වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




ආයෙත් රාජකපුරු හදනවා

ආයෙත් රාජකපුරු හදනවා

ජනක් ප්‍රේමලාල් සමඟ කලකට පසු සංවාදයක්

ඔහු මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ (2012) හොඳම නළුවා

වැව්කණ්ඩිය මත ඇවිස්සුන බොර පැහැ දූලි වලාව දැන් පහව ගොසිනි. දියවර මත තරංග ඇදි මහ සුළං කෝඩය මඳ පවනක් බවට පත්ව ගත සිත සනහාලයි. සල්මල් ලන්දේ වැව අසල නිමේෂයක් නතර වී මා බලාන උන්නේ එක්තරා තැනැත්තකු බලාපොරොත්තුවෙනි.

තව සුළු මොහොතකින් ඔහු මෙතැනින් යනු ඇත. ඒ අතරවාරයේදියි ඔහුව මඳක් නවතාගෙන ආගිය තොරතුරු කතාකිරීම මවිසින් සිදු කළ යුතුය.

මිනිත්තු කිහිපයක් ගත විණ. යා යුතුª ගමන ඉක්මන් වුවත් ඒ වගක් නොපෙන්වා හෙතෙම මා සිටි දිහාවට පියවර තබමින් සිටියි. සලමල් ලන්දේ දී ඔහුට ආමන්ත්‍රණය කරනුයේ ගුරුන්නාන්සේ යන නමිනි.

ගුරුන්නාන්සේ පොඩ්ඩක් නතර වුණා නම්. මම ඔහු ඇමතිමි.

බැහැ බැහැ. සුනංගු වෙනවා. අද වැඩ ගොඩයි.

ඔහු එලෙස කීවත් යා යුතු ගමන අඩාල කොට ආසනයක් බඳු වූ දිරා ගිය ගස් කඳක් මත ඈඳි ගත්තේය.

මෙවන් වූ වටිනා පුද්ගලයකු සමඟ වාඩි වී වරු ගණනාවක් වුවද සංවාදයක යෙදීමට එතැන කදිමය.

මේ දිනවල සල්මල් ලන්දේ ගුරුන්නාන්සේ වී කාලය ගත කළ මේ සොඳුරු පුද්ගලයා වඩාත් සමීප ජනක් ප්‍රේමලාල් ලෙසයි. නැවත වාරයක් ජනක් සම්මානනීය වූයේ පසුගිය රාජ්‍ය සම්මාන උළෙලේ ස්වයංජාත වෙනුවෙනි.

ගැමි චරිත නිරූපනයෙහිලා උපන් හපනකු වූ ඔහුගෙන් මා පළමුව විමසුවේ දැන් මා ඉදිරියේ ආරූඪ කරගෙන සිටිනා චරිතය ගැනය.

මෑතකාලීනව මට ගොඩක් ගැමි චරිතවලටයි පණ පොවන්න ලැබුණේ. මේකත් ඒ වගේම එකක්. සල්මල් ලන්දේ ගුරුන්නාන්සේ ගමේ සිටින ප්‍රබල චරිතයක්. ගැමියෝ බයයි ඔහු කෝපවනවට. නාට්‍ය විකාශය වන්නට පටන් ගත්තට පස්සේ මට පුදුම ජනප්‍රියත්වයක් හිමි වුණේ. සල්මල් ලන්ද ටෙලි නාටය්‍යයේ අධ්‍යක්ෂ විජිත් මංජුල සිංහ පෘථිවිවත් මේ වෙලාවේ මතක් කරනවා.

ජනක් ප්‍රේමලාල් ජනාධිපති ආර්යාව අතින් හොඳම නළුවා ලෙස සම්මාන දිනූ මොහොත

ළඟකදී ඉඳලා ජනක් අයියා ගැමි චරිතවලට පමණක් කොටු වෙලා? මොකක්ද ඒ ගැන ඔබ දරන අදහස?

ඕක වුණේ බෝගල සවුන්දිරිස් නාට්‍යය විකාශය වූවාට පස්සේ. එතැන් සිට කතා කරන්නෙම එවැනිම චරිතයන්ට. මං ඒකට අකැමැති නැහැ. බොහොම ප්‍රියයි ගැමි චරිත රඟන්න. මොකද ජනක් ප්‍රේමලාල් කියන්නේ අමුම අමු ගැමියෙක්.

දියෝනිස් සම්මානනීය වුණා නේද?

ඔව්. මං කළ සම්මාන ලද ගැමි චරිත ගොන්නට දියෝනිස් චරිතයත් එකතු වුණා. ඒ පසුගියදා පැවති රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේ 2012 වසරේ හොඳම නළුවා ලෙස. මේ මං රාජ්‍ය මට්ටමෙන් සම්මානයක් ලද පළමු අවස්ථාව. දියෝනිස් කියන්නේ ස්වයංජාත ටෙලි නාට්‍යයේ ආරච්චිල. ඒ ගති පැවතුම් ඇති චරිත අපේ ගමේ ඉඳලා තියනවා. ඔවුන්ගේ ගති පැවතුම් යටි සිතින් අවදි කොට දියෝනිස්ට මුසු කරලා රඟපෑවා.

ඔබ හිතනවද ඔබ චරිතාංග නළුවෙක් කියලා?

සත්තකින්ම.

එහෙනම් ඇයි විකට චරිත රඟපාන්නේ නැත්තේ?

මට හොඳට විකට චරිත රඟපාන්න පුළුවන්. එහෙම කියන්නේ හේතුවක් ඇතුව. මං නිර්මාණය කළ රජගහේ නාඩගම, රාජකපුරු වැනි නාට්‍යවල විකට චරිත තියනවනේ. ඉතින් පුහුණුවීම්වලදී ඒවා රඟන්න නියමිත අයට මම රඟපාලා පෙන්නනවා මෙහෙම කරන්න කියලා. ඒක නිසා මං හොඳට දන්නවා මට විකට චරිතයක් දුන්නොත් සැකයක් නැතිවම ඒක කරන්න පුළුවන් බවට. ඒත් මට කවුරුත්ම එවන් වූ රංගනයකට ආරාධනා කරන්න පැකිලෙනවා. මං ප්‍රතික්ෂේප කරයි කියලා වෙන්න ඇති.

අපි දැන් වේදිකාව කියන මාතෘකාවට ආවොත් හොඳයි කියලා හිතෙනවා. ඔබේ පැරැණි නිෂ්පාදනයක් යළිත් වේදිකා ගත කරන්නට සූදානමක් තියනවා නේද?

ඔව්. ඒක තමයි රාජකපුරු. මේ වන විට එහි පෙර පුහුණුවීම් කරගෙන යනවා. පැරැණි ශිල්පීන්මයි එහි ඉන්නේ. රාජකපුරු හි නව නිෂ්පාදනයේ මංගල දර්ශනය මාර්තු මාසය වන විට අකුරැස්සේදී පවත්වන්න බලාපොරොත්තු වෙනවා.

රංගන ක්ෂේත්‍රයේ කොතරම් කාර්යබහුල වුණත් වෘත්තීමය නළුවකු වන්න තවමත් ඔබ උත්සාහ නොගන්නේ ඇයි?

හොරණ විද්‍යාර්ථ විද්‍යාලයේ වසර ගණනාවක් ගුරුවරයකු විදිහට සේවය කිරීම මා පෙර භවයේ කරන ලද කුසලයක පළදීමක්. මන්ද යත් පාසලෙන් මගේ රංගන කාර්යයන්ටත් වෘත්තීයටත් උපරිම නිදහසක් ලැබෙන නිසා. මට ගුරු වාත්තියෙන් හිමිවන තෘප්තිය අති මහත්. ඇතැම් විට වෙනත් රස්සාවක් කළා නම් මේ වන විට වෘත්තීය නළුවෙක්. ඒත් මට ඉස්කෝලෙ දාල එන්න බැහැ.

පුංචි තිරයේ ප්‍රේමවන්තයකු වන්නට ඔබට නොහැකි වුණා. ඒ ගැන කනගාටුවක් ඔබ සිතේ නැද්ද?

ඇත්තටම පුංචි දුකක් හිතේ තියෙනවා. මගේ තරුණ කාලයම ගෙවුණේ මගේ වේදිකා නාට්‍යත් එක්කයි. එකක් යන්න එකක් මං වේදිකා නිර්මාණ කළා. ඒවත් අරන් ලංකාව වටේ ගියා. ඔන්න ඔය කාලේ තමයි පෙම්වතා චරිතයට ඇරැයුම් ලැබුණේ. හැම දේටම වැඩිය මගේ වේදිකා නාට්‍ය ටිකට මං බෙහෙවින් ආදරය කළා. පෙම්වතා ගිලිහුණා. ඊට පස්සේ ඉතින් හම්බු වුණේම නීතිඥ චරිත, අයියගේ චරිත, තාත්තගෙ චරිත තමයි.

ප්‍රවීණ කලාකරුවකු විදිහට වර්තමානයේ පවතින ටෙලි නාට්‍ය කලාව ගැන මොකද හිතෙන්නේ?

හරිම සංවේගයක් දැනෙනවා. අද නළු නිළියෝ ඕනෙ නැහැ. කතා කරන්න පුළුවන් ඕන කෙනෙක් නළුවෙක්. අපිටත් ඒ අයත් එක්ක රඟපාන්න වෙලා තියෙනවා. වෘත්තීමය වටිනාකමක් තියෙන නාට්‍ය කලාවක් යළිත් බිහිවන්නට ප්‍රාර්ථනා කරනවා මං.

ඔබටත් රැල්ලට යන්න සිදු වූ වාර අනන්තයි. එමඟින් ඔබේ වටිනාකම පහළ ගියා යැයි සමහරු කියනවා?

මං නාට්‍ය කරන්න ආවේ 1983 අවුරුද්දේ. මගේ භද්‍ර යෞවනය මා කැප කළේ මේ වෙනුවෙන්. එහෙව් තත්ත්වයක් මත රැලි ආවයි කියලා රංගනය නවත්වන්න මට බැහැ. මටත් රැල්ලට යන්න සිද්ධ වුණා. මේ වෙලාවේ මං කාටවත් නොකියපු කතාවක් කියන්නම්. මගේ උපාධිය ‘දේපළ පරිපාලනය සහ තක්සේරු විද්‍යාව’ යන විෂයටයි තියෙන්නේ. මගේ පළමු රැකියාව වුණේ රාජ්‍ය තක්සේරු දෙපාර්තමේන්තුවේ. වසරකින් ඉන් ඉවත් වෙලයි ගුරු වෘත්තියට බැඳුණේ. මගෙත් එක්ක රස්සාවට ගිය අය අද එහි අධ්‍යක්ෂවරු. ඒත් අදටත් මං මුල් ගුරුවරයෙක් පමණයි. එවන් වූ කැප කිරීම් කළේ රංගනයට තියෙන ආසාවට. ඒක හින්දා මොන හෝ නාට්‍යයකට ආරාධනා ලැබෙන කොට ප්‍රතික්ෂේප කරන්නේ කොහොමද මං.

වේදිකා නාට්‍යවලින් වැඩිපුරම මුදල් හම්බ කෙරුවෙ ජනක් ප්‍රේමලාල් යැයි රාවයක් තියෙනවා?

ඒක ඉරිසියාවට හදපු කතාවක්. ඇතැම් අවස්ථාවලදී මං අතින් ගෙවාගෙන වේදිකා නාට්‍ය පෙන්නලා තියනවා. අවුරුදු 20 ක් තිස්සේ මං පාවිච්චි කරන්නේ එකම වාහනයයි. මගේ වේදිකා නාට්‍ය හොඳට දුවපු නිසා ඒක දරා ගන්න බැරි අයයි ඔය වැනි කතාවක් හැදුවේ.

මොනවද ඔබ රඟපෑ ඉදිරියේදී විකාශය වන්නට තියෙන නාට්‍ය?

ගිරිකුල, සඳු පමා සහ ඉස්සරහට යන්න. ඒ වගේම මං සිටින දම්සාරි මේ දිනවල විකාශය වෙනවා.

පවුලේ තොරතුරුත් කියමු?

මගේ බිරිය ඥානෝත්‍රා, දුව ශෂිකලා, ඇය විවාහකයි. පුතා ගයාන්ජිත්, ඔහු කටුබැද්ද විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නවා.

වසර ගණනාවක කලා ජීවිතය තුළ ඔබට අමතක නොකළ හැකි අමිහිරි අත්දැකීම මොකක්ද?

රංගනය වෙනුවෙන් නිවාඩු දාන්න ගිහින් එක්තරා පිරිසකගේ කුහක ක්‍රියාකාරකම් නිසා මාව වසර දෙක හමාරක් රස්සාවෙන් නෙරපුවා. නඩු කියලයි මගේ රැකියාව ගත්තේ. අන්න ඒකයි මා මෙතෙක් ලද අමිහිරි අත්දැකීම.

අපේ කතාබහ එලෙස අවසන් විණ. නැවතත් සල්මල් ලන්දේ ගුරුන්නාන්සේ වශයෙන් ඔහු වහ වහා දර්ශන තලයට නික්ම ගියේය.