වර්ෂ 2018 ක්වූ  ජූලි 05 වැනිදා බ්‍රහස්පතින්දා




අඩල දොඩලා වැඩක් නැහැ සුදු නෝනේ

අඩල දොඩලා වැඩක් නැහැ සුදු නෝනේ

මෙතෙක් සිදු වූයේ මෙහෙමයි

නිළියක් වීමේ අභිලාෂය ඇතිව රඟපෑමට වරම් සොයන බිනරි ගේ හිතවතා වූයේ විනෝද්ය.ඉහළ බලාපොරොත්තු ඇතිව නාට්‍යයක් නිර්මාණය කරන්නට යන විනෝද් ගේ සිහින බොඳ වනුයේ නොකළ වරදකට පොලිස් අත් අඩංගුවට පත්වීම සමගය.එයින් පසු ඔහු කොළඹ අතහැර යයි.බිනරි මනෝජ් නම් තරුණයකු හා විවාහ ව ඉතාලියට යයි.පස් වසරකට පසු ඇය ආපසු එන්නේ කටුක විවාහ දිවියක අත්දැකීම් එක්කය.ඒ වන විට කොළඹ පිටකොටුවේ සුළු ව්‍යාපාරිකයකුව සිටි පියා එය අතහැර අනුරාධපුරයට ගොස් සිටින්නේ නව ව්‍යාපාරයක් අරඹමිනි.බිනරි අම්මා සමග අනුරාධපුරයට යන්නේ තාත්තා සොයා ගෙනය. ඒ වන විට පියා වෙනත් ගැහැනියක හා ජීවත් වන බව ඔවුන් සොයාගනියි. බිනරි තනිවම ජීවිතයට මුහුණ දෙන්නට සිතාගෙන කොළඹ එන්නේය. පිටකොටුවේ සාප්පුව තම අතට ගන්නට සිතන බිනරි නිවස අලුත්වැඩියාවට ඩික්සන් නම් තරුණයකුට පවරයි. අනතුරුව ඩික්සන් එම නිවසේම පදිංචි වෙයි. බිනරිගේ පැරැණි මිතුරෙකු වූ දර්ශන චිත්‍රපටයක් නිපදවීම ඩික්සන් පොලොඹවා ගැනීමට උත්සහා කරයි. එහි දුෂ්ටයා වනුයේ ඩික්සන්ය. නිෂ්පාදිකාව බිනරි. චිත්‍රපටය නිපදවා මුදල් හිඟවන බිනරිට උපකාර කරන්නේ විනෝද්ය. මේ අතර විනෝද් කිසිවකු විසින් මරාදමන ලද සැලවෙයි.

අද එතැන් සිට...

‘මයේ පුතා මෙහෙම මැරෙන්ඩ හිටපු ළමයෙක් නෙමේ.ඒක කාගේත් අවාසනාව.ඒ එයා ලබා උපන් හැටි

විනෝද් ගේ තාත්තා කතා කළේ හිතේ සඟවා සිටි සියලු දුක්ඛ දෝමනස්සයන් මුදා හරින්නට මෙන්ය. බිනරි ඔහු ළඟින් වාඩි වූයේ ය. විනෝද්ගේ තාත්තා හිකුවාට වඩා වයස් ගතව ඇත්තේය.නහර වැල් ඉලිප්පි පෙනෙන ඔහුගේ සිරුර බෙහෙවින් දුක් වළදා ඇති වගක් පෙනිණ.තම අත අල්ලා ගත් මහළු මිනිසාගේ සිත උපන් කදුළු ඇයගේ රුහිරු ගත නහර දිගේ සක්මන් කරනු ඇතැයි ඇයට දැනිණ.මේ අකල් මරණය කලකට ඉහත වලක්වා ගන්නට ඉඩ තිබිණ.බිනරිට මුල් වරට සිතිණ.

මම මේ ළමයා හින්දා පසුගිය කාලේ නොමැරී මැරුණා.මං ළමයෙක් හැදුවේ මෙහෙම අකාලේ මැරෙන්ඩ නෙවේ.

ඔහුගේ සිතේ ඇති බොහෝදේ කියන්නට කිසිවක් නොසිටි වගක් බිනරි හැඟිණ.එහෙත් එයට ඇහුම් කන්දෙන්නට වුවමනාවක් ඇයට නොවිණ.

ඒ වන තෙක් සගවා ගත් බොහෝ කරුනු අනාවරණය වන්නට පටන් ගත්තේ විනෝද් ගේ මරණය සමගය.ඔහුගේ යස ඉසුරු එකරැයින් පහළවූ කාරණා නොවීය.වේදිකාවේ යා යුතු ගමන හමාර කොට කොළඹින් සමුගත් විනෝද්ගේ ජීවිතයට තිබුණේ වැටුණු වල කටින් හෝ ගොඩ ආ යුතු යන න්‍යායකි.එයට වඩාත් උපකාර කළේ ටික දවසකට හෝ ලැගුම් ගත් හිර ගෙදර දී දැන හදුනා ගත් මිතුරෙකි.කාත් කවුරුවත් නොදන්න ඇඹිලිපිටියට විනෝද් කදවා ගෙන යන්නේ ඔහුය.ඔහුගේ ජිවිතය වෙනස් වෙයි.ඔහු ඇඹිලිපිටියට ගෙන ගිය සගයා ඉක්මන් මරණයට පත් වන්නේය.්‍විනෝද් හඹා ගිය ජීවිතය මරණය සමග නිරන්තරයෙන් ගනුදෙනු කළේය.එහි මරණය ට මිළක් තිබිණ.බලාපොරොත්තු වූ පරිදි විනෝද් ගේ නාට්‍ය වේදිකා ගත වූවා නම් සමහරවිට ඔහුගේ ඉරණම වෙනස් වන්නට ඉඩ තිබිණ.ඔහුට මුදල් දෙන්නම කියා රස්තියාදු කළ මහතුන් ගේ ඉරණම අන්තිමට මහ මගට සින්න විය.

විනෝද් ගේමරණය අතරතුර දර්ශන අහම්බෙන් මුණ ගැසිණ.ඔහු තමා මග හැර යන්නට තැත් කරන වගක් බිනරිට සිතිණ.

‘දර්ශන’

‘බිනරි මං දැක්කේ නෑ’

ඔහු බොරුවක් කියන්නට උත්සාහ කළේය.

‘දැන් ඉතින් දකින්නේ නෑනේ’

බිනරි ආඩපාලියක ස්වරූපයෙන් පැවසුවාය.ඔහු එතැන මග හරින්නට තැත් කළේය.

‘කොහොමද අපේ ෆිල්ම් එකේ වැඩ ඉවර කරනවද ?’

ඇය කෙළින්ම ඇසුවාය.

ඔහු එයට උත්තර දෙන්නට ප්‍රථම ඇයම යළිත් කතා කළාය.

‘අන්තමට වුනේ මම රටට ණය කාරයෙක් වෙන එක විතරයි.බැරි වැඩ නොකර හිටියා නම් ඉවරයි නේ දර්ශන.අන්තිමට මගේ රත්තරන් බඩුත් බැංකුවට සින්න වෙන්ඩයි යන්නේ’

විනෝද සිටියා නම් ඒ වන විට ඔහු උදව් කරනු ඇත.ඇයට සිතිණ.විනෝද් ගේ ඉහ අද්දර දැල්වෙන පහනට කිසිවක් විසින් තෙල් වත් කරන්නේය.

‘අපි ෆිල්ම් එකේ වැඩ පටන් ගනිමු.බිනරි මම ඔයාව අමාරුවේ දානවා නෙවේ.මේ ෆිල්ම් එක අතරමග නතර වුණ එක මට වුනත් හොඳ නෑ.මේ හිටි ගමන් බැංකුව සල්ලි දෙන්ඩ බෑ කිව්වානේ’

දර්ශන බිනරි අසලින් වාඩිවුණේ දැන්ය.

‘අපි තියන විධියට පටන් ගනිමු.’

ඩික්සන් දර්ශන ට සමීපයේය.

‘දර්ශන මහත්තයා මේ වැඩේ දැන් මොනව හරි කරලා අපේ වියදම් හරි බේරා ගන්ඩ ඕනෑ’

ඩික්සන් පැවසුවේය.

‘මම ලබන සතියේ ගෙදර එන්නම්’

දර්ශන පැවසුවේය.කවුදෝ කෙනෙකු පැමින දර්ශනට කතා කළේය

‘මචං.කනත්තට යන්ඩ තියෙනවා.’

එතැනින් ගැලවෙන්නට දර්ශනට මග පෑදිණ.ඔහු තමා කැදවූ හිතවතාට හිතින් පින් දුන්නේය.

‘බය වෙන්ඩ එපා සුදු නෝනේ.මං ඌව අල්ල ගන්නම්’

ඩික්සන් පැවසුවේ බිනරිගේ සිතැගි තේරුම් ගෙන ඇය අස්වසාලන්නටය.

බිනරි වට පිට බැලුවේ දන්නා හදුනන වෙනත් කිසිවකු හෝ රැදි ඇත්දැයි බලන්නටය. විනෝද් සහ බිනරි දුව පන ගිය නගරය දැන් වෙනස්ය.ගෙවල් පෙලේ සිටි බොහොමයක් සිය ඉඩකඩම් විකුණා දමා වෙනත් පලාත්වලට පදිංචියට ගොසිනි. ඉද හිට හෝ කොළඹ දී හමුවන පැරැන්නෙක් ඉඩකඩම් විකිණිම ගැන විස්සෝප වෙති..තවමත් බොරැල්ලේ රැදෙන්නේ තමා වැනි කිහිප දෙනෙක් පමණක් යැයි බිනරිට සිතිණ.විනෝද්ගේ අවසන් කටයුතු කෙරෙන දිනයේ කිසිවක් හෝ හමුවෙතැයි බිනරි බලාපොරාත්තු වූවාය.බොහෝ දෙනා විනෝද් ගේ මරණය නොතකා ඉන්නට තැත් කරන වග සහතිකය.ඔහු මිය යනුයේ පාතාල ගැටුමක හැටියටය.

තවත් දවසකින් දෙකකින් ඩික්සන් අලුත් වැඩක් සොයා ගියේය.හැන්දෑවේ ඔහු ගෙදර ආවේ සති අන්තයේ පත්තරයක් අරගෙනය.ඔහු කතාවක් නැතිව බිනරිගේ අතට පත්තරය දුන්නේය.පුවත්පත පෙරළන්නට යැයි නොකිව්වද පුවත්පත අතට දුන් සැටියේම එහි විශේෂත්වයක් ඇතැයි ඇයට හැඟිණ. එහි එක් පිටුවක්ම වෙන් කර තිබුණේ විනෝද් නම් පාතාල නායකයාගේ මරණය පිළිබදවය.වේදිකාවෙන් පාතාලයට ගිය රතු විනෝද් පුවත්පත වාර්තා කර තිබිණ.ඔහුට රතු විනෝද් යැයි නම් කරන්නට ඇත්තේ ලිපිය ලියූ තැනැත්තා විසින්යැයි ඇයට හැඟුණ ද එහි තිබුණ බොහෝ කරුණු නිසා එය එසේ නොවන්නට ඇතැයි ඇයට සිතිණ.ලිපිය ලියා තිබුණේ විනෝද් අපරාධකරුවක් ලෙස හුවා දැක්මට නොව ඔහු අපරාධකරුවකු වූයේ කෙසේදැයි හඟවන්නටය.ඒ බොහෝ කරුණු කෙසේ සොයා ගන්නට ඇතිද යන ගැටලුව බිනරිට ඇතිවිණ.

එහි මාධ්‍ය වේදියා විනෝද් කලකට ඉහත නාට්‍යයක් කරන්නට ගිය පුවත හොඳින් විස්තර කර තිබිණ.එමෙන්ම එයට වඩා පුදුමය නම් විනෝද් ලිපියේ හැටියට තමා ජීවත් ව සිටි පලාතේ ඇතැම් කලා කටයුතු වලට අත දිග හැර උපකාර කළේය යන පුවතය.

එය දැක ගත් බිනරි සුසුමක් හෙළුවාය.රිමාන්ඩ් සිර ගෙදර සිට පැමිණි විනෝද් තම නිවස කරා පැමිනි අයුරුත් අම්මා තම් නිවසේ නැති වග කියා සිටි අයුරුත් එයින් පසු බලාපොරොත්තු බිද ගත් ඔහු ආපසු ගිය අයුරුත් බිනරි ට මැවි පෙනිණ.ඇය තදින් හුස්ම ගත්තේ සිතට නැඟුණ වරදකාරි හැඟිමෙන් මිදෙන්නටය.එදා යළි විනෝද් හමුවුණා නම් තමාගේ ඉරණම ද විනෝද් ගේ ඉරණම ද වෙනස් වන්නට ඉඩ තිබිනියැයි බිනරිට සිතිණ.ඇය ලිපියේ ඉතිරි පෙළ කියවා ගෙන ගියේ ආයාසයෙන් තොරවය.ලිපියේ ආලවට්ටම් සදහා ලියුම්කරු අතින් දමා යමක් ලියන්නට ඇතැයි බිනරිට සිතුනේ නැත.ලිපිය කියැවූ බිනරි පත්තරය එතැනම දමා කාමරයට වැද ඇඳෙහි මුහුණ හොවා අඩන්නට පටන් ගත්තාය.ඩික්සන් බිනරි අඬනු දෙස බලා සිටියේය.

‘අඩල දොඩල වැඩක් නෑ සුදු නෝනේ’

බිනරි ඉකි ගසන අයුරු පෙනෙන්නට තිබිණ. බිනරි ගේ ඉකිය නතරවුටන් හෙමිහිටය. ඇය අනතුරුව උන් තැනින් නැගිට ගත්තාය.ඇය නාන කාමරයට වැද මුහුණ සෝදනු ඩික්සන්ට පෙනිණ.

‘හැමදාම අඩල බෑ තමයි ඩික්සන්’