වර්ෂ 2013 ක්වූ ජනවාරි 17 වැනිදා බ්‍රහස්පතින්දා




වික්‍රම බෝගොඩ මිය යයි

වික්‍රම බෝගොඩ මිය යයි

ලාංකික සිනමාවේ බිහි වූ විශිෂ්ට ගණයේ නළුවකු වූ වික්‍රම බෝගොඩ පසුගිය අගහරුවාදා අභාවප්‍රාප්ත විය. ගොළු හදවත චිත්‍රපටයේ සුගත් වීරසේකර ලෙස රගපාමින් අතිශය ජනාදරයට පත් වික්‍රම ගම් පෙරළිය,කලියුගය,යුගාන්තය යන චිත්‍රපට ත්‍රිත්වයේම තිස්ස කයිසාරුවත්තේ චරිතය රඟපෑමේ දුර්ලභ වාසනාව ලැබීය.

1940 වසරේ දී මහනුවර හිඳගල දී උපත ලද වික්‍රම මහනුවර ධර්මරාජ,කොළඹ ආනන්ද සහ පන්නිපිටියේ ධර්මරාජ යන පාසල් වලින් අධ්‍යාපනය ලද්දේය.ඔහු රංගනයට පිවිසෙනුයේ ධර්මපාල විද්‍යාලය මගින් වේදිකා ගත කරන ලද වැනිසියේ වෙළෙන්දා නාට්‍යයේ ෂයිලොක් ගේ චරිතය රඟපාමිනි. පසුව ඔහු කරළියට පිවිසෙනුයේ සුගතපාලද සිල්වාගේ අපේ කට්ටිය නාට්‍ය කණ්ඩායමේ ප්‍රබල නළුවකු වෙමිනි.

ඒ සුගතපාල ද සිල්වාගේ බෝඩිංකාරයෝ නාට්‍ය හරහාය.තට්ටු ගෙවල්,හරිම බඩු තුනක්,තුරඟා සන්නිය,රන් තෝඩු,ඔන්න බබෝ ඇතින්නියා, වහලක් නැති ගෙයක් ඇතුළු නාට්‍ය රැසකටම හෙතෙම රංගනයෙන් දායක විය.

ඔහු සිනමාවට පිවිසෙනුයේ ගම් පෙරළිය චිත්‍රපටයේ තිස්ස කයිසාරුවත්ත ගේ චරිතය රඟපාමිනි.පසුව දෙලොවක් අතර,කිංකිණි පාද,බිනරමලී,හත්දින්නත් තරු අහස් ගව්ව,පළඟැටියෝ ඇතුළු චිත්‍රපට රැසක හෙතෙම චරිත මැව්වේය.

මායා මන්දිර ඔහු චරිත නිරූපණය කළේ ටෙලිවිෂනය වෙනුවෙනි.මෑත කාලයේ ඔහු රංගනයට එක් නොවූයේය.

සිනමාවේ උපන් දිනය දවසේ ‘අසිරිමත් සිනමාවේදියා’ එළි දකී

ගොළු හදවත විශේෂ දැක්මක්

පළමු සිංහල කතානාද චිත්‍රපටය තිර ගත වී වසර 66 ක් සපිරෙන සහ ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවා වසර 41 ක් සපිරෙන මේ 21 වැනි දින ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීර්ස් ට උපහාර පිදීමේ උළෙලක් සහ ඒ මහතා පිළිබඳ ලියැවුණ නවතම ග්‍රන්ථය දොරට වැඩීමේ උළෙල ජාතික චිත්‍රපට සංස්ථවේ තරංගනී සිනමාහලේ දී පැවැත්වේ.

ජනමාධ්‍ය සහ ප්‍රවෘත්ති ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උළෙලේ දී ආචාර්ය ලෙස්ටර් පිළිබඳ වාර්තා චිත්‍රපටයක් ද තිර ගත වනු ඇත.

ඒ මහතා පිළිබඳ ලියැවුණ අසිරිමත් සිනාමාවේදියා ග්‍රන්ථය රචනා කර ඇත්තේ උදිත ගයාශාන් ගුණසේකරයි.

එමෙන්ම එදින සිනමා කේෂත්‍රයේ නියැලි පැරණි ශිල්පීන් විසි පස් දෙනෙකුට විශ්‍රාම වැටුප් පිරිනැමීමක් ද සිදු කිරීමට නියමිතය.

පස්වරු 2.30 ට උළෙල ඇරඹීමට නියමිත අතර උළෙල අවසානයේ ආචාර්ය ලෙස්ටර් විසින් නිර්මාණය කරන ලද ගොළු හදවත චිත්‍රපටය තිර ගත වීමට ද නියමිතය.

ආචාර්ය තිස්ස අබේසේකර නමින් ‘විමසුම් ග්‍රන්ථයක්’


 

තිස්ස අබේසේකර ග්‍රන්ථය පිළිබඳ ගිවිසුම අසංකා මොණරාවිල මහත්මියට ටෙලිනිස සභාපති සුරේශ් අබේසේකර විසින් පිළිගැන්වූ අයුරු. පසෙකින් ඇමති ටී.බී.ඒකනායක සහ නීතිඥ ඩග්ලස් සිරිවර්ධන යන මහත්වරුන්

මැයි මස 07 වැනිදාට යෙදෙන දිවංගත, ආචාර්ය තිස්ස අබේසේකර සූරීන්ගේ ජන්ම දින දා එතුමන් නමින් විමසුම් ග්‍රන්ථයක් එළිදැක්වීමට නියමිතයි. මේ කර්තව්‍ය සංවිධාන කරනු ලබන්නේ ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයයි. ‘තිස්ස අබේසේකර සමීප රූප’ ලෙස එම අනුස්මරණ අවස්ථාව නම් කර තිබේ. එදිනට නවක නිර්මාණ ශිල්පීන්ගේ කෙටි චිත්‍රපට නිර්මාණ කිහිපයක් ද ප්‍රදර්ශනය කෙරේ.

ලාංකේය සිනමා ක්ෂේත්‍රයට පහළ වූ විශිෂ්ට තිරනාටක රචකයකු හා කලා ප්‍රාඥයකු වූ, ආචාර්ය තිස්ස අබේසේකරයන්, 2009 අප්‍රේල් මස 18 වැනිදා මෙලොවින් සමුගත්තේය.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගම්පෙරළිය සිනමාපටය, ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයන්ගේ වැලිකතර සිනමාපටය ඇතුළු විශිෂ්ට සිනමාපට කිහිපයක තිර රචනයෙන් මෙරට සිනමා / කලා ක්ෂේත්‍රයට තිස්ස අබේසේකර සූරීන් ඉටු කළ සේවය ඉමහත්.

ජී. බී. සේනානායකයන්ගේ ‘පළිගැනීම’ කෙටි කතා සංග්‍රහයේ එක් කතාවක් වන ‘නිධානය’ කෙටි කතාව සිනමා කෘතියකට (නිධානය චිත්‍රපටය) උචිත අයුරින් තිර රචනය කෙරුණේ ද මේ ප්‍රතිභාපූර්ණ නිර්මාණවේදියා අතින්.

ව්‍යක්ත ලෙස ඉංග්‍රීසි හා සිංහල භාෂා හැසිරවීමට තිස්ස අබේසේකර මහතා සමත්කම් දැක්වීය. තම ගැඹුරු හඬ දායකත්වය ද එතුමා නිර්මාණකරණයට තිළිණ කළේ නොමසුරුවයි. ‘ඕෂීන්’ මාලා නාටකයේ පුරෝකථනය, එතුමා නිර්මාණය කරමින් අධ්‍යක්ෂණය කළ ‘පිටගම්කාරයෝ’ ටෙලි නාට්‍යය ඊට නිදසුන් වේ.

හෙළ සිනමාවට අනුපමේය මෙහෙයක් ඉටු කළ ආචාර්ය තිස්ස අබේසේකර සූරීන්ගේ විමර්ශන ග්‍රන්ථය රචනා කරන්නේ අජිත් ගලප්පත්ති විසින්.

සිනමාවට පිදෙන සම්මානය මෙවර කේ.ජී.විමලදාසට

සංස්කෘතික අමාත්‍යාංශය මඟින් පවත්වනු ලබන කලා භූෂණ රාජ්‍ය සම්මාන උළෙල හි සිනමාව සම්බන්ධයෙන් හිමිවන සම්මානය මෙවර ඊ. ඒ. පී. චිත්‍රපට සමාගමයෙහි ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු වන කේ. ජී. විමලදාස මහතාට හිමි විය.

ජීවිතයේ එක්වරක් පමණක් කලාකරුවකුට හිමිවන මෙම සම්මානය විමලදාස මහතාට හිමි වූයේ 1971 වසරේ සිට මේ දක්වා පුරා වර්ෂ 41 කට වැඩි කාලයක් දේශීය සිනමාව සහ සිනමා කර්මාන්තය නඟා සිටුවීමට ඔහු විසින් කළ සේවාවට උපහාරයක් ලෙසිණි. ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ මුල් අවදියෙහි (1971) උපාධිධාරී අභ්‍යාසලාභියකු වශයෙන් සේවයට බැඳුනු ඒ මහතා පැරණි චිත්‍රපට, ඡායාරූප සංරක්‍ෂණය කිරීම, චිත්‍රපට උළෙල සංවිධානය වැනි සුවිශේෂ දායකත්වයක් ලබා දෙමින් කටයුතු කළ අතරම චිත්‍රපට උපදේශක මණ්ඩලයේ ලේකම්වරයා ලෙස ද කලක් සේවය කළේය.

චිත්‍රපට සංස්ථා සේවයෙන් අනතුරුව ඊ. ඒ. පී. චිත්‍රපට සමාගමයෙහි ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු ලෙස සේවයට බැඳුනු ඒ මහතා තිර රචනාවල යෝග්‍යතාව සළකා බැලීමේ සහ නිපදවන ලද චිත්‍රපට ඊ. ඒ. පී. ප්‍රදර්ශන මණ්ඩලයට අයත් සිනමා ශාලාවන්ගේ ප්‍රදර්ශනය සඳහා තෝරා ගැනීමේ කමිටු සමාජිකයකු ලෙසද කටයුතු කරයි.