වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




රන් කෙවිට 2 සාර්ථකව තිරගත වේ

රන් කෙවිට 2 සාර්ථකව තිරගත වේ

- උදයකාන්ත කියයි

උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමාපටය රන්කෙවිට 2 ගොපලුගේ වික්‍රම මේ දිනවල අති සාර්ථක අන්දමින් සිනමා එන්ටර්ටේන්මන්ට් සහ රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගතවේ.

චිත්‍රපටය සඳහා වැඩිපුරම ප්‍රතිචාර ලැබෙනුයේ ළමයින්ගෙන් වීම විශේෂත්වයකි. එමෙන්ම එය පවුල් පිටින් නැරැඹීමේ ප්‍රවණතාවක් ද ඇති බව උදයකාන්ත සරසවියට දන්වා සිටින්නේ ඉමහත් සතුටිනි.

රන්කෙවිට 2 ගොපළුගේ වික්‍රම මිලේනියම් එන්ටර්ටේන්මන්ට් වෙනුවෙන් රංජිත් ජයසූරිය, ප්‍රවීන් ජයරත්න, ජනිත මාරසිංහ සහ උදයකාන්ත වර්ණසූරිය නිෂ්පාදනය කොට ඇත.

ප්‍යාරේලාල් උපන් දිනයට ප්‍රසංගයක් හෙට

භාරතයේ මහා සංගීතවේදීන් වන ලක්ෂ්මීකාන්ත් ප්‍යාරේලාල් යුගලයෙන් දැනට ජීවත්ව සිටින ප්‍යාරේලාල් සූරින්ගේ හැත්තෑ තුන්වන උපන්දින සැමරුමට සමගාමීව එතුමන් නිර්මාණය කළ ගීී ඇතුළත් විචිත්‍රවත් ප්‍රසංගයක් මෙම මස 06 වැනිදා එනම් හෙට සවස 5.30 ට කොළඹ 07 ග්‍රෙගරිස් පාර අංක 16/2 ලිපිනයෙහි පිහිටි ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වෙයි.

ප්‍යාරේලාල් සංගීතවේදියාණන් සංගීතය සපයන ලද ගීත අතරින් ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන් පිදුම් ලැබූ ගීත විස්සක් මෙම ප්‍රසංගය සඳහා ඇතුළත්වේ.

පාරස්මනී චිත්‍රපටය මගින් සංගීත ලොවට හඳුන්වා දුන් නිර්මාණකරුවකු වූ ප්‍යාරේලාල් ඉන් පසුව දෝස්ති, මිලන්, ජිති කී රහා, අමර් අක්බාර් ඇන්තනි යන නිර්මාණ තුළින් විශිෂ්ට සංගීත නිර්මාණයන් ඉදිරිපත් කිරීමට සමත් වූහ. මේවා අතරින් දෝස්ති චිත්‍රපටය ෆිල්ම් ෆෙයාර් සම්මානය ලබමින් සිනමා ලොවේ විශිෂ්ටතම කිරුළ මෙම සංගීතවේදියාගේ හිස මත තැබීය.

මේ විශිෂ්ට සංගීතවේදියාගේ ප්‍රසංගය භාරත කලා පදනම මගින් සංවිධානය කර ඇති අතර මින් අනතුරුව ද තවත් ප්‍යාරේලාල් සංගීතවේදියාණන්ගේ ගීත අඩංගු ප්‍රසංගයක් පැවැත්වෙනු ඇත.

අමරනාත් ජයතිලක රෝහලේ

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අමරනාත් ජයතිලක මහතා රෝගාතුරව මේ වන විට කොළඹ ජාතික රෝහලේ 74 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. ඔහුට ඉක්මන් සුව සරසවිය අප ප්‍රාර්ථනා කරමු.

‘සීතා මං ආවා’ 13 දා සිට එම්. පී. අයි.

ජයසේකර අපොන්සු සමඟ බන්දු සමරසිංහ වසර හතළිහකට පසු එකට රඟන සීතා මං ආවා හාස්‍යෝත්පාදක සිනමා සිත්තම මෙම මස දහතුන් වැනිදා සිට රිට්ස් බොරැල්ල ඇතුළු එම්. පී. අයි. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගත වේ.

දිනිත් එන්ටර්ටේන්මන්ට් වෙනුවෙන් චමින්ද රණසිංහ නිෂ්පාදනය කරන මෙය ජයසේකර අපොන්සුගේ දෙවන චිත්‍රපට අධ්‍යක්ෂණයයි. ඔහු මීට ප්‍රථම නිර්මාණය කළ චිත්‍රපටය රෑ රූ වේ.

කතාව දෙබස් තිර රචනය අපොන්සු විසින්ම නිම කොට ඇති ‘සීතා මං ආවා’ හි බන්දුල විජේවීර, රොඩ්නි වර්ණකුල, කුමාර තිරිමාදුර, සනෝජා බිබිලේ, චංචලා වර්ණසූරිය, රංජිත් ද සිල්වා, සරත් කුලාංග, ජීවන් හඳුන්නෙත්ති, දොන් ගයි, අනුරාධා කුරුකුලසූරිය, ගාමිණී කොස්තා, තුසිත වීරසිංහ, සරත් දඹවින්න චරිත නිරූපණය කරනු ලබති.

කැමරාව මෙහෙයවීම සහ සංස්කරණය ඩිලාන් ගුණවර්ධනගෙනි. දීප්ති වගීෂා සහාය අධ්‍යක්ෂවරියයි. කලා අධ්‍යක්ෂණයෙන් රන්ජිත් ද සිල්වා එක් වී ඇති අතර නිෂ්පාදන කළමනාකරණය වසන්ත කස්තුරිආරච්චිගෙනි. ගාමිණි කොස්තාගේ අංග රචනයකි. සමන්ත මායාදුන්න සටන් අධ්‍යක්ෂවරයාය.

සමන් චන්ද්‍රනාත් වීරසිංහ ගේය පද රචනා කොට ඇති මෙහි පසුබිම් සංගීතය විශාරද ජගත් වික්‍රමසිංහ නිමවා ඇත. රොඩ්නි වර්ණකුල, උරේෂා රවිහාරි සමඟ මාරියෝ ආනන්ද සීතා මං ආවා ගායනයෙන් හැඩ ගන්වති.

සිරි පැරකුම් දින 100 යි

ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ, නිෂ්පාදනයෙන් රේණුකා බාලසූරිය දායකත්වය සැපයූ සිරි පැරකුම් සිනමාපටය තිරගතවීමට පටන් ගෙන දින අනූ එකක් තුළදී සියලුම ආදායම් වාර්තා බිඳ හෙළීමට සමත්ව ඇත. එය එම කාලය තුළදී නැරැඹූ ප්‍රේක්ෂක සංඛ්‍යාව විසි ලක්ෂ හත්දහස් නවසිය දොළහකි.

සිරි පැරකුම් හෙටට දින සියය සපුරනු ඇත.