංහල පරිවර්තනය මල් කැකුලී ගෝමලී මනාලී... ගීතය ගායනා කළේ එච්. ආර්. ජෝතිපාල මහත්මා. මේ ගීත දෙකේම තනුව හා සංගීතය රොක්ගේ. වත්මන් සමාජයේත් එදා මෙන් අදත් රොක් මාස්ටර් ජීවමානයි කියලා ඔබ හිතනවාද? මොකද නැත්තේ,මම කොහේ හරි ගියත්, මොන ආයතනයකට ගියත්, රජයේ ආයතනයකට ගියත්, විදේශ ගත වෙන්න එයාපෝට් එකට ගියත්, වීසා ගන්න තානාපති කාර්යාලයකට ගියත් මගේ නම දැකලා කවුරුත් අහන්නේ රොක්සාමි මාස්ටර්ගේ කවුරුවත් ද කියලා. ඒ ප්‍රශ්නයට මම ඒ මගේ මහත්තයා කිව්ව ගමන් ආයේ කතා දෙකක් නෑ කවුරුත් පුදුම ආදරයකින් මට උදවු කරන්නේ. ඉතිං බලන්නකෝ මාස්ටර් අදත් මේ මිනිස්සු අතර ඉන්නවනේ. මොන තරම් සිංදු සංඛ්‍යාවක් දවසකට මහත්තයාගේ සංගීතයෙන් රසවත් වූ ගීත අපේ මාධ්‍යවල විකාශය වෙනවද? ඉතිං කොහොමද අපේ මිනිස්සුන්ට මගේ මහත්තයා අමක වෙන්නේ. ඒ තරමට රොක් අයියා අපේ මනසට කා වැදිලා? අවුරුද්ද පුරාවට අපේ මිනිස්සුන්ට රොක් අමතක නොවන දවසක් නෑ. සිංහල අවුරුද්ද ආවත්, ප්‍රේමය දැනෙන විටත්, විරහව දැනෙන විටත්, ජීවිතයේ අරුත් කියා දෙන විටත්, වෙසක් පෝය එළඹෙන විටත්, නිදහස් දිනය පැමිණෙන විටත් ආයේ දෙකක් නෑ රොක්සාමි රසික හදවත් තුළ ලැගුම් ගන්නවා. අදහසක් නැද්ද මෙතුමාගේ නිර්මාණ එකතුවක් එක්ක ගුණානුස්මරණයක් පවත්වන්න? මුලින්ම අපි එතුමා මිය ගොස් පස් වසරක් පිරීම නිමිති කොට 1993 දී එල්ෆින්ස්ටන් රඟහලේදී 'වැයූ ගී රාව' නමින් ප්‍රසංගයක් පැවැත්වූවා. ඊට පස්සේ නම් එවැන්නක් කළේ නැහැ. ඒත් කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් අපෙන් ඉල්ලීමක් කරනවා මාස්ටර් වෙනුවෙන් ආයෙත් අනුස්මරණ සංගීතාවලියක් කරමු කියලා. මමත් පුතත් මෙවර බලාපොරොත්තු වෙනවා එවැනි ප්‍රසංගයක් කරන්න. ගුණානුස්මරණයට සමගාමීව එතුමන්ගේ ගී තනු නිර්මාණ එකතුවක් එළිදක්වන්න අදහසක් නැද්ද? තියෙනවා. ඒ වකවානුවේ සංගීතවත් කළ ගීත ගායනා කළ අද ජීවතුන් අතර ඉන්න ගායක ගායිකාවන් යොදාගෙන ගීත එකතුවක් කරන්න දැනටමත් පුතා අවශ්‍ය කටයුතු කරමින් ඉන්නේ. රොක් අයියා ඔබට මුණ ගැහෙන්නේ කෙහොමද? අපි දෙන්නා දුරින් නෑදෑයොත් වෙනවා. සැකය චිත්‍රපටයේ මම කෝරස් කියන්න ආවා මට මතකයි. රංජනී පෙරේරාත් එදා මාත් එක්ක කෝරස් කිව්වා මේ චිත්‍රපටයේ. සුජාතා අත්තනායක, මිල්ටන් පෙරේරා තමයි සිංදු කිව්වේ. කෝරස් කිව්ව අපි හෝයි වැලි දෝතයි, හෝයි සිමෙන්තියයි කිව්වා. කොහොම හරි මෙතනදී ඇති වෙච්ච හාදකම විවාහය දක්වා දුරදිග ගියා. රොක් අයියා මොන වගේ කෙනෙක් විදියටද ඔබ හඳුනාගෙන තිබුණේ? පුදුම නිහතමානි පුද්ගලයෙක්. කිසිම දවසක වෙන කෙනෙක්ගේ හිතක් රිදවන්න කැමැති නැති කෙනෙක්. පවුලේ අයට වගේම එයාගෙන් උදවු ගන්න ආපු කිසිම කෙනෙක්ගේ හිතක් රිදවන්න එයා කවදාවත් පෙළඹුණේ නැහැ. ගෙදරට ආපු කාට වුණත් කෑම වේලක්, තේ එකක් දෙන්න එයා මැලි වුණේ නැහැ. පුදුම දානමය පුණ්‍ය කටයුතු එයාගේ ජීවිතය පුරාවට තිබුණා. අදටත් මම එයාගේ ඒ චර්යාවන් ඉදිරියට කරගෙන එනවා. එතුමන් එදා නිර්මාණ කටයුතුවල නියැලියේ මොන වගේ පරිසරයකද? බොහෝ විට එයාගේ කාමරයේ නිස්කලංක පරිසරයේ තමයි ගෙදරදි තනු නිර්මාණය වුණේ. මම එක උණුසුම් බෝතලයක කෝපි, අනිත් උණුසුම් බෝතලයට තේ දාල ගිහින් තියනවා. සමහර ගීතවලට තනු දැම්මේ කටින් විසිල් කරමින්. සමහරදාට එකපාරට පාන්දර දෙකට තුනට ඇහැරෙනවා. ඒ සැනින් කොලයක් අරගෙන තනුව දානවා. විසිල් කරමින් නෝට් ලියනවා. මට මතකයි ධීවරයෝ චිත්‍රපටයේ සතුට ශෝකේ ජය පරාදේ ගීතයට නෝට් එක ලිව්වේ නිදාගෙන ඉඳල එකපාරට නැගිටලා. ඔබේ ජිවිතයට වගේම රොක් අයියාගේ ජීවිතයටත් බදාදා දවස සුවිශේෂයි නේද? රොක් මාස්ටර් ඉපදුණේ 1932 සැප්තැම්බර් 13 වැනි බදාදා දිනක. එයා මාත් එක්ක විවාහ වුණේ 1974 නොවැම්බර් 24 වැනි බදාදා දිනක. රොක් මේ ලෝකෙන් සමුගෙන ගියේ 1988 නොවැම්බර් 30 වැනි බදාදා දිනක. එයාගේ ජීවිතයේ වැදගත් සිදුවීම් තුනම සිද්ධ වුණේ බදාදා දිනක. රොක්සාමි මාස්ටර්ගේ අභාවයත් සමඟ එයත් එක්ක හිටිය බොහෝ දෙනා ඈත් වෙලා ඔබලා හුදකලා වුණාද? හුදකලා වීම අපේ පවුලට පමණක් සීමා වුණත් එයා සමඟ සිටි කවුරුත් අපි උදව්වක් ඉල්ලුවොත් ඒක කරලා දුන්නා. අදටත් සමහර ගායක ගායිකාවන්, සංගීත ශිල්පීන් අහනවා කිසිදු මුදලක් අය නොකර මාස්ටර් වෙනුවෙන් ප්‍රසංගයකට වුණත් දායක වෙන්නම් කියලා. රසිකයෝ වුණත් එයාගේ නිර්මාණ අදටත් රස විඳිනවා අපි ගැන නොදැන සිටියත්. දැන් ඔබේ පවුලේ තොරතුරු කොහොද? පුතා ජීවන් ඔගස්ටින්, ලොකු දුව ඇනා රාධිකා, පොඩි දුව ඇන්ජලා දේවිකා. සියලු දරුවන් දැන් විවාහකයි. මමත් ඒ අයගේ දරු පැටවු එක්ක දරුවන් තිදෙනාගේ රැකවරණය ලබමින් ජීවත් වෙනවා. ඔබත් ගායිකාවක් නේද? මම ගුවන් විදුලියේ බී ශ්‍රේණීයේ ගායිකාවක්. මහත්තයා ජීවත් වෙලා ඉන්න කාලෙමයි පරීක්ෂණවලින් සමත් වෙලා මට බී ශ්‍රේණියේ ගායිකාවක් වෙන්න ලැබුණේ. රොක් ළඟ නෑ,බෑ කියන වචනය තිබුණේ නැහැ කියලා ක්ෂේත්‍රයේ කවුරුත් කියනවා? ඒක ඇත්තක්. ඔන්න රොක්ගේ පනස් වෙනි උපන් දියට මම කිරිබත් ඉව්වා. ඊට පස්සේ මම අලුත්ම සරමක් එදා එයාට තෑගි කළා. සාමාන්‍යයෙන් එයා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුගේ පල්ලියට යන සිරිතක් තිබුණා. මම එදා එයාට යෝජනා කළා පල්ලි ගිහින් ඉටිපන්දම් පත්තු කරලා දෙවියන්ට යාතිකා කරලා ආශිර්වාද අරන් එමු කියලා. එදා එයා කිව්වා ඉන්ද්‍රා ඔයා පල්ලියට යන්න. මටත් ආශිර්වාද කරන්න. මට අද ලොකු වැඩ වගයක් ගෙදර තියෙනවා සිංදු වගයකට තනු දාන්න කියලා. මම ඉතිං පල්ලියට ගියා. කොහොම හරි ආපහු ගෙදර එනකොට එයා මම දීපු සරම නැතුව පරණ සරමක් ඇඳන් ඉන්නවා. ඒ පාර මම ඇහුවා මම දුන්න සරම කෝ, මම යන කොටත් ඇඳගෙන හිටිය නේද කියලා. ඒ පාර රොක් කිව්වා හිඟන්නෙක් ගෙදරට ආවා. මම ඇඳන් ඉන්න සරම දිහා බලා ඉඳලා හිඟන්නා කිව්වා අඳින්න ඇඳුමක් දෙන්න කියලා. මම ඉතිං අලුත් සරම හිඟන්නට දුන්නා කියලා. ඒ පාර එයා මට කියනවා අනේ ඉන්ද්‍රාණි සරම නෑ කියලා මට කෑ ගහන්න එපා. හෙටම මම අලුත් සරමක් අරන් ඇවිත් ඇඳ ගන්නම් කියලා. මාස්ටර් අවසන් ගමන් යන දින අපූරු සිද්ධියක් වුණා නේද? එදා රොක්ගේ අවසන් කටයුතු සිදු කරන දවස. ගෙයි මැද සාලේ මිනිය තැන්පත් කරලා තිබුණා. මමත් ඒ අසල පුටුවක වාඩි වෙලා හිටියා. දේහයට ගෞරව දක්වලා යන එන අයත් හිටියා. ඔය අතරේ ගෙයි දොර ළඟට සිඟමන් යදින කෙනෙක් ආවා. ඒ ඇවිත් දොරට අත කියලා කිව්වා මට සමා වෙලා මහත්තයාගේ කකුල් දෙක අල්ලලා වඳින්න දෙන්න කියලා. මේ යාචකයා මහත්තයාගේ කකුල් දෙක අල්ලලා ඉඹලා මහ හයියෙන් අඬන්න වුණා අනේ මහත්තයෝ දැන් ඉතිං මට කවුද බත් පාර්සලයක් අරන් දෙන්න ඉන්නේ කියලා. ඔය විදියට අඬපු මේ යාචකයා යන්න යන කොට මම විස්තර ඇහුවා. එයා මට කිව්වා මහත්තයා ගුවන් විදුලියට යන කොට මේ යාචකයාට බොහෝ දවස්වලට බත් පාර්සලයක් අරන් දෙනවා කියලා.
කොහොම හරි මහත්තයාගේ මරණෙන් පස්සේ මගේ කීමට කීප අවස්ථාවක මේ යාචකයා ගෙදරට ආවා කෑම ටිකක් කාලා යන්න. ඒත් කාලෙක ඉඳලා මේ පුද්ගලයා යළිත් ආපු දිනයක් නම් නැහැ. රොක්සාමි මාස්ටර්ගේ ජීවිතයේ සොඳුරු සිද්ධි ගොඩක් තියෙනවා නේද? කවදාවත් ක්ෂේත්‍රයේ අයගේ ඕපදූප ගෙදර ඇවිත් කියලා නැහැ. එයා නැති වුණාට පස්සේ යාළුවන්ගෙන් තමයි අපි වුණත් ඒ දේවල් දැනගත්තේ. අදටත් අපි දන්නේ නැහැ එයාගේ නිර්මාණ කොච්චර ද කියලා. දවසක් දෙවියනි ඔබ කොහිද චිත්‍රපටයේ ආදර පූජාසනේ ගීතයට තනුව දාන්න මාස්ටර් එක්ක යන්න ධර්මසිරි ගමගේ, අරුණ ශාන්ති එහෙම අපේ ගෙදර ආවා. මාස්ටර් එයාලගේ ඉල්ලීමට හැඳල විජය ස්ටුඩියෝ එකට ගියා රෙකෝඩින් එකට. වික්ටර් රත්නායක, සුජාතා අත්තනායක තමයි ගීතය කියන්නේ. කොහොම හරි මේ චිත්‍රපටයේ සීන් එක මාස්ටර්ට වට කරගෙන එක එක අය එක එක අදහස් කියනවාලු මෙතනදි මියුසික් එක මෙහෙම වෙන්න ඕනෑ කියලා. බැරිම තැන මාස්ටර් චිත්‍රාගාරයේ බාත්රූම් එකට ගිහින් ෂවර් එක අල්ලලා ඔලුවට වතුර වත්කර ගත්තලු. එතකොට මාස්ටර්ට අදහස ඔලුවට ආවලු. කර ගන්න දෙයක් නැති තැන සබන් පෙනවලින් බිත්තියේ නෝට් එක ලිව්වලු. ඔන්න ඔහොමලු ආදර පූජාසනේ ගීතය හැදුණේ. කළු ජූලියේ අමිහිරි මතකයන් මාස්ටර්ගේ අවසන් කාලය දක්වාම හිතේ තිබුණාද? එයා දුක් වුණේ ඇයි සිංහල මිනිස්සු මේ වගේ දෙයක් අපිට කළේ කියලා. එයා ජීවත් වුණේම සිංහල මිනිස්සු එක්ක. සිංහල ගීතවලට තමයි තනු නිර්මාණය කළේ. ප්‍රේමසිරි කේමදාස, මාලිනී ෆොන්සේකා, සනත් ගුණතිලක, සරත් දසනායක, ටී. අර්ජුන එදා අපේ ජීවිත බේර ගන්න උදවු කරපු එක ගැන එයා තුළ තිබුණේ පුදුම භක්තියක්. මේ රටේ ජනී ජනයාගේ සවන්පත් වයලීන් වාදනයෙන් සනහාලූ එයාගේ වයලීනය කෑලිවලට සුනු විසුනු වෙලා යන කොට, අපි දෙන්නා එක් වූ දිනයේ මතක සැමරුම වූ මඟුල් පින්තූරය සීසිකඩ කෑලිවලට විසිරිලා, අපේ ගේ දොර සුනු විසිනු වෙලා යන කොට දරු මල්ලන් සමඟ මර බියෙන් අපි ගෙවා දමපු ඒ කාලය කාට නම් අමතක වෙයිද?
|
||||