වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




රිදී තිරයේ පනස් වසරක මියුරු ගී අභිමානය ඇන්ජලින්...

රිදී තිරයේ පනස් වසරක මියුරු ගී අභිමානය ඇන්ජලින්...

‘සුජාත දියණී’ ගීතයට ලැබෙන ප්‍රතිචාර ඉහළයි

‘ඇන්ජලින් ලයිව් ඉන් කොන්සර්ට්’ සිනමා ගීතාවලෝකනය 09 දා නෙළුම් පොකුණේ දී....

ගහ කොළ මල්

ගල් ගැසී බලා සිටිනවා....

යුක්තිය යුතුකම් සොයා

ඇය පියඹනවා....

සුජාත දියණියත් ඔබයි

මේ බිම ඔබගේ

සැඟව සිනාසෙනු මැන හසරැල්ල ද

තහනම්

ඊතලේ යුක්තිය නෑ

යුක්තිය යුතුකම්

ඔබමයි

මේ පොළෝ තලේ උපන්

සුජාත දියණී ....

ආදරේ කුමරි ඔබයි

සතුට ද සුසුම ද ඔබමයි

මේ පොළෝතලේ උපන්

සුජාත දියණී.....

මේ ගීතය අද බොහෝ දෙනා අතර ඉතාමත් ජනප්‍රිය ගීතයක්. ලොකු කුඩා කා අතරත් ඉමහත් ජනාදරයක් දිනාගත් ‘සුජාත දියණී’ නාට්‍ය මාලාවේ තේමා ගීතය යි. මේ ගීතය ගායනා කරන ඇය ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවශ්‍ය නැහැ. එදා මෙදා තුර දශක කිහිපයක්ම අපේ සිනමාව ගීතවත් කළේ ඇගේ මියුරු ස්වරය යි. ඇන්ජලින් ගුණතිලක. පරම්පරා කිහිපයක්ම ඇගේ ඒ ගී හඬේ මිහිරියාව විඳින්නට වාසනාවන්ත වෙලා තියෙනවා.

මුලින්ම අහන්න කැමතියි අද කා අතරත් ජනප්‍රිය සුජාත දියණී ගීතය ගැන?

ජාතික රූපවාහිනියේ හඬ කැවීම් ඒකකයේ අංශ ප්‍රධානී අතුල රන්සිරිලාල් මහතා තමයි මට මේ සඳහා ආරාධනා කළේ. මුලින්ම ඒ ගැන ස්තුති වන්ත වෙන්න ඕනි. මේ ගීතය සංගීතවත් කළේ නුවන් සමරසිංහ. ගීතය රචනා කළේ අතුල රන්සිරිලාල්. ඔහු මට ගීතය දුන්නම මම ඇහුවා කොහොමද මෙය ගායනා කරන්න ඕන කියලා. එතකොට ඔවුන් මට කිව්වා ඔයාට කැමති විදියකට කියන්න නිදහස තියෙනවා කියලා. මම කිව්වා මේ විදිහට කියන්නම් ඔයාලා කැමති නම් කියන්න කියලා. ඕනම මෝස්තරයකට මට ගීත ගායනා කරන්න පුළුවන්. එය දෙවියන් මට දුන් ත්‍යාගයක්. ඇත්තටම මට ගොඩක් සතුටුයි. මම එය ගායනා කළ ආකාරයට ඔවුන් සතුටු වුණා. මෙම ටෙලි නාට්‍යය මට කාලයකට පසුව ලැබුණ එකක්. මීට පෙර “සුසුරන්” හා “අහිංසකාවිය” නාට්‍ය මාලාවල තේමා ගීත ගායනා කළා.

සුජාත දියණී තේමා ගීතයට ලැබෙන ප්‍රතිචාර?

මේ ගීතයට අද ලැබෙන ප්‍රතිචාර නම් ඉතාමත් ඉහළයි. මග තොටේදී හමුවන අම්මලා ළමයි මට කියනවා මේ ගීතය හරිම ලස්සනයි, ගොඩක් සතුටුයි කියලා. ගොඩක් ආසාවෙන් ඒ ගීතය අහනවා කියලත් කියනවා. උත්සව අවස්ථාවලට පවා ගියාම පොඩි ළමයි දුවගෙන ඇවිත් කියනවා ‘ඇන්ටි සුජාත දියණී’ සිංදුව කියන්නකෝ කියලා. මේ ඉල්ලීම නිසාම අතුල රන්සිරි ලාල් මහතා කිව්වා මේ ගීතයට තවත් පද පේළි කීපයක් එකතු කරලා දෙන්නම් කියලා. ලොකු කුඩා කවුරුත් මේ ගීතයට ඇලුම් කිරීම ගැන මට විශාල සතුටක් දැනෙනවා.

සිනමාවේ ඔබ ගීතවත් කළ ගීත බොහෝයි. ගීතයෙන් බහුතරය පිනවන්න ලැබීමත් වාසනාවක්. ඔබ ලද මේ සුවිශේෂත්වය ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම මගේ හඬ මට දුන්නේ දෙවියන් වහන්සේ විසින්. මම ඕනම කෙනෙකුට උදව් කරන හිත හොඳ කෙනෙක්. ඒ නිසා තමයි මේ වගේ වාසනාවක් මට හිමි වුණේ. ඒ වගේම වැඩිම චිත්‍රපට ගණනාවකට ගීත ගයන්න අවස්ථාව ලැබීමත් මම ලද විශාලතම භාග්‍යයක්.

ඔබ ගයන ගීත බොහෝ දෙනා රසවිඳිනවා. ඒ අතර ඔබ වඩාත් කැමැති ඔබේ ගීත ගැනත් සඳහන් කළොත්?

මගේ මුනුපුරා පුංචි කාලේ ඔහු වෙනුවෙන් ගායනා කළ රුසිත් පුතා ගීතය ඇතුළුව

‘මා එදා’

’මට ආසයි හිනැහෙන්න’

’බංගලි වළලු’

පෙම්වතියන්නේ’

’සිටු මැදුරේ’

’මල් හිනා’

’පුංචි පුතා’

’ඉගිලෙන්නට බැහැ’

’රන් කෙන්දෙන් රනින් සැදූ’ ගීතවලට මං වැඩිපුරම කැමැතියි.

ඔබ සිත් ගත් වෙනත් ගීත?

’එදා රෑ’ – මිල්ටන් මල්ලවාරච්චි

’ටජ් මහලක්’ – එච්. ආර්. ජෝතිපාල

’අම්මා’ - ග්‍රේෂන් ආනන්ද

’සමුදුරේ සොයා’ – රුක්මණී දේවි

’තනිවී සිටින්නයි’ – මිල්ටන් මල්ලවාරච්චි

’දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි’ මොහිදීන් බෙග්.

ලාංකේය සංගීත ලෝලීන්ට ඔබේ ගීත සමුච්චයක් සජීවීව රස විඳීමේ භාග්‍යය ළඟදීම උදාවන්නට නියමිතයි. ඒ ගැනත් විස්තර කියමු නේද?

ලබන පෙබරවාරි 09 වැනිදා ‘ඇන්ජලින් ලයිව් ඉන් කොන්සර්ට් සිනමා ගීතාවලෝකනය’ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වෙනවා. එදාට මගේ තෝරා ගත් ගීත 30 ක් සජීවීව තමයි ගායනා කරන්නේ. බොරුවට කට හොල්ලන්න මට වුවමනා නැහැ. මේ ප්‍රසංගයේ සංගීතය මෙහෙය වන්නේ ප්‍රේමනාත් කොඩිතුවක්කු. යුග ගී ගායනා කරන අය නම් දැන්මම කියන්න බැහැ. ඒක රහසක්. එදාටම තමයි ඒක දැනගන්න වෙන්නේ.

ඔබේ ගීත ප්‍රසංගයක් මෙරටදී රස විඳින්නට ලැබෙන්නේ කලාතුරකින්. මේ අවස්ථාව සඳහා විශේෂ හේතුවක් තියෙනවද?

රසික ඉල්ලීම් කොතෙකුත් ලැබුණත් වියදම් බලන විට ප්‍රසංගයක් පැවැත්වීම ලෙහෙසි පහසු එකක් නෙවෙයි. ඔස්ට්‍රේලියාවෙදි මා වෙනුවෙන් ප්‍රසංග කිහිපයක්ම සංවිධානය කළ ෆාහිම් මවුජුඩ් තමයි මට මේ සඳහා ආරාධනා කළේ. මටත් හිතුණා ප්‍රසංගයක් කළොත් හොඳයි කියලා. ඒ නිසා ඒ ආරාධනාව මම භාර ගත්තා.

එදිනට තවත් සුවිශේෂ කටයුත්තක් සිදු වෙන්නටත් නියමිතයි නේද?

එදිනට මගේ ගීත 16 ක් ඇතුළත් ‘මල් දුන්නෙන්’ ගීත තැටිය එළි දක්වනවා. ප්‍රසංගයට එන රසික රසිකාවන්ට විතරයි මේ ගීත එකතුව දෙන්නේ. මේ ගීත තැටිය මම වෙළඳ පොළට නිකුත් කරන්නේ නැහැ. මෙහි මගේ පැරැණි ගීත තුනක් ඇතුළත් වෙනවා. අනෙකුත් සියලුම ගීත අර්නස්ට් සොයිසා තනු නිර්මාණය කළ අලුත්ම ගීත. ඉතිං මගේ ගීත ප්‍රිය කරන ආදරණීය රසික රසිකාවන්ට මේ අවස්ථාවට සහභාගි වෙන්න කියලා ආරාධනා කරනවා.