වර්ෂ 2018 ක්වූ  මැයි 31 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ රූප රාමුවේ අගය

ඒ රූප රාමුවේ අගය

මෙරට සිනමා නිර්මාණකරණයට හොඳ සුසංයෝගයක් තිබිය යුතුය. එය සිනමාවට නොපිරිහෙළා ඉටු කරන තිදෙනකු පසුගිය දින මගේ කාච නෙත රැන්දූයේය. චන්න දේශප්‍රිය අපට ඉන්න දක්ෂ කැමරා අධ්‍යක්ෂවරයෙකි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම සිනමා නිර්මාණය වන 'යශෝධරා හෙවත් බිම්බා දේවිය' කැමරාව මෙහෙය වූයේ චන්න. ඒ නිසාම චන්නටත් මහාචාර්ය සුනිල් ආරියරත්නටත්, නිෂ්පාදක එච්. ඩී. ප්‍රේමසිරියන්ටත් කතා කරන්න බොහෝ දේ නැතුවා නොවේය. ඒත් මේ කතාබහ කරන්නේ බිම්බා දේවිගෙන් පසු නිර්මාණය වන විජයබා කොල්ලය ගැන ද? නැත්නම් සිනමාපටයේ ආදායම් වාර්තා ගැනද?

හිතුවද මං දාලා යයි කියා

සුනිල් ටී. ප්‍රනාන්දු සිනමා කර්මාන්තයේ සිටින ප්‍රධානතම චිත්‍රපට නිෂ්පාදකයෙකි. චිත්‍රපටි 70ක් විතර හැදුවට පස්සේ ඔහු සිනමාවෙන් සමුගන්නා කතාවක් කියවුණා. මේ තරු වටකරගෙන සඳ වගේ ඉන්න සුනිල් සිනමාව අතහරී කියලා නිකමටවත් හිතනවද

අලුත්ම අන්දරේ

පසුගිය දින සිනමාපට හතු පිපෙනවා මෙන් තිරගත විණි. දින සියයක් තුළ චිත්‍රපට දහයක් දොළහක් ඒ අතර විය. මේ අතර පුංචි අන්දරේ කෙනකු ද කරළියට එන්නට විය. එය බලන්න ආ සුරංග ද අල්විස් හා දුලානි අනුරාධා, අයේෂ්මන්ත හෙට්ටිආරච්චි තවත් අන්දරේකුට මැදි වුණා. අද කාලේ කථා කියන ඩොනල්ඩ් ජයන්තටයි. ඩොනල්ඩ් ජයන්තගේ කථා ටික ඇහුවා නම් අන්දරේ පරාදයි කියලා මොවුන් තිදෙනා කොක් හඬලා සිනාසෙන්නට විය.

විනිශ්චයක මහිම

සම්මානනීය මහාචාර්ය කුසුමා කරුණාරත්න, සරත් කෝන්ගහගේ මහතා සමීපතම හිතවතුන්ය. පසුගිය දිනෙක ඔවුන් දෙදෙනාම රටේ ප්‍රධාන පුරවැසියා සහභාගි වූ උත්සවයකට පැමිණීමට අමතක නොකළහ. ඒ කලාව වෙනුවෙන් දක්වන දායකත්වය නිසාමයි. විශ්‍රාම සුවයෙන් පසු වුවද ඇය දැනට විවිධ කලා මණ්ඩල හා විනිශ්චය මණ්ඩලවල කැපී පෙනෙන විනිසුරුවරියක් ද වේ. මේ සුහද පිළිසඳරේ යෙදෙන්නේ එවැනි විනිශ්චය මණ්ඩලයක සිදු වූ රසවත් කතාවක සුලමුල තොරතුරු දැනගැනීමට සරත් කෝන්ගහගේ මහතා ප්‍රිය කරන නිසාමයි.

එහෙත් හරි වැස්ස

කලාවේ රසමුසු තැන් කතා කරන්නට එක් රොක් වෙන සුපුරදු තැනකි සුදර්ශිය. ඒත් සංස්කෘතික කේන්ද්‍රය පසෙකලා දැන් කලාකරුවන් රැස් වන්නේ කොතනට ද කියා ඔවුන්ටත් තීරණය කිරීමට නොහැකි බවයි මේ රැස්ව සිටින පිරිස කියන්නේ. ඒත් සිනාසමින් ක්ලීටස් මෙන්ඩිස් උදේනි අල්විස්්ට, රංගනටත් රස කතාවක් කියා සිටියේය. අපේ පැත්තෙන් බෝට්ටු දෙකක් අරගෙන ස්ටේජ් එකක් ගහලා පාවෙන එක තමා හොඳ. මොකද අපි දැන් කරවටක් ගිලිලා ඉවර නිසා බවයි.

අඳුනගත්තද මන්දා

කලාවට හාස්‍ය රංගන ශිල්පියකු ලෙස එක් වූ රජිත හිරාන් හෙවත් පිංපොං නැවත වෙනස්වීමකට ලක් වූ බව පසුගිය දින දැකගන්නට ලැබිණි. ඒ ඔහුගේ සැබෑ ස්වරූපය වෙනුවට ස්ත්‍රියකවීමයි. රජිත කියා සිටින්නේ දැන් සියලු සැපසම්පත් ලැබෙනුයේ ස්ත්‍රී පාර්ශවයට නිසා ඔහුත් ඒ වෙනස්වීමට ප්‍රිය කළ බවයි. කෙසේ වෙතත් අපට සිටිය හාස්‍ය රංගන ශිල්පියකු මේ ආකාරයට වෙනස්වීම් කළ අධ්‍යක්ෂවරයා කියනුයේ ද ඔහු දිගටම මේ ජීවිතය ගත කිරීම වඩාත් උචිත බවයි.