රණබිම මරණය මිහිරියි කියලා පුරන් අප්පු සටනට වැඳුනා වීර පුරන් අප්පු

ඒ මෙරට බ්‍රිතාන්‍යයන්ට යටත්ව පැවැති අවධියයි. අග නගරයට නුදුරු මොරටුව ප්‍රදේශයේ උයන ග්‍රාමයේ විසූ සන්නද්ධ වීර බල ජයසූරිය කුරු උතුම්පාල අර්ථදේව ගුණරත්න පටබැඳිගේ කැලිස්තෝරු ප්‍රනාන්දු හා වර්ණමාන්න දිසානායක සපරමාදු නානායක්කාර ලක්ෂපති මහ විදානලාගේ හෙලේනා හාමිනේ යුවළට දාව 1812 නොවැම්බර් 07 දා පුතකු ඉපදිණි. වීර හැන්නදිගේ ෆ‍්‍රැන්සිස්කු ප්‍රනාන්දු යන නම දරුවාට තැබිණි.

කුඩා කල පටන්ම නිර්භීතභාවය පෙන් වූ මේ දරුවා යෞවනයට එළඹෙද්දී දුටුවේ සුද්දන්ගේ අන්තේවාසිකයන් සේ කටයුතු කළ ගම්පතිවරුන් අහිංසක ගැමියන් තලමින් පෙළමින් ගම්මානවල රජවරුන් ලෙස වැජඹෙන බවය. මේ තත්ත්වය නොඉවසූ ෆ‍්‍රැන්සිස්කු තරුණයා සිය ග්‍රාමයේ ගම්පතියාට දෙවරක්ම පහර දුන්නේය. ගම්මුලාදෑනියාගේ පලිගැනීම්වලින් බේරී ගනු පිණිස මොරටුව ප්‍රදේශයෙන් පලා ගිය ඔහු රත්නපුර, මහනුවර, බදුල්ල, වැනි පළාත්වල විවිධ ව්‍යාපාර කටයුතුවල නියැළුණේය. ඒ අතරතුර ඔහු විදේශීය ඌරුවක් සහිත ෆ‍්‍රැන්සිස්කු යන නම අතැර පුරන් අප්පු යන නම භාවිත කිරීම ඇරඹුවේය.

අයුක්තියට, අසාධාරණයට එරෙහිව නැඟී සිටින්නට ඔහුට තමන් වෙසෙන ප්‍රදේශය බලපෑවේ නැත. එහෙයින්ම ඔහු ගිය ගිය තැන සුදු පාලකයන් සමඟ ආරවුල් ඇති කර ගත්තේය. ඩෝසන් නමැති පොලිස් මහේස්ත්‍රාත්වරයාගෙන් වරක් දුප්පතකු වෙනුවෙන් පුරන් අප්පු ආයාචනා කළේය. එම ආයාචනය ප්‍රතික්ෂේප කෙරිණි.

ඊට පළිගනු පිණිස ඔහු ඩෝසන් නමැති සුදු ජාතිකයාගේ නිවෙස කොල්ල කෑවේය. අත් අඩංගුවට පත් පුරන් අප්පුට සිර දඬුවම් නියම වුණත් ඔහු හිරෙන් පැන ගියේ තවත් සිරකරුවන් කිහිප දෙනකු සමඟිනි. යළි අත් අඩංගුවට පත් වුව ද ඔහු එවර ද බන්ධනාගාරයෙන් පැන ගියේය. ඉංග්‍රීසි ආණ්ඩුව මඟින් පුරන් අප්පු රාජ ද්‍රෝහියකු ලෙස නම් කළේ එවිටය.

එසේ නම් කිරීම පුරන් අප්පුගේ ජීවිතයේ නව පරිච්ඡේදයක් පෙරළීමක් ද වූයේය. නීති විරෝධීන් කණ්ඩායමක් සමඟ එක් වූ ඔහු කණ්ඩායමේ නායකත්වයට පත්ව වතු හිමි සුදු ජාතිකයන්ට, සුදු ජාතික සෙබළුන්ට හා ඌව ප්‍රදේශයේ සුදු නිලධාරීන්ට එරෙහිව විවිධ ක්‍රියාවන්හි නිරත වූයේය. ක්‍රමයෙන් පුරන් අප්පු යන නාමය පීඩිත සිංහල ජනතාව අතර ප්‍රකට වූයේය. ජනතාව ඔහුට වීරයකුට මෙන් සැලකුම් කළේය.

බ්‍රිතාන්‍යයන්ගේ යකඩ සපත්තුවට පෑගී සිටි දේශීය ජනතාවට විමුක්තිය ලැබිය හැක්කේ ඔවුන් මෙරටින් පළවා හැරීමෙන් පමණක් බව අවබෝධ කර ගත් පුරන් අප්පු 1845 වසරේදී මහියංගන හා මුතියංගන විහාරයන්හි ස්වාමීන් වහන්සේලා බැහැ දැක නිදහස් අරගලයට උන් වහන්සේලාගේ ආශිර්වාද ලබා ගත්තේය.

මේ වන විට පුරන් අප්පුගේ ජීවිතයට ආදරයේ සුවඳ ද ඇතුළු වී තිබිණි. හාරිස්පත්තුවේ බණ්ඩාර මැණිකේ ඔහුගේ හදවත දිනා ගත් තැනැත්තිය වූවාය. ඇය හා විවාහ වූ ඔහු දියණියකගේ පියකු වූවාය.

සමකාලීනව ලංකාවෙන් අපනයනය කළ ප්‍රධාන ද්‍රව්‍යය වූයේ කෝපිය. ලෝක වෙළෙඳ පොළේ කෝපි මිල ශීඝ්‍රයෙන් අඩු වී ගෙන යද්දී මෙරට ආර්ථිකය ද කඩා වැටෙන්නට වූයේය.

1847 දී මෙරට ආණ්ඩුකාර පදවියට පත් ටොරිංටන් සාමිවරයා 1848 දී මෙරට ආණ්ඩුවේ භාණ්ඩාගාරය පුරවා ගනු පිණිස ජනතාව වෙත අලුත් බදු හතක් පැටවීමට නියෝග කළේය.

බලු බද්ද, ඉස්තෝප්පු බද්ද, ඔරු බද්ද, කරත්ත බද්ද, කඩ බද්ද, තුවක්කු බද්ද හා ඇඟ බද්ද අලුතෙන් පැන වූ බදු වූයේය.

ඇඟ බද්ද ජනතාවට වඩාත් හානිකර බද්ද වූයේය. සිලිං තුනක් වසරකට ආණ්ඩුවට නොගෙවන අය වසරකට දින හයක් මාවත්වල බර වැඩ කළ යුතු විය. ස්වාමීන් වහන්සේලාට පවා එම බද්දෙන් නිදහස් විය නොහැකි වූයේය.

අලුත් බදු බර නිසා ජනතාව අතර ඇති වූයේ නොසන්සුන් බවකි. එම ජනතාවගේ නායකත්වය පුරන් අප්පුට පිරිනැමිණි.

1848 ජූලි මාසයේ දේශප්‍රේමීහු රංගිරි දඹුලු විහාරයට එක් වූහ. සෙත් පිරිත් සජ්ජායනයකින් පසු කුඩාපොළ ස්වාමීන් වහන්සේ විසින් පුරන් අප්පුට ‘වලිසිංහ රජු’ යන පටබැඳි නමින් සේනා නායකත්වය පැවරුවේය.

අදිකාරම් තනතුර රත්වත්තේ බණ්ඩාට හිමි වූ අතර පෑලියගොඩ ඩේවිඩ් හෙවත් ගොන්ගාලේ ගොඩ බණ්ඩා ප්‍රධාන තිදෙනකුට යුව රජ තනතුරු පැවරිණි. විවිධ පළාත්වල සේනා සංවිධානය ඔවුනට භාර වූ රාජකාරිය විය.

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය අවසන් වග ප්‍රකාශයට පත් කළ පුරන් අප්පු හෙවත් වලිසිංහ රජු සේනා පිරිවරාගෙන පැමිණ 1848 ජූලි 28 දා මාතලේ මැක්ඩොවල් බලකොටුවට ප්‍රහාර එල්ල කොට ජය ලැබුවේය. ජයග්‍රහණයෙන් උදම් වූ සිංහල ජනතාව පුරන් අප්පු කන්ද උඩරට රජු ලෙස පිළි ගත්තේය.

එහෙත් සිංහල සේනාව නුපුහුණු සෙබළුන්ගෙන් සැදුම් ලත්, හොඳ ආයුධ රහිත එකක් වූයේය. එමෙන්ම යුව රජවරු ද සංවිධාන ශක්තිය සහිත අය නොවූහ.

යළි සංවිධානය වූ ඉංග්‍රිසි හා මැලේ ජාතික භටයෝ මාතලේ මහනුවර මාර්ගයේදී පුරන් අප්පු ඇතුළු පිරිසට ප්‍රහාර එල්ල කළහ. පුරන් අප්පු සිරභාරයට ගෙන මහනුවරට ගෙනැවිත් යුද්ධාධිකරණයට ඉදිරිපත් කෙරිණි. 1848 අගෝස්තු 8 දා නඩු විභාගය ඇරඹුණේ වික්ටෝරියා රැජනට එරෙහිව කැරලි ගැසීම හා යුද කිරීම යන චෝදනා යටතේය.

පුරන් අප්පු අභීතව එම චෝදනා පිළිගත්තේය. ඒ අනුව එදිනම පස්වරු 2 ට බෝගම්බර වැව් ඉවුරේදී පුරන් අප්පුට වෙඩි තබා මරා දැමීමට නියම කෙරිණි. දොළොස් දෙනකුගෙන් යුත් ඉංග්‍රීසි සෙබළ මුලක් පුරන් අප්පුට වෙඩි තැබූහ.

එම වීර පුරුෂයාගේ අවසන් වදන් වූයේ ‘මං වගේ වීරයන් හය දෙනෙක් සිටියා නම් මේ පර සුද්දන් ලංකාවෙන් එළවා දමනවාමයි’ යන්නයි.

වසර 65 සපිරෙන හෙළ සිනමාවේ එතෙක් මෙතෙක් බිහි වූ සිංහල චිත්‍රපට නාමාවලියේ ‘වීර පුරන් අප්පු’ නාමය ද සටහන්ව තිබේ.

එම වීර පුරුෂයාගේ චරිතය ඇසුරෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නිර්මාණය කළ ‘වීර පුරන් අප්පු’ සිනමා පටය 1978 අගෝස්තු 8 දා තිරගත විය.

පුරන් අප්පු ඝාතනයෙන් වසර 130 ක් පිරුණේ එදිනය. එවකට පැවැති චිත්‍රපට පෝළිමෙන් ඉවත් කර වෙනම සිනමා මණ්ඩලයක් (පස්වැනි මණ්ඩලය) පිහිටුවා මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම එකල මහත් විවාදයට තුඩු දුන්නක් වූයේය.

හිටපු ඇමැතිවරයකු වු ටිරෝන් ප්‍රනාන්දු නිෂ්පාදනය කළ මෙම චිත්‍රපටයේ පුරන් අප්පු ලෙස රවීන්ද්‍ර රන්දෙණිය ද, කුඩාපොළ හිමි ලෙස තිස්ස අබේසේකර, රඟපෑහ. මාලිනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ශ්‍රියාණි අමරසේන, ධර්මසිරි බණ්ඩාරනායක, රොබින් ප්‍රනාන්දු, ජාන් පියර් ඕටාන්, සෝමසිිරි දෙහිපිටිය වැනි නළු නිළියන් රැසක් රඟපෑ මෙය කළු - සුදු පුළුල් තිර සිනමා නිර්මාණයක් වූයේය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    චිත්‍රපට

    මතු දිනෙක

    රංග කලාව