වර්ෂ 2018 ක්වූ  මැයි 31 වැනිදා බ්‍රහස්පතින්දා




මිනිසුන්ගේ හිතේ රැඳුණොත් ඒ මට ඇති

මිනිසුන්ගේ හිතේ රැඳුණොත් ඒ මට ඇති

කළිඳු කරුණාරත්න

දෙරණ නාළිකාව වෘත්තීමය නවාතැන කරගත් තවත් ප්‍රවෘත්ති නිවේදකයකු අපට හමු වුණා. ඔහු කළිඳු කරුණාරත්න.

* කළිඳු, මම ඔබෙන් පළමුව අහන්නේ සාම්ප්‍රදායික ප්‍රශ්නය. ඒ කොහොමද ඔබ මාධ්‍ය ජීවිතයේ ආරම්භය සිදු වුණේ කියන එක?

දෙරණ තමයි මගේ පළමු මාධ්‍ය ආයතනය. මේ වන විට මං මෙහෙට ඇවිත් වසර හතරක් වෙනවා. ආනන්දේ මගේ ඉස්කෝලේ. විදුහල්පතිතුමාගේ මාර්ගයෙනුයි මට දෙරණට එන්න පාර කැපුණේ.

* ඔහු ඔබව දෙරණට එව්වේ ඇයි?

පාසලේ මං ඉතාම ජනප්‍රියයි නිවේදකයකු හැටියට. පාසලේ ආරම්භ කළ පාසල් ප්‍රවෘත්ති විකාශනයේ මං නිත්‍ය නිවේදකයකු හැටියට කටයුතු කළා. ඉන්පසුව පාසලේම උත්සවවලදි මට නිවේදකයකු විදිහට අවස්ථාව පෙන්වන්න නිතැතින්ම එමඟින් පෑදුණා. ඒ නිසා විදුහල්පතිතුමා දැනගෙන හිටියා මගේ අනාගතය රැඳිලා තියෙන්නේ මේ ක්ෂේත්‍රය මත කියලා. එහෙයින් මාව ඔහු දෙරණට එකතු කළා.

* එකල ඔබ ප්‍රිය කළ ප්‍රවෘත්ති නිවේදකයෝ කවුද ඉන්නේ?

නිවේදකයන්ට වඩා මා නිවේදිකාවන් දෙදෙනකුට ප්‍රිය කළා. ඒ වසන්ති නානායක්කාර සහ දිල්කා සමන්මලී. ඔවුන් දෙදෙනා ප්‍රවෘත්ති ඉදිරිපත් කළ ආකාරය මා සිත් ගත්තා.

* අද ඔවුන් සමඟ එකම ආයතනයේ සේවය කරනවා?

ඔව්. ඒක දෛවෝපගත සිදුවීමක්.

* මේ වන විට ඔබ ප්‍රධාන ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නෙක්. ඊට පෙර ආධුනික යුගයේදී ඔබ අතින් සිදු වූ ලොකු අකරතැබ්බය මොකක්ද?

ප්‍රවෘත්ති නිවේදකයකුට තියෙනවා ටෙලි ප්‍රොමිටර් එකක්. මුල් යුගයේදී මට ඒක හරියට නුහුරු වුණා. සමහර විට මම කියවද්දී ටෙලි ප්‍රොමිටර් එක කලින් යනවා. ඒකෙනෙ වචන සේරම පෙන්නලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවට සිත චංචලකර ගන්නේ නැතුව කොලේ බලාගෙන ප්‍රවෘත්ති කිව්වා. ටෙලි ප්‍රොමිටරය කන්ට්‍රෝල් කරන්න තියෙන්නේ කකුලෙන්. ඒක දැන් හුරුයි.

* ප්‍රවෘත්ති නිවේදකයකු වැඩ කරද්දී හිත් රිදීම් ඇති වුණාම මොකද කරන්නේ?

මේ ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි ඕනෑම ක්ෂේත්‍රයක වැඩ කරගෙන යද්දී හිත් රිදීම් වෙනවා. මටත් අනන්තවත් හිත්රිදීම් වෙලා ඇති. සමහර වෙලාවල්වලදී මං ආවේගශීලී වුණා. නමුත් කාලයක් සමඟ මට දැන් හිතෙනවා එහෙම වෙලා ප්‍රශ්න විසඳගන්න බැහැ කියලා. දැන් ගැටළු ආවාම බුද්්ධියන් විසඳනවා කලබල වෙන්නේ නැහැ.

* ප්‍රවෘත්ති නිවේදනයට අමතරව ඔබ වෙනත් වැඩ සටහන්වල නිවේදන කටයුතු කරනවාද?

ඔව්. මම පොහොය වැඩසටහන් කළා. ඒ කාර්යයෙනුත් මං තෘප්තිමත්. කාලීන වැඩ සටහනකුත් කරන්න අදහසක් තියෙනවා. මොන දේ කළත් මට වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ ප්‍රවෘත්ති නිවේදනයට තමයි.

* මොකක්ද ඔබේ වෘත්තීය ජීවිතයේ අරමුණ?

ප්‍රවෘත්ති නිවේදනයට අමතරව මං ප්‍රවෘත්ති අංශයේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයෙක්. මේ දෙඅංශයෙන්ම ඉදිරියට යාමයි එකම අරමුණ. තනතුරු පදවි නම්බු නාමවලට වඩා වැඩියෙන් මං ආස කරන්නේ මිනිසුන්ගේ හිත් රැඳෙන දෙයක් කරන අයකු වෙන්න. ඒක ප්‍රවෘත්ති නිවේදනයෙන් වෙන්නත් පුළුවන්, ප්‍රවෘත්ති නිෂ්පාදන පැත්තෙන් වෙන්නත් පුළුවන්.

* ඔබ මෙතෙක් ලද හොඳම අගය කිරීම මොකක්ද?

මගේ වෘත්තීමය වැඩ කටයුතු හොඳින් කරගෙන ගිය නිසා මට අප නාලිකාවෙන්ම සම්මානයක් ලැබුණා. ඒක ලැබුණු දින මා ගොඩක් සතුටු වුණා. ආයතනික වශයෙන් එහෙම දිරිමත් කිරීමක් වෙන එක කොච්චර හොඳයිද.

* ඔබේ පදිංචිය සඳහන් කළොත්?

මං ගල්කිස්සේ.

* පවුලේ විස්තර මොනවද?

අම්මයි තාත්තයි මල්ලියි

* කළිඳු තවම තනිකඩයි?

ඔව්. මේ දිනවල ජීවිතේ ප්‍රවෘත්තිත් එක්ක තමයි ගෙවුණේ. වෙනසක් වන දිනයක් නම් තවම නැහැ.