බී ඒ ඩබ්ලිව් ජයමාන්න

සිංහල සිනමාවේ පුරෝගාමී

සිංහල සිනමාවක් බිහි කිරීම විෂයෙහිලා වැඩිම ගෞරවයක් පුද කළයුතු තැනැත්තා ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුවේ’ නිෂ්පාදනය කළ එස්. එම්. නායගම් වුවත් එහි කතා රචක හා ප්‍රධාන නළුවා වූ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න ද අපට කිසිසේත්ම ලඝු කොට සැලකිය නොහැකිය. මන්ද යත්, ඔහු ඉනික්බිතිව තිර කතා රචකයකු හා අධ්‍යක්ෂවරයකු වශයෙන් සිංහල සිනමාවට වෘත්තීීමය වශයෙන් උපරිම දායකත්වයක් දැක් වූ බැවිනි.

‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටයට පාදක වූයේ එනමින්ම යුතු බී. ඒ. ඩබ්ලිව්.ගේ මිනර්වා වේදිකා නාට්‍යයකි. වේදිකා නාට්‍යයේත් චිත්‍රපටයේත් ප්‍රධාන නළුවා වූයේ ද බී. ඒ. ඩබ්ලිව්මය.

බී. (බර්නාඩ්) ඒ. (ඇලෝෂියස්) ඩබ්ලිව්. (වන්නිආරච්චි) ජයමාන්න උපන්නේ 1908 දී මීගමුව පෙරියමුල්ලේය. මූලික අධ්‍යාපනය ලැබුවේ මීගමු මාරිස්ටෙලා විදුහලෙනි. මොහු නාට්‍යකරණයට සම්බන්ධ වී ඇත්තේ පාසල් වියේ සිටම බවක් පෙනී යයි. පාසල් වේදිකාවේ රඟ දැක් වූ ‘DOCTOR FAUSTUS’  ඔහු රඟපෑ නාට්‍යවලින් එකකි. එය ඉංග්‍රීසි ජාතික ක්‍රිස්ටෝපර් මාර්ලෝගේ නාට්‍ය රචනයක් විය.

‘හත්වැනි පැය හෙවත් භයානක පොරොන්දුව’ බී. ඒ. ඩබ්ලිව්. රචනා කොට නිෂ්පාදනය කළ මුල්ම නාට්‍යය වන්නේය. බෙන්ජමින් ප්‍රනාන්දු, ලක්ෂ්මී බායි වැනි නළුවෝ එහි රඟපෑහ. මොවුන් වෘත්තීය නළු නිළියන් වූ බැවින් යම් යම් ප්‍රශ්න පැන නැඟී ඇත. ඒ නිසා ඊළඟ නාට්‍යය තැනීමේදී බී. ඒ. ඩබ්ලිව්. උත්සුක වූයේ ආධුනික පිරිසක් ඊට සම්බන්ධ කර ගන්ටය. ඒ අනුව මිනර්වා ආධුනික නාට්‍ය සමාජය  (MINERVA AMATEUR DRAMATIC CLUB) නමින් අභිනව නාට්‍ය සංවිධානයක් පිහිටුවා ගත්තේය. සමහරුන් මෙයට  MAD CLUB (මෝඩ සමාජය) යනුවෙන් අවඥාවට ලක් කෙරුණෙන් පසුව එය ‘මිනර්වා’ යන නමින් පමණක් පවත්වාගෙන ගියේය.

‘මිනර්වා’ යනු රෝම දේව කතාවලට අනුව ප්‍රඥාවට අධිපති දෙවියායි. මේ නම ඉන්දීය චිත්‍රපට නිෂ්පාදන ව්‍යාපාරයට ද සම්බන්ධ කරගෙන තිබුණේය. සොරාබ් මෝඩි නමැති ඉන්දීය චිත්‍රපට නිෂ්පාදක, අධ්‍යක්ෂවරයා 1936 දී ‘මිනර්වා මුවිටෝන්’ යන නමින් චිත්‍රපට නිෂ්පාදන සමාගම පිහිටුවා ගෙන සිටියේය.

මිනර්වා යටතේ බී. ඒ. ඩබ්ලිව්. නිෂ්පාදනය කළ නාට්‍යවලට නම් තැබුවේ ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර අනු පිළිවෙළට අනුවය.

(1)  A - APPARITION (අවතාරය)

(2) B – BROKEN PROMISE (කඩවුණු පොරොන්දුව)

(3) C – CHANGING FATE (පෙරළෙන ඉරණම)

(4) D – DEFEETED AIM (වැරදුණු කුරුමානම)

(5) E - EVASIVE DINIAL (සැඟවුණු පිළිතුර)

(6) F – FANTATIC FAITH (උමතු විශ්වාසය)

(7) G – GRISLY GUARDIAN (කපටි ආරක්ෂකයා)

(8) H – HASTY DECSION (හදිසි විනිශ්චය)

(9) I – IRANGANIE (අයිරාංගනී)

ඒ හැරුණු කොට ‘නඩු තීන්දුව’ නමින් නාට්‍යයක් ද මිනර්වා යටතේ නිෂ්පාදිතය. ‘අවතාරය’ නාට්‍යය විශේෂ වැදගත්කමක් දරන්නේ එය රුක්මණී දේවි සම්බන්ධ වූ පළමු මිනර්වා නාට්‍යය වීමයි. ඒ අතිරේක ගායිකාවක වශයෙනි. එකල නාට්‍යවලට ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කර ගනු වස් මෙබඳු අතිරේක ගී හා නැටුම් යොදා ගැනිණි. නාට්‍යයක එක් ජවනිකාවක් නිම වී අනිත් ජවනිකාව ඇරඹෙන අතරවාරයේ මේ ගී - නැටුම් ඉදිරිපත් වූයේය.

බී. ඒ. ඩබ්ලිව් ගේ නාට්‍ය මෙරට රසිකයන් අතර ජනාදරප්‍රාප්ත වූයේය. ‘කඩවුණු පෙරොන්දුව’ වැනි නාට්‍යයක දර්ශන වාර 800 ක් පමණ රඟදැක් වීමෙන්ම ඒ බව සාක්ෂාත් වෙයි.

මෙරට සිටි ප්‍රකට ව්‍යපාරිකයකු වූ එස්. එම්. නායගම් 1945 දී පමණ සිංහල චිත්‍රපටයක් නිපදවීමේ අභිප්‍රායෙන් ‘චිත්‍රකලා මුවිටෝන්’ නමින් යුතු චිත්‍රපට සමාගමක් සහ ඉන්දියාවේ මධුරෙයි නගරයේ ‘චිත්‍රකලා’ නමින් චිත්‍රාගාරයක් ද පිහිටුවා ගත්තේය. නායගම් විසින් ‘කඩවුණු පොරොන්දුව’ නාට්‍යය චිත්‍රපට ගත කිරීමේ යෝජනාව බී. ඒ. ඩබ්ලිව්. වෙත යොමුකරන ලද අවස්ථාවේ බී. ඒ. ඩබ්ලිව්. මුලදී ඊට කැමැත්තක් පළ කර නැත. ඊට හේතු වූයේ ඔහුම වරක් කියා ඇති පරිදි නාට්‍යවලින් ලොකු ආදායමක් ලැබෙද්දී එය නැවැත්වීමට අකැමැති වීමයි. ඔහු පසුව ඊට එකඟ වූයේ චිත්‍රපට නිපදවීමෙන් ඊට වැඩි මුදලක් මෙන්ම වැඩි ජනප්‍රියත්වයක් ද ලැබේ යැයි පෙන්වා දීමෙන් අනතුරුවය.

බී. ඒ. ඩබ්ලිව්. හා නායගම් අතර අස්සන් කෙරුණු ගිවිසුමේ කොන්දේසි වූයේ ‘කඩවුණු පොරොන්දුව’ නාට්‍යයේ රඟපෑ මිනර්වා ශිල්පීන් පමණක් චිත්‍රපටයට ඇතුළත් කර ගත යුතු බව සහ මොන යම් හේතුවකට හෝ කතාව වෙනස් නොකළ යුතු බවයි. චිත්‍රපටය සම්පූර්ණයෙන් නිෂ්පාදනය කර නිම වන තුරු මාසයකට රුපියල් 25,000 බැගින් ද, චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් ලැබෙන ලාබයෙන් 2% ක බැගින් ද බී. ඒ. ඩබ්ලිව්. ට ගෙවිය යුතු බවට ද ගිවිසුමේ සඳහන් වූ බව ද පැවසේ.

1946 ජූනි 26 වැනිදා ‘කඩවුණු පොරොන්දුව’ නිෂ්පාදන කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව ගියහ. එය ‘කඩවුණු පොරොන්දුවේ’ ප්‍රධාන නිළි, ගායිකා රුක්මණී දේවි කීවාක් පරිදි ඇමෙරිකාව සෙවීමට කොලෙම්බස් ගිය ගමන වැනි ඓතිහාසික ගමනකි. මෙම ගමනේදී තිර හා වේදිකා සැරසිලි ද රැගෙන ගොස් ඇත. ඊට හේතුª වූයේ නාට්‍යය රඟ දක්වන අවස්ථාවේම එය චිත්‍රපටයට නඟන්නේය යන වැරදි වැටහීමක් බී. ඒ. ඩබ්ලිව්. ප්‍රමුඛ නාට්‍ය කණ්ඩායමට තිබීමයි. පහත එන්නේ ඒ සම්බන්ධයෙන් ඔහු වරක් කළ ප්‍රකාශයකි.

‘මුලදී මා හිතාගෙන සිටියේ ඡායාරූප ශිල්පිියකු යම් කිසි දෙයක් ඡායාරූපයට නඟන්නාක් මෙන් අප නාට්‍යය රඟ දක්වා ගෙන යන විට ඔවුන් එය චිත්‍රපටයට නඟාගෙන යනවා ඇත කියායි. පසුව නියම තත්ත්වය දැනගත් කල මා තුළ ඇති වූයේ ලැජ්ජාවකි’ (දිනමිණ 1953 ජනවාරි 28).

මෙයින් ස්ඵුට වන්නේ සිනමාකරණය පිළිබඳ කිසිදු අවබෝධයක් මොවුන්ට නොතිබුණු බවය.

‘කඩවුණු පොරොන්දුවේ’ සිට ‘පෙරළෙන ඉරණම’ තෙක් චිත්‍රපටවල කතා රචනය බී. ඒ. ඩබ්ලිව්ගේ වුව ඒ චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ ඉන්දීය ජාතිකයන්ය. ඉන්දියාවේ පටිගත කිරීම පිළිබඳ නොයෙක් දේ තමන්ට වටහා ගැනීමට ඉඩ නොතැබූ බව බී. ඒ. ඩබ්ලිව්. කියා ඇත. (සරසවිය සිනමා වාර්ෂිකය 1964).

බී. ඒ. ඩබ්ලිව්ගේ හොඳම චිත්‍රපටය ලෙස එකල සිටි විචාරකයන් පිළිගත්තේ ‘කැලෑහඳ’ය. එය නවකතාවක් සිනමාවට නැඟුණු ප්‍රථම නවකතාව වීම ද ඓතිහාසික සුවිශේෂත්වයකි. 1956 පැවති ලංකාදීප චිත්‍රපට කල්‍යාණි තරගයේ (දීපශිඛා) හොඳම නළුවා වූයේ බී. ඒ. ඩබ්ලිව්ය. ඒ ‘කැලෑහඳ’ අන්දෝ සීයා ලෙස කළ රංගනය උදෙසාය. 1953 පැවති ‘දිනමිණ’ ‘රඟමඬල’ චිත්‍රපට තරගයේ ප්‍රියතම චිත්‍රපටය ලෙස තේරුණේ ද ‘කැලෑහඳ’ය.

1947 දී ‘කඩවුණු පොරොන්දුව’ තිරගත වන අවස්ථාව වන විට ලෝක සිනමාව තුළ ශ්‍රේෂ්ඨ චිත්‍රපට රැසක් බිහිව තිබිණි. ‘බැට්ල්ෂිප් පොටෙම්කිං’, ‘ද පැෂන් ඔෆ් ජෝන් ඔෆ් ආර්ක්’, ‘සිටි ලයිට්ස්’, ‘ද කැබිනට් ඔෆ් ඩොක්ටර් කැලිගරි’, ‘සිටිසන් කේන්’ එබඳු චිත්‍රපට අතර වෙයි.

එහෙත් කරුණාසේන ජයලත් වරක් කියූ පරිදි 1947 දී අපට කඩවුණු පොරොන්දුවක්’ මිස ‘රේඛාවක්’ බලාපොරොත්තු විය හැකි ද යන්න ප්‍රශ්නයකි.

‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටය ගැන පසු කලෙක අදහස් දැක් වූ අවස්ථාවක ප්‍රකට සිනමා විචාරක ජයවිලාල් විලේගොඩ කියා සිටියේ එය එතෙක් භාෂා 12 ක් කතා කරමින් තිබූ ඉන්දීය සිනමාවට තවත් භාෂාවක් එක්වීමක් බවය. ඔහු අත්‍යාලාපයෙන් විවේචනය කළේ ‘කඩවුණු පොරොන්දුවේ’ තිබූ දෙමළ මුහුණුවරයි. අධ්‍යක්ෂවරයාගේ සිට සියලු කාර්මික ශිල්පීන් දකුණු ඉන්දීය ජාතිකයන් වීමේ පසුබිමක් මත මදුරාසි චිත්‍රාගාරයකින් අපට දෙමළ සිනමා මුහුණුවරකින් තොර ‘කඩවුණු පොරොන්දුවක්’ අපේක්ෂා කළ හැකි වේද?

එහෙත් ඉතාම කනගාටුදායක කාරණාව වන්නේ බී. ඒ. ඩබ්ලිව්. ‘කැලෑහඳ’ වැනි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමෙන් ද ඉනික්බිතිව දෙමළ චිත්‍රපට අනුකරණයට ගොදුරුවීමයි. ඔහුගේ ‘වනලිය’ (මිනල්කොඩි), ‘මංගලිකා’ (කල්ලතුර් කන්නම්මා), ‘මඟුල් පෝරුව’ (මනප්පන්දල්) දෙමළ චිත්‍රපපටවල අවඥාසහගත අනුකරණ විය.

බී. ඒ. ඩබ්ලිව්. නාට්‍යකරණයට ප්‍රවිෂ්ට වූයේ නාට්‍ය කලාව රස්තියාදුකාරයන්ගේ කලාවක් ලෙස පරිභවයට පත්ව තිබූ යුගයකය. එකල නාට්‍ය නැරඹූවන් අතරේ කලිසම්කාරයකුට සිටියේ බී. ඒ. ඩබ්ලිව්. පමණක් බව සඳහන්ව ඇත. තමාගේ නාට්‍යයක් වේදිකා ගත කර ගැනීම සඳහා මොහු එකල මීගමුව ප්‍රදේශයේ සිටි ප්‍රසිද්ධ නාට්‍ය රචකයකු වූ සී. බෙන්ජමින් ප්‍රනාන්දු හමුවීමට ගිය අවස්ථාවේ ඔහු බී. ඒ. ඩබ්ලිව්ට කියා ඇත්තේ නාට්‍ය කලාව පස්සේ නොඑලවන ලෙසය. එකල වැදගත් යයි සම්මත පුද්ගලයකුට වේදිකාව කොහෙත්ම සුදුසු තැනක් නොවේය කියා බෙන්ජමින් මාස්ටර් තමාට කියූ බව බී. ඒ. ඩබ්ලිව්. ප්‍රකාශයක් කර සිටී. (‘සිළුමිණ’ 1954 මැයි 19).

ඒ මොහොතේදී බී. ඒ. ඩබ්ලිව්. දී ඇත්තේ මෙබඳු පිළිතුරකි.

‘වේදිකාව රස්තියාදුකාරයන් වැනි මිනිසුන්ට අයිතිවීමට ඉඩ හැර දීම නාට්‍ය කලාවට කරන නිගාවක් පමණක් නොව ඉන් අපේ නාට්‍ය කලාව සම්පූර්ණයෙන්ම නැති වී යන්නට ද ඉඩ තිබෙනවා’ (ඉහත ලිපිය).

බී. ඒ. ඩබ්ලිව්. වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණයට අවතීර්ණ වූයේ එවන් පසුගාමී තත්ත්වයක් මත බව අවධාරණය කිරීම අවශ්‍යය. එය ඔහුගේ ගෞරවය පිණිසම වෙයි.

බී. ඒ. ඩබ්ලිව්. එකල පැවති ප්‍රේක්ෂක රුචිකත්වයට අනුකූලව චිත්‍රපට අධ්‍යක්ෂණය කළා මිස ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මෙන් ඒ රුචිකත්වය ඔසවා තැබීමේ අභියෝගය භාර නොගත්තේය. පැය 2 1/2 කට සීමා වූ ‘මතභේදය’ චිත්‍රපටය නැරඹූ එක් ප්‍රේක්ෂකයකු නෝක්කාඩු සිතින් කළ ප්‍රකාශයක් බී. ඒ. ඩබ්ලිව්. අවධාරණය කර ඇත්තේ මෙසේය.

‘මොන කෙහෙම්මලක් ද? අඩියක් ගහලා ගිහින් ඉඳගත්තම වෙරි හිදෙන්න ඉස්සෙල්ලා පික්චර් එක ඉවරයිනේ.’

චිත්‍රපට නිපදවන්නේ මෙන්න මොවුන්ට ද කියා ද බී. ඒ. ඩබ්ලිව්. තවදුරටත් කියා සිටී. (දිනමිණ 1961 ජූනි 19).

කෙසේ වෙතත් මුල්ම සිංහල චිත්‍රපටයේ කතා රචකයා හා ප්‍රධාන නළුවා වශයෙනුත් පසුව තිර කතා රචකයකු හා අධ්‍යක්ෂවරයකු වශයෙන්ද බී. ඒ. ඩබ්ලිව්. සිංහල සිනමා කර්මාන්තයක් ගොඩ නැගීමෙහිලා දැක් වූ දායකත්වය සිංහල සිනමාවට 65 වසරක් සපිරෙන මේ ඓතිහාසික අවස්ථාවේ අපේ බුහුමනට පාත්‍ර විය යුතුය.

සුනිල් මිහිඳුකුල

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    චිත්‍රපට

    මතු දිනෙක

    රංග කලාව