වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




මං ළහිරු පෙරේරා එක්ක වැඩ කරලා ඉවරයි

මං ළහිරු පෙරේරා එක්ක වැඩ කරලා ඉවරයි

ල සිංඤෝගේ අලුත්ම හෙළි කිරීම

රම්බරී සින්දුව ගායනා කරන්නේ කවුද කියලා ඇහුවොත් ඕන කෙනෙක් උත්තර දෙන්නේ ළහිරු පෙරේරා කියලා. ඒක තමයි නිවැරැදි පිළිතුර. ළහිරු කියන්නේ කාලෙත් එක්ක නියම විදියට වෙනස් වන නිර්මාණශීලී තරුණයෙක්. එයා රම්බරී වගේම ළබැඳියේ වගේ ගීතත් රතු රට කජු වගේ ගීතත් කාලයත් එක්ක රසිකයන්ට තිළිණ කළේ හරිම අපූරුවට.

මෙහෙම වෙනස් වෙච්ච ළහිරු පසුගිය දවසක තමන්ගේ නම වෙනස් කළා.

* සිඤ්ඤෝ කියලා. පොඩි සිංඤ්ඤෝලා, ලොකු සිංඤ්ඤෝලා, අප්පු සිංඤ්ඤෝලා අපට හොඳට හුරුයි. පුරුදුයි. ඒත් මේ ල සිංඤෝ කියන නම ළහිරු පට බැඳ ගත්තේ මොකටද?

ඒ කතාව අපි ඇහුවේ ළහිරුගෙන්.

ළහිරු පෙරේරා වැඩ කරන්න පටන් අරන් දැන් ටික කාලයක් ගත වෙනවා. ළහිරු ගොඩක් වැඩ කළා. ඉතිං දැන් ළහිරුගෙ වැඩ ඉවරයි. ළහිරු පෙරේරා කරපු වැඩ ටික ඉවරවුණාම ඉස්සරහට යන්න බෑ. ඒ නිසා වෙන විදිහේ චරිතයක් හදන්න අපි තීරණය කළා.

මේ ඉන්නේ ළහිරු පෙරේරාම තමයි. ඒත් ඉන්නේ වෙන නමකින්. ල සිංඤෝ කියන නමින්. මේක හැමදාම වෙනස් වෙන්න කැමති මං කරපු වෙනස් වැඩක්.

* ල සිංඤෝ කියල දැම්මේ ඇයි?

ල කියන්නේ ළහිරු එහෙමත් නැතිනං ලංකන්. මේක ළහිරු සිංඤෝ වගේම ලංකන් සිංඤෝ කියලා අර්ථකථනය කරන්න පුළුවන්.

මේක අමුතු ඇඳුමක්?

ඔව්. මොඩර්න් ආරච්චි කියන කන්සෙප්ට් එක තමයි අපි පාවිච්චි කළේ. මේ ඇඳුමෙ සංස්කෘතික කිහිපයක අංග එකතු වෙලා තියෙනවා. ඒ නිසා මේ ඇඳුම ඇඳගෙන ජාත්‍යන්තර තලයට යන්න තමයි හිතන් ඉන්නේ.

* මේක ඇත්තටම නම වෙනස් කිරීමක්ද?

නෑ. ල සිංඤෝ කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක්. ල සිංඤෝ ඉන්නේ වේදිකාවේ ප්‍රසංගවල. මේ ඉන්නේ අතිශය සරල නිහතමානී ළහිරු පෙරේරා.

* මේ ඇඳුම නිර්මාණය කළේ කවුද?

මම තමයි. ඒ වගේම මගේ කල්‍යාණ මිත්‍ර මනුරංග විජේසේකර ගේ අදහසුත් මේ කන්සෙප්ට් එකේ තියනවා.

* කොහොමද මුලින්ම මේ කන්සෙප්ට් එක ආවේ?

අපි සින්දුවක් කළා පොඩි සිංඤො මරං කියලා. ඒකට විෂුවල් එකක් ගැන හිතන කොට තමයි මේ මොඩර්න් ආරච්චි ඔළුවට ආවේ. අපි ඒ ආරච්චිව නැවත පණගහලා ගත්තා.

* දැන් අපි කතා කරන්න ඕනේ කවුරු කියලද?

ල සිංඤෝ කියනවට මං කැමැතියි.

* මේ ඇඳුම ඔබේ ගීතවලට ප්‍රායෝගිකද. උදාහරණයක් විදියට ළබැඳීයේ?

ඔව්. මේ වෙනස කොහොම එකක්ද කියලා ඉදිරියේදී බලාගන්නට හැකි වේවි.

* මේ ඇඳුම විතරද ඔබ භාවිත කරන්නේ?

නැහැ. මේ ඇඳුමේ විවිධ මෝස්තර ඇඳුම් තියෙනවා. තැනට ගැළපෙන විදිියට ඒ ආකෘතිය ගත්තු විවිධ වර්ණයේ ඇඳුම් අඳිනවා.

* සාමාන්‍ය ගමනට බිමනටත් මේ ඇඳුම අඳීන්න බලාපොරොත්තු වෙනවා කියලා ආරංචියි?

හප්පේ කවුද කිව්වෙ. එහෙම කිසිම බලාපොරොත්තුවක් නැහැ. සාමාන්‍ය ජීවිතේ මං ළහිරු පෙෙරේරා. සංගීත ජීවිතේ ල සිංඤෝ කියල කෙනෙක්.

* මේ හැම දේම කරන්න් ජනප්‍රිය වෙන්නද?

ජනයාට ප්‍රිය උපදවන දේ කිරීම තමයි නිිර්මාණකරුවකුගේ යුතුකම. නිර්මාණකරුවන් එය තේරුම් ගත යුතුයි. එක තැන පල්වේවී ඉන්නවට වඩා යමක් කිරීමට උත්සාහ කිරිම තමයි වැදගත්.