වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 22 වැනිදා බ්‍රහස්පතින්දා




වසන්තා මියගොස් දොළොස් වසරක්

වසන්තා මියගොස් දොළොස් වසරක්

පුතු, ගාමිණී ගෙන් ‘සිහින විමනක්’....

හද රැඳි ගීත රැසක් ලාංකේය රසික ජනයාට තිළිණ කළ ප්‍රවීණ ගායිකා වසන්තා සන්දනායක මියගොස් මෙම 24 වැනි දිනට වසර 12 ක් සපිරේ. ඒ නිමිත්තෙන් 23 වැනි දින රාත්‍රී සුමධුර ධර්ම දේශනයක් සහ පසු දින සංඝගත දක්‍ෂිණාවක්, වසන්තා සන්දනායක ගේ බාල පුතු ගාමිණී සන්දනායක ගේ නිවසේ දී පැවැත්වේ.

එදිනම ඇයට උපහාර වශයෙන් ‘සිහින විමනක්’ නමින් සී. ඩී. තැටියක් එළි දැක්වීමට ද ගාමිණී බලාපොරොත්තුවේ. ගීත 14 ක් ඇතුළත් මෙහි පළමු ගීතය හැර අනෙකුත් ගීත සියල්ලම තනු නිර්මාණය, රචනය සහ සංගීත නිර්මාණය ඔහු ගෙනි. කුමාරි මුණසිංහ, සුපි‍්‍රයා අබේසේකර සහ ගාමිණී ගේ පුතු සුනෙත් සමීර සන්දනායක මෙහි සහාය ගායන ශිල්පීන් වෙති.

එච්. ඩී. එස්. ජයසේකර මහතා යටතේ සංගීතය හදාරා ඇති ඔහු ලයනල් අල්ගමයන් සහ විමල් ජේ. ශි‍්‍රයාරත්න වෙතින් තබ්ලා වාදනය හැදෑරීය.

බාහිර සංගීත ගුරුවරයකු ලෙස පාසල් කිහිපයකම සේවය කළ ගාමිණී දැනට ‘මියුසික් ප්ලේස්’ නමින් ඔහුගේ නිවසේ කලායතනයක් පවත්වාගෙන යති. එහි සංගීතය හදාරණ ළමුන් යොදා ගනිමින් මෙදින වසන්තා ගැයූ ගීත ඇය වාසය කළ මෙම මාලිගාවත්ත නිවසේදීම ගායනා කරවීම විශේෂත්වයකි.

මේ අවස්ථාවට වසන්තා සන්දනායක ගේ අනෙකුත් දරුවන් වන සරත් සන්දනායක, ශ්‍රීමතී වසන්තා සන්දනායක, දයා හේමන්තා අබේසේකර, සිසිර සන්දනායක සහ සුජාතා සන්දනායක ද සහභාගි වෙති.

චන්දු ඉඹුලාන


විසිපස් වෙනිදා මත්තෙගොඩට එන්න

රන්ජන් ජයතිලකගෙන් මිනිබිරියට ගී තිළිණයක් ‘තිනුලි’

සිය මිනිබිරියට ලියූ ගීතයක් රැගෙන රන්ජන් ජයතිලක ළඟදීම ඔබ හමුවට පැමිණෙන්නයි මේ සූදානම් වෙන්නේ. ඒ ඔහුගේ ගීත රැගත් දෙවැනි සංයුක්ත තැටිය වන තිනුලිත් සමඟයි. මේ මාසයේ 25 වැනිදා සවස 5.00 ට මත්තේගොඩ බෞද්ධ මන්දිර ශාලාවේදී ‘තිනුලි’ දොරට වඩින්නේ වසර 8 කට පස්සේ.

ගීත දහ අටක් ඇතුළත් ‘තිනුලි’ සංයුක්ත තැටියේ තිබෙන විශේෂත්වය වෙන්නේ රන්ජන් ජයතිලකගේ පවුලට එක්වුණු අලුත් මිනිබිරිය ‘තිනුලි’ ට තිබෙන ආදරය ප්‍රකාශ කිරීමට කළ කටයුත්තක් වීමයි.

මේ සංයුක්ත තැටියේ තිනුලි ගීතය ඇතුළු අලුත් ගීත කිහිපයක් වගේම පැරැණි ගීත කිහිපයක් ද දමිළ ගීත ද්විත්වයක් ද ඇතුළත්. රසිකයන්ගේ ආරාධනාවෙන් මේ සංයුක්ත තැටියට එක් වුණු පොල් කට්ටට වතුර අරන්, අරලිය මල්, වෙලේ මඩේ ආදී ගීත වගේම අතිගරු ජනාධිපතිතුමාට පිරිනමන ලද ද්‍රවිඩ ආශිර්වාද ගීතයක් ඇතුළත් වීමත් මෙහි සුවිශේෂියි.

කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම උළෙලේදී ඔහුගේ හතළිස් පස් වැනි කලා දිවිය අළලා තිළිණ ප්‍රදානයක් ද සිදු වෙනවා. කුඩා දරු - දැරියන් ඉදිරිපත් කරනා නර්තන ප්‍රසංගයක් නිසා එදා දවස වඩාත් සුන්දර වේවි. මේ සියලු කටයුතු සංවිධානය කරන්නේ මත්තේගොඩ ග්‍රාම නිලධාරිනි අනෝමා දමයන්ති ප්‍රධාන ප්‍රජා සංගමයයි.

‘25 වැනිදාට මත්තේගොඩට එන්න’

රන්ජන් ජයතිලකට ආදරය කරන රසික රසිකාවන්ට ඔහු විවෘත ආරාධනයක් කරනවා.

මේ සංයුක්ත තැටිය දොරට වැඩීමේ උළෙලට ආවොත් ඔබට කාලයකට පස්සේ පැරැණි ගීත කිහිපයක් රස විඳින්නටත් ලැබේවි.


‘මියැසි තරු අභිෂේක රාත්‍රිය’ 23 දා බේරුවලදී

කළුතර දිස්ත්‍රික්කයේ යෞවන යෞවනියන්ගේ ගායන හා නිවේදන කුසලතාවයන් ජාතික තලයට ඔසවා තැබීමේ අරමුණැතිව ලංකාවේ ප්‍රථමවරට අන්තර් ජාලය හරහා ජනප්‍රිය ගායන හා නිවේදන තරු තේරීමේ තරගාවලියේ අවසන් මහා තරගය ‘මියැසි තරු අභිෂේක රාත්‍රිය’ හෙට (23) පස්වරු 6.00 ට බේරුවල බඳනගොඩ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඵනඥඥඤ.තඬ වෙබ් අඩවියේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක මෙහි ගායන අංශයේ අවසන් 13 සහ නිවේදන අංශයේ අවසන් වටයට සුදුසුකම් ලැබූ 8 දෙනෙකු තම දක්ෂතා එළි දැක්වීමට නියමිතය.

මෙම තරඟාවලිය දිවයින පුරා අනෙකුත් දිස්ත්‍රික්කවල ද පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර කළුතර දිස්ත්‍රික් තරඟයෙන් අනතුරුව ගාල්ල දිස්ත්‍රික්කය තුළ පැවැත්වීමට නියමිතය.