වර්ෂ 2013 ක්වූ ජනවාරි 17 වැනිදා බ්‍රහස්පතින්දා




මම දවසට ෂෝ දහඅටක් නිවේදනය කරල තියෙනවා

මම දවසට ෂෝ දහඅටක් නිවේදනය කරල තියෙනවා

තිලක් කුමාර රත්නායක සමඟ පිළිසඳරක්

කට ඇති පුතයි රුව ඇති දුවයි වාසනාවන් කියලා සිංහල ජන සාහිත්‍යයේ සඳහන් වෙනවා. ඒ කියමනට කදිම සාක්ෂියක් කොළොන්නාව පැත්තෙන් හමුවුණා. ඒ කට ඇති පුතා අද ලංකාවම හඳුනන ජනප්‍රිය පුද්ගලයෙක්. විවිධ කලා හැකියාවන්ගෙන් හෙබි මේ කලාකරුවා පුංචි සංදියේම තම ගම් ප්‍රදේශයේ ජනප්‍රිය පුද්ගලයෙක් වුණා. ඒ තරුව අද විවිධ කලා හැකියාවන්ගෙන් පමණක් නොව, දේශපාලන නායකත්වයෙන් ද තම උපන් බිමට සේවය කරන ජනතා පුත්‍රයෙක්. පසුගිය දිනවල විකාශය වූ ‘අමා’ ටෙලි නාට්‍යයේ දඩබ්බර ජිනදාස ලෙස රූපණය කළ ප්‍රතිභාපූර්ණ රංගනය නිසා මහත් ජනතා ප්‍රසාදයක් ද ඔහුට හිමි වූවා.

තිලක් කුමාර රත්නායක.

කෝපි කඩේට සෝමදාස වෙමින් පුංචි තිරය, වේදිකාව, ප්‍රසංග වේදිකාව, රිදී තිරය හැඩ කළ තිලක් හමුවන්නට සරසවිය අපි කොළොන්නාවට ගියා.

කොහොමද තිලක් අමා ජිනදාසට ලැබෙන ප්‍රතිචාර?

කාලෙකට පස්සේ ශාන්ත සොයිසා මහත්මයාගේ ආරාධනයකට මම ‘අමා’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ. තිර පිටපත කියවන කොට මට දැනුණා මේ ක්රැක්ටර් එකට මට යමක් කරන්න පුළුවන් කියලා. ඇත්තටම ජිනදාසගේ චරිතය මා මේ සමාජය තුළින් උකහා ගත් යම් යම් දේ ඇතුළත්ව රූපණය කළ චරිතයක්. ලොකු, පොඩි, හැමෝගෙන්ම මට ඉහළ ප්‍රතිචාර තිබෙනවා. ‘අමා’ ටෙලි නාට්‍ය අවසන් වෙලත් ටික කාලයක් ගියත් තවම ජිනදාසට ආදරේ කරන අය මට හොඳ ප්‍රතිචාර දක්වනවා. සමහරු මට බනින අවස්ථාත් තියෙනවා.

මෙගා ටෙලි නාට්‍යවලට මේ දිනවල විවේචනයක් තියෙනවා. එහෙම තියෙද්දී ඔබත් මෙගාවල රඟපාන්නේ ඇයි?

පසුගිය වකවානුවේදී ඉන්දියානු වට්ටෝරු ටෙලි නාට්‍ය මෙහේ රජ වෙලා තිබුණනේ. නමුත් ස්වාධීන රූපවාහිනී සේවය මේ දීර්ඝ ටෙලි නාට්‍ය තුළින් අපෙන් ගිලිහුණු ප්‍රෙක්ෂකයා යළි රඳවා ගත්තා. මේ රටේ සිටින කලාකරුවෙක් හැටියට නිර්මාණය කෙටි ද දිග ද කියනවට වඩා එහි නිර්මාණාත්මක පැත්ත දිහා බලලා ඊට දායක වීම තමයි මගේ කැමැත්ත. හැබැයි ඉතින් සමහර මෙගා නාට්‍ය නිකන් පපඩමක් වගේ. කිසිම හරයක් නැහැ. ඒ වගේම මේ මෙගා නාට්‍ය කොයි තරම් ප්‍රබල ද කියනවා නම් ඒ නාට්‍ය තුළින් බිහිවන සමහර අය ජනතා නියෝජිතයෝ වෙලා පාර්ලිමේන්තුවට පවා යනවා. ඒ තරම් ආකර්ෂණයක් සමහර ටෙලි නිර්මාණවල තියෙනවා.

ඔබ 70 දශකයේදී වේදිකාවෙන් කලාවට සම්බන්ධ වූවෙක්?

1976 දී විතර මට නාට්‍ය පිස්සුවක් හැදුනා. අක්කලාගේ සාරි, ලිෆ්ටික් ගාගෙන ගමේ කොල්ලෝ කුරුට්ටෝ වට කරගෙන නාට්‍ය නටනවා. අපේ කොලොන්නාවේ ගේ ළඟ තියෙනවා කුණු කන්දක්. ඔය කුණු කන්ද සමතලා කරලා පොල් කොට ස්ටේජ් එකක් හදලා අපි නාට්‍ය පෙන්නනවා. මට ගමේ ඒ කාලේ කිව්වේ ‘කුණු ගොඩේ නළුවා’ කියලා. ඒ අර ගොඩ කරපු කුණු ගොඩේ හදපු ස්ටේජ් එක නිසා.

දවසක් බී. සිරිතුංග පෙරේරා මට කතා කළා එයාගේ නාට්‍යයකට. රඟපාන්න නෙමේ ප්‍රොම්ටර් විදියට. මේ විදියට කාලයක් ගියා. පසුව ඒ නාට්‍යයේම රඟපාන්න අවස්ථාවක් ලැබුණා. නමුත් මට ඒ සඳහා ගෙවීම් කරන්නේ රුපියල් 400/ යි. එකෙන් 250/- ක් අර මුලින් චරිතය රඟපාපු කෙනාට ගෙවන්න ඕනෑ. ඒ විදියට කාලයක් රඟපෑවා. පසුකාලීනව ආර්. ආර්. සමරකෝන් මහත්මයාගේ නාට්‍යවලට සම්බන්ධ වෙලා වැඩ කළා. දැන් වගේ ඒ කාලේ එක පාරටම රඟපාන්න දෙන්නේ නැහැ. හැම දෙයක්ම ක්‍රමාණුකූලව ඉගෙන ගෙන ඉවසීම, කැපවීම තුළින් තමයි රංගන ශිල්පිියෙක් වෙන්න පුළුවන්.

ටෙලි නාට්‍යට කොහොමද එක් වුණේ?

මගේ පළමු ටෙලි නාට්‍ය රඟපාන කොට ‘දිමුතු මුතු’ රූගත කරලාවත් නැහැ. එකේ නම ‘සත්හිරු පායා’. ලංකාවේ පළමුව විකාශය වෙන්න තිබුණු නාට්‍යය. සිරිල් වික්‍රමගේ, ශ්‍රියන්ත මෙන්ඩිස් එහෙම ඒකාලේ ‘සත්හිරු පායා’ ටෙලි නාට්‍යයේ රඟපෑවා. ජාතික රූපවාහිනියේ විකාශය කරන්නත් සූදානම් කරලා ට්‍රේලර් හිටන් ගියා. අද රාත්‍රී 8.30 ට සත්හිරු පායා විකාශය වෙනවා කියලා දැන්වීමකුත් පළ වුණා. මම ගම වටේම (කොළොන්නාවේ) නෑදෑයන්ටයි, යාළුවන්ටයි හැමෝටම කිව්වා අද මම රඟපාන ටෙලි නාට්‍ය විකාශය වෙනවා. මේක ලංකාවේ පළමු ටෙලි නාට්‍ය කියලා.

ඒ කාලේ අද වාගේ හැම ගෙදරම ටී. වී. තිබුණේ නැහැ. අපේ ගෙදරත් නැහැ. ගමට තිබුණේ ටී. වී. දෙක තුනයි. එදා හවස අපි එක තැනකට එකතු වුණා. හරියට 8.30 වෙන කොට එක පාරටම ‘අදට නියමිත සත් හිරු පායා’ ටෙලි නාට්‍ය විකාශය නොවේ කියලා දැම්මා. එදායින් පස්සේ අද වෙනකම් ඒ ටෙලි නාට්‍යයට මොකද වුණේ කියලවත් දන්නේ නැහැ. එදා ඒක විකාශය වුණා නම් ලංකාවේ විකාශය වුණු පළමු ටෙලි නාට්‍ය ‘සත්හිරු පායා’ වෙනවා.

නිවේදකයෙක් වුණේ?

දවසක් අමරදාස ගුණවර්ධන මහත්මයා කිව්වා ඔයාට ගැඹුරු හඬක් තියෙන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ‘ශනිදා වාසනාව’ ලොතරැයියට දිනුම් අදින්න කෙනෙක් හොයනවා කියලා. මම ස්ක්‍රීන් ටෙස්ට් එකකට ගියා. එහිදී අජිත් ජයවර්ධන මහත්මයා කිව්වා තිලක් ඔයාට සහාය නිවේදිකාවක් හොයා ගන්න කියලා. මම චරිතා ප්‍රියදර්ශනීගේ නම යෝජනා කළා. එදා තමයි මම පළමු වතාවට රූපවාහිනිය ඉස්සරහ නිවේදකයෙක් වුණේ. ඊට පසුව නම් ආයුබෝවන්, ශනිදා ආයුබෝවන් වැනි වැඩ සටහන් රාශියක් ඉදිරිපත් කළා.

ප්‍රසංග වේදිකාවේ කාර්ය බහුලයි නේද?

90 දශකයේ මුල් භාගය වන විට මාව රටම හඳුනනවා. කෝපි කඩේ සෝමදාස නිසා. ඒ වගේම ප්‍රසංග වේදිකා නිවේදනයට ලංකාවේ සිටියේ අතලොස්සයි. ඒ අතරට මගේ නමත් කියැවුණා.

දවසකට ප්‍රසංග වේදිකා දහ අටක් නිවේදනය කළා කිව්වට කවුරුත් පිළිගන්නේ නැහැ. ඒ 1995 වසරේදී හලාවතින් පටන් අරන් කොළඹට එනකන් ෂෝ 18 ක් කළා. ඒ අයගේ ඉල්ලීම වුණේ තිලක් පැය භාගයක් හරි එක ෂෝ එකක් එනවුන්ස් කරන්න කියන එක. අනික ඒ කාලේ දැන් වගේ නෙමේ එළිවෙනකම්ම ෂෝ එක තියෙනවා. ඒ වගේම මේ ප්‍රසංග වේදිකා නිවේදනය නිසා මම ඩුබායි රටට 33 වතාවක් ගියා. ඇමරිකාව, කුවෙට්, බහරෙන් මේ වගේ රටවල් රාශියක සංචාරය කරන්නත් හැකි වුණා. මේ වෙනකොට ප්‍රසංග වේදිකාවේ 2014 වර්ෂයටත් මගේ දින පොත ලියැවිලා තියෙන්නේ.

ඔබ ‘විජය කුවේණි’ චිත්‍රපටයේ ජුතින්දර සේනාධිපති කෙනෙක් විදියට රංගනයේ යෙදුණා?

විනාඩියක් පමණ රඟපාන්න වුණු චරිතයක් වුණත් ඒ ටික වේලාව චිත්‍රපටයේ හොඳම කොටසේ කළ රංගනයක්. එයත් මට විශාල අත්දැකීමක්.

නිවේදන දිවියේ අමතක නොවන සිදුවීම?

1994 ජනාධිපතිවරණයේදී ගාමිණී දිසානායක මහතාට තොටළඟ බෝම්බය එල්ල කරන වෙලාවේ ප්‍රධාන වේදිකාවේ නිවේදනය කළේ මම. එක පාරටම මා ළඟ සිටිය බොහෝ දෙනෙක් බිම වැටුණා. ඒ සංවේදී මොහොත මට කවදාවත් අමතක කරන්න බැහැ. පෙර පින් බලයට තමයි මගේ ජීවිතේ එදා බේරුණේ.

පවුලේ විස්තර?

බිරිඳ අනූෂා, ලොකු පුතා අංජන, දෙවැනියා හර්ෂණ. දෙන්නම ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්නවා. දුව තරුෂි ආර්යා. එයා සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ඉගෙන ගන්නවා.

පවුල ගැන කියෙන කොට මේ කතාවත් කියන්න ඕනෑ. කලා ක්ෂේත්‍රයේ අයට ඉක්මනට කට කතා හැදෙනවනේ. නමුත් මම කවදාවත් මගේ නමට හානි වෙන විදියට හැසිරිලා නැහැ. අදටත් මට මගේ මොබයිල් ෆෝන් එක බිරිඳ ළඟ තියලා යන්න පුළුවන්. ගෙදර ආවට පස්සේ ෆෝන් එක ඕෆ් කරන්න ඕනේ නැහැ. ඒ තමයි අපේ අවබෝධය.

මේ දිනවල ඔබ?

පළදායිතා ප්‍රවර්ධණ අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් විදියට කටයුතුª කරනවා. ඊට අමතරව සුපුරුදු පරිදි කෝපි කඩේ පිටපත ලියනවා. කෝපි කඩේට මම හඳුන්වලා දුන්න බොහෝ අය සිටිනවා. හැබැයි සමහරු මාව දැක්කම අහක බලාගෙන යනවා. තව අය නම් කට පුරා හිනා වෙලා කතා කරලා යනවා. මේ දිනවල හිරු ටී. වී. හි විකාශය වන එක් ටැම් ගේ නාට්‍යත්, නිහාල් ප්‍රනාන්දුගේ බොර දිය කඳුර නාට්‍යයෙත් රඟපානවා. ඒ වගේම සුපුරුදු පරිදි කැලණි පාලම වේදිකා නාට්‍ය ඇතුළු වේදිකා නාට්‍ය කිහිපයකත් රඟපානවා.

කලාව දේශපාලනය පටලවා නොගත් ආදර්ශමත් කලාකරුවකු වූ තිලක් කුමාර රත්නායකගේ 164, විහාර මාවත, කොළොන්නාව පිහිටි නිවෙසින් ඡායාරූප ශිල්පී ශාන් රඹුක්වැල්ලත් මාත් පිය නැගුවේ සොඳුරු මිනිසෙකු සමඟ හෝරා කිහිපයක් ගත කළ සතුටත් සමඟින්.