වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 30 වැනිදා බ්‍රහස්පතින්දා




NEWS

සංගීතවේදීන් පස් දෙනෙකු පිළිබඳ අපූර්ව විමර්ශනයක් ලබන පස් වැනිදා

සිසිර සේනාරත්න, වික්ටර් දළුගම, සරත් බාලසූරිය, ජයතිස්ස අලහකෝන් සහ චන්ද්‍රදාස බෝගොඩ යන විශිෂ්ට සංගීතවේදීන් පිළිබඳ අපූරු තොරතුරු සනිටුහන්ව ලාල් ආනන්ද අබේධීර විසින් රචිත මියැසි හරසර කෘතිය ලබන 05 වැනිදා එනම් එන බදාදා සවස පොල්හේන්ගොඩ ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය සංවර්ධන ආයතනීය ශ්‍රවණාගාරයේදී එළිදැක්වේ.

මෙදින ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහභාගීවීමට නියමිතය. එමෙන්ම එම සංගීතවේදීන් පස් දෙනා තැනූ මධුර ගීත රැසක් මේ මොහොතේදී රස විඳීමට ද අවස්ථාවක් ලැබෙනු ඇත.


නිකලස් වෙන්ව යයි

සම්මානනීය චිත්‍රපට තිරකතා රචකයකු මෙන්ම ගීත රචකයකු ද වූ කේ. ඩී. නිකලස් අභාවප්‍රාප්ත විය. මිය යන විට වයස අවුරුදු හැත්තෑවක් වූ ඔහු එක් දරු පියෙකි. නුවන් රේණු, මධුවන්ති, සඳකඩ පහන, අරලිය මල්, චන්නයි කෙල්ලො දෙන්නයි ඔහු විසින් රචනා කරන ලද චිත්‍රපට කිහිපයකි. බිතු සිතුවම් සිනමාපටයේ තිර රචනය වෙනුවෙන් නිකලස් එම වසරේදී හොඳම තිර රචනයට හිමි සරසවිය සම්මානය දිනා ගන්නා ලදී. එමෙන්ම සුරඟන යහන චිත්‍රපටයේ බඳවා උඩුවියන් ගීත රචනයට ජනාධිපති සම්මානය ද නිකලස් හිමි කර ගත්තේය.

ඔහුගේ පුතු විදර්ශන කන්නංගර ගීත රචකයකු ලෙස කලාවට සම්බන්ධ වී සිටියි. නිකලස්ගේ අවසන් කටයුතු පසුගියදා බොරැල්ලේදී සිදු විය.


සුදු සමනලී කැපේ

කීර්ති බණ්ඩාර අධ්‍යක්ෂණය කරනු ලබන ඔහුගේ තෙවැනි සිනමාපටය වූ සුදු සමනලී මේ දිනවල සංස්කරණය වෙයි. අර්ජුන් කමලනාත්, ක්ලීටස් මෙන්ඩිස්, ඕෂධී හේවාමද්දුම, විල්සන් ගුණරත්න, හයිසින්ත් විජේරත්න, සඳුන් විජේසිරි, සැනෙට් දික්කුඹුර, නිහාල් ගමගේ ඇතුළු රැසක් සුදු සමනලී රංගනයෙන් හැඩගන්වා තිබේ.

ශෂී වෙල්ගමගේ විධායක නිෂ්පාදනයෙන් ද, සමීර සුබසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් ද, කේ. ඩී. දයානන්ද කැමරා අධ්‍යක්ෂණයෙන් ද, ගාමිණී කොස්තා අංග රචනයෙන් ද මේ සඳහා එක් වී සිටියි. ඩොනල්ඩ් මාපලගම, කමල් තිලකරත්න සහ චන්ද්‍රසිරි ප්‍රනාන්දු කලා අධ්‍යක්ෂවරුන්ය. තිලකරත්න ලියනගේ ගේ සහාය අධ්‍යක්ෂණයකි. ගාමිණී කුලසේකර නිශ්චල ඡායාරූප ශිල්පියාය. ශ්‍යාමි නවාස්ගේ නැටුම් අධ්‍යක්ෂණයකි. සුමිත් මුදන්නායක සටන් අධ්‍යක්ෂණයෙන් ද, නිරෝෂා විරාජිනි, නුවන් ගුණවර්ධන ගීත ගායනයෙන් ද, අනුර බණ්ඩාර සංස්කරණයෙන් ද, ආනන්ද බණ්ඩාර වර්ණ සංකලනයෙන් ද මෙයට එක් වී තිබේ. හේමක බණ්ඩාරගේ නිෂ්පාදන කළමනාකරණයකි. සුසන්ත බණ්ඩාර ශබ්ද පරිපාලන ශිල්පියාය.

සුදු සමනලී අනුපමා ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකි.


සිටි එෆ්. එම්. විසි පස් වසරයි

මෙරට ප්‍රථම එෆ්. එම්. ගුවන් විදුලි නාලිකාව වන සිටි එෆ්. එම්. නාලිකාවට ලබන මස 03 වැනිදාට වසර විසිපහක් සපිරෙයි. සරසවිය අපේ සුබපැතුම් එක් කරමු. සිටි ගුවන් විදුලි නාලිකාව සමඟ ලේක්හවුස් ආයතනය එකමුතුව ඇරැඹි සරසවිය තරු තොරතුරු වැඩ සටහන සෑම සෙනසුරාදාවකම රාත්‍රී 9.15 ට ප්‍රචාරය වේ. 89.6/89.8 යන සංඛ්‍යානවලින් එය ශ්‍රවණය කළ හැකිය.


අංග රචනා ශිල්පීන්ගේ මහා සභා රැස්වීම

ශ්‍රී ලංකා වෘත්තීමය අංග රචනා ශිල්පීන්ගේ සංගමයේ මහ සභා රැස්වීම ලබන මස 02 වැනිදා සවස 3 ට කොළඹ 07 සුදර්ශි ශාලවේදී පැවැත් වේ. ඒ සඳහා ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණ, ආධුනික සහ සහාය අංග රචනා ශිල්පීන්ට පැමිණෙන ලෙස සංවිධායක කමිටුව වෙනුවෙන් පි‍්‍රයන්ත දිසානායක සහ නයන උජිත් ප්‍රනාන්දු ආරාධනා කර සිටියි.


ඩග්ලස් එක්ක සුබ සැන්දෑවක් හෙට

නීතිඥ ඩග්ලස් සිරිවර්ධනගේ සුබ සැන්දෑවක් නාට්‍යයේ විශේෂිත දර්ශනයක් මෙම මස 31 වැනිදා එනම් හෙට සවස මරදාන ටවර් රඟහලේදී වේදිකා ගත කෙරේ.

රත්නා ලාලනී ජයකොඩි, සම්පත් තෙන්නකෝන්, වසන්ත විට්ටච්චි, ගාමිණී හෙට්ටිආරච්චි, අජිත් ලොකුගේ, ලලිත් රාජපක්ෂ, පින්සිරි සමරසේකර, චමින්ද මැදගෙදර මෙහි චරිත රංගනයේ යෙදෙති.


ජීවිතයට සිනමාව අද

ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් සංවිධානය කරන ‘ජීවිතයට සිනමාව’ සිනමා රස වින්දන වැඩසටහන් මාලවේ තෙවැනි අදියර අද සවස 1.30 ට රත්මලාන වෘත්තීය පුහුණු තාක්ෂණික විශ්ව විද්‍යාලයීය ශ්‍රවණගාරයේදී පැවැත්වේ. මෙහි ප්‍රධාන දේශනය චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සරත් ධර්මසිරි විසින් පවත්වනු ලබයි.

එය අවසානයේදී සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ විශිෂ්ට සිනමා කෘතියක් වන පරසතු මල් තිරගත වනු ඇත.