වර්ෂ 2018 ක්වූ  මැයි 31 වැනිදා බ්‍රහස්පතින්දා




අපේ පෙනුමේ හැටියටයි අවස්ථාව ලැබෙන්නේ

අපේ පෙනුමේ හැටියටයි අවස්ථාව ලැබෙන්නේ

නදී දර්ශනී

චන්දන හේවාපතිරණගේ බද්දට සහ කුලියට නාට්‍ය ඔස්සේ නදී දර්ශනීගේ දර්ශනීය රැඟුමන් ඉකුත් දිනවලදී අපට දක්නට ලැබුණි.

ඊට අමතරව තවත් නාට්‍ය කිහිපයක ඔබ ඉන්නවා නේද නදී?

ඔව්. දෙවැනි ඉනිම සහ තව දුරයි ජීවිතේ. ඒ නාට්‍ය නම් ඉවර වුණා.

බද්දට සහ කුලියට නාට්‍යයේ ඔබේ චරිතය මොකක්ද?

මම ඒකේ සරත් කොතලාවලගේ පෙම්වතියක්. බොහොම සන්තෝසෙන් සරත් අයියත් එක්ක රඟපෑවේ.

නදී දැන් කොච්චර කල්ද රඟපාන්න ඇවිත්?

වසර අටක් විතර වෙනවා.

නිළියක් වෙන්නමද හිතාගෙන හිටියේ?

අනේ අම්මේ ඔව්. රංගනය තමයි මට තිබුණු එකම හීනය.

රඟපෑ පළමු නාට්‍ය මතක් කළොත්?

රන්ජන් ප්‍රසන්නගේ සිහින පුරය. අදින් වසර අටකට පෙරයි එහි රඟපෑවේ.

ඔබ කොළඹ කෙනෙක් නෙවෙයි නේද?

ඔව්. මගේ ගම රත්නපුර. වර්තමාන පදිංචිය නම් මහරගම. කොළඹ නොවුණු නිසාම අප වගේ අයකුට රංගනයට වරම් ලබාගැනීම ඉතාම දුෂ්කර කටයුත්තක්. මොකද කිසිදු සබඳතාවයක් නැහැනේ. එහෙත් දෛවයේ නියම වී ඇති පරිද්දෙන් මාව මෙතැන නතර කළා.

මේ වසර අට පුරාවට නිර්මාණ ගණනාවකටම ඔබ රංගන දායකත්වය සැපයුවා. කියන්න ඒ ගැන?

නාට්‍ය වශයෙන් ගත්තොත් සත්කුළු පව්ව, ආදරණීය චංචලා, කෝපි කඩේ, වස්සානේ ප්‍රේමය, උතුම් පැතුම්. චිත්‍රපට මං රඟපෑවේ කෝමාක් නෝමාක්, ප්‍රවේගය, හොරා අංකල් සහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම වගේ ඒවායේ.

ඔබ රංගනයට පිවිසුණේ විවාහ වුණායින් අනතුරුවලු. ඇත්තද ඒක?

විවාහ වෙලා විතරක් නෙවෙයි, මං අම්මා කෙනෙක් වුණායිනුත් පසුවයි රඟපාන්න ආවේ. දැන් පුතා ටිකක් ලොකුයි. මුලදී මහත්තයා වැඩිය කැමැත්තක් දැක්වූයේ නැහැ රංගනයට. පස්සෙ පස්සෙ හරි ගියා.

ඔබත් ලැබෙන ඕනෑම චරිතයක් රඟපාන නිළියක්ද?

ඒකට මට මෙහෙම පිළිතුරක් දෙන්න පුළුවන්. අපේ වගේ ක්ෂේත්‍රයට නිර්මාණ තෝරා බේරාගෙන රඟපාන්න පුළුවන්කමක් නැහැ. අපේ ස්වරූපයේ හැටියටනේ චාන්සස් ලැබෙන්නේ. ඒ නිසා අපට ලැබෙන්නේ අපට ගැළපෙන චරිත පමණයි. ඒ තත්ත්වය මත තෝරා බේරාගෙන රඟපාන්න අවශ්‍යතාවයක් නැහැනෙ. තරුණ කාන්තාවකගේ ඉඳලා ආච්චිගේ චරිතය දක්වා මං රඟපාන්න ලැහැස්තියි.

රඟපාලා ලැබෙන මුදල් ප්‍රමාණවත්ද ජීවත්වීම සඳහා?

ඇත්තෙන්ම නැහැ. මං රංගනයට අමතරව ඉසව් සම්බන්ධිකරණය කරනු ලබනවා. රංගනය සිදු කරන්නේ ආත්ම තෘප්තියට පමණයි.