වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




පාර කිව්වේ ගහේ ඉන්න කුරුල්ලෙක්’

පාර කිව්වේ ගහේ ඉන්න කුරුල්ලෙක්

මෙතෙක් සිදු වූයේ මෙහෙමයි

නිළියක් වීමේ අභිලාෂය ඇතිව රඟපෑමට වරම් සොයන බිනරි ගේ හිතවතා වූයේ විනෝද්ය.ඉහළ බලාපොරොත්තු ඇතිව නාට්‍යයක් නිර්මාණය කරන්නට යන විනෝද් ගේ සිහින බොඳ වනුයේ නොකළ වරදකට පොලිස් අත් අඩංගුවට පත්වීම සමගය.එයින් පසු ඔහු කොළඹ අතහැර යයි.බිනරි මනෝජ් නම් තරුණයකු හා විවාහ ව ඉතාලියට යයි.පස් වසරකට පසු ඇය ආපසු එන්නේ කටුක විවාහ දිවියක අත්දැකීම් එක්කය.ඒ වන විට කොළඹ පිටකොටුවේ සුළු ව්‍යාපාරිකයකුව සිටි පියා එය අතහැර අනුරාධපුරයට ගොස් සිටින්නේ නව ව්‍යාපාරයක් අරඹමිනි.බිනරි අම්මා සමග අනුරාධපුරයට යන්නේ තාත්තා සොයා ගෙනය. ඒ වන විට පියා වෙනත් ගැහැනියක හා ජීවත් වන බව ඔවුන් සොයාගනියි. බිනරි තනිවම ජීවිතයට මුහුණ දෙන්නට සිතාගෙන කොළඹ එන්නේය. පිටකොටුවේ සාප්පුව තම අතට ගන්නට සිතන බිනරි නිවස අලුත්වැඩියාවට ඩික්සන් නම් තරුණයකුට පවරයි. අනතුරුව ඩික්සන් එම නිවසේම පදිංචි වෙයි. බිනරිගේ පැරැණි මිතුරෙකු වූ දර්ශන චිත්‍රපටයක් නිපදවීම ඩික්සන් පොලොඹවා ගැනීමට උත්සහා කරයි. එහි දුෂ්ටයා වනුයේ ඩික්සන්ය. නිෂ්පාදිකාව බිනරි. චිත්‍රපටය නිපදවා මුදල් හිඟවන බිනරිට උපකාර කරන්නේ විනෝද්ය.

අද එතැන් සිට...

‘තමුසේ කොහොමද මෙහාට පංගාර්තු වුණේ’

විනෝද් ඇසුවේ පොලිස් නිළධාරියකු ප්‍රශ්ණ කරන විලාසයෙනි.ඩික්සන් කිසිත් කියන්නට ගියේ නැත.විනෝද් වාඩි වී සිටියේ කෑම මේසයේ ඇති අසුනකය.මේසය ඉතා විශාලය.එය කාමරය අසුරා ගෙන සිටියි.මේ මේසය කලකට ඉහත ද මෙතැන තියන්නට ඇත එහෙත් එය විනෝද් දකින්නේ අදය.නිවස අලුත් වැඩියා කරන ලද සළකුණු ඇතත් ටෙලිවිෂන් යන්ත්‍රය හැරුණු විට එහි ඇති පැරණි ගෘහභාණ්ඩ අවුරුදු ගණනාවක් පැරැණිය.

ඩික්සන් ගෞරව පූර්වකව සිටියේ හිටගෙනය. ඔහු අසරණ විලාසයෙන් වටපිට බැලුවේ එයින් පලා යන්න්ට ඇති ඉඩකඩක් සොයන්නටය.බිනරි කුස්සියේ කිසිවක් තෙලට දමයි.එහි සුවඳ නාස් පුඩු සිසාරා ඉහ මොළ කරා යන්නේය.වෙනදාට නම් මේ වෙලාවට බිනරි පසුපසින් ගොස් ඇය කුප්පන සුළු යමක් කරන්නට ඩික්සන් කැමැතිය.ඩික්සන් ගෙයින් එලිය බැලුවේය.විනෝද් සමග පැමිණියෙකු නිවස ඉදිරිපිට සිටගෙන සිටියි.කිසියම් හුරුපුරුදු පෙනුමක් ඇති ඔහුගේ බැල්ම වැටී ඇත්තේ තමන්ගේ ඉරියව් වෙතටය.

විනෝද් ඩික්සන් ට තමා අසල ඇති අසුනේ වාඩ වන්නට සන් කළේය.ඔහු පුටුව මත ඇද වාඩිවුණේ අකමැත්තෙන්මෙනි.තමන්ගේම නිවසේ තමන් අසරණ වූවගක් ඔහුගෙන් පළ විය.

බිනරි හා හමුව කතා කරන්නට විනෝද් කල්පනා කළේ දින කිහිපයක සිටය.විනෝද් හමුවූ දා සිට බිනරි සිටියේ ද දෙගිඩියාවකිනි.අප්‍රකාශිත ආදරයක් ඔහු කෙරෙහි තමා තුළ තිබිණ.ආදරය පිළිබද හැඟිම් ප්‍රකාශ කරන්නට සිතා සිටි හැම විටම විනෝද්ගේ ඇසුර අහිමිවෙතැයි යන බිය තමා සතුවිය.විනෝද් එකල ජීවත් වු තත්තවය ගැන තම පියා හෝ මව කිසිවිටෙකත් ඔහුට කැමැති වන්නේ නැත.එහෙත් ඔවුන් එකට නාට්‍ය බලන්නට ගියහ.චිත්‍රපට නරඹන්නට ගියහ. චිත්‍රපටයක රගපාන්නට අවස්ථාවක් ලැබෙතැ දැයි සොයන්නට ගියේ ද ඔහු සමගය. ඒ දවස්වල දිගට හරහට නාට්‍ය නැරඹූ විනෝද් නාට්‍යයක් නිර්මාණය කරන්නට ගියේය.එහි පසුපස තමා වැටී සිටියේය.

විනෝද් යළි කිසියම් දවසක තමා හමුවට එනු ඇතැයි බිනරි උනන්දුවෙන් බලා සිටියාය.ඔහු විසින් අත මිට මෙළ වූ මුදලින් චිත්‍රපටයේ ශිල්පින් කිහිප දෙනෙකුට දිය යුතු මුදල් ගෙවා හමාර කරන්නට වීම ගැන බිනරිට ඇතිවුණේ සතුටකි.එහෙත් විනෝද් තමන්ට මුදල් දුන් වග ඩික්සන්ට කියන්නට ඇය ඉක්මන් වූයේ නැත.

‘අපේ පික්චර් එකේ වැඩ කල් යනවා.’

ඔහු පසුතැවිලි වෙමින් පැවසුවේය.

‘අපි කොහොම හරි පටන් ගනිමු’.

ඇය බලාපොරොත්තු සහගතව පැවසුවාය.ඩික්සන්ගේ ඡායාරූපයක් සිකුරදා පුවත්පතක පළ ව තිබිණ.සිනමාවට අලුත් දුෂ්ටයෙක් එහි මැයට යොදා තිබිණ.ඩික්සන් එයින් උද්දාමයට පත් ව සිටියේය.

විනෝද් නිවසට පැමිණියේ එයට පසුවදාය.කිසිවක් විසින් දොරට තට්ටු කරනු ඇසී බිනරි දොර ඇරියාය.විනෝද් නිවස අසල සිටගෙන සිටියි.අලුත් මෝටර් රථයක් පාර අද්දරය.එදා සිටි සගයන් ගෙන් දෙදෙනෙකු එහි සිටියි.

‘කවුද අප්පේ පාර කිව්වේ’

බිනරි ඇසුවාය.

‘ගහක හිටපු කුරුල්ලෙක්.ඇතුළට එන්නට අවසරද ?’

ඔහු දොර අවුරා සිටි බිනරිගෙන් ඇසුවේ නළුවකු ගේ අනුකරණයෙනි.බිනරි එම ඉරියව්ව යළි අනුකරණය කළාය.

‘අවසරයි.’

ඔහු නිවසට පැමිණ වටපිට බැලුවේය.

‘යාළුවෝ ඇතුළට එන්නැද්ද’

බිනරි ඇසුවාය.

‘නෑ.ලාල් උඹ ඉන්නවනේ’

ඔහු සිය සගයා ගෙන් විතාලේය.සගයා මාපට ඇඟිල්ල ඔසවා ඉඟි කළේය.

බිනරි ට පෙරාතුව ගිය විනෝද් සාලය අතහැර මැද සාලයේ තිබුණ කෑම කාමරයට ඇතුළු විය.අනතුරුව ඔහු එහි කෑම මේසයේ පුටුවක් ඇද වැඩිවිණ.බිනරි අසල පුටුවේ වාඩිවුනාය. ඔවුන් මොහොතක් කතා නොකර ගොළුවත රැක්කාහ.අනතුරුව දෙදෙනාම එකවර කතාව පටන් ගන්නට ගියහ.එබැවින් ඔවුන් එකිනෙකාට සිනාසුණි.

‘මට ඔයා ගැන ඔක්කොම විස්තර ආරංචියි.ඒ හින්දා මට ඒගැන විස්තර එපා’

ඔහු අනතුරුව පැවසුවේය.

‘එතකොට ඔයා’

ඔහු සිනාසුනේය.

‘තවමත් ඉස්සර වගේ කේන්ති යනවාද?’

ඔහු ඇයගේ මුහුණට එබිකම් කළාය.

‘නැහැ එනවා’

ඔහු යළිත් සිනාසුනේය.

‘විනෝද් එදා මට කලේ ලොකු උදව්වක්.මං ඒක ඉක්මනින්...’

ඔහු ඇයගේ කතාව නතර කළේය.

‘ඉකමනින් ? ඔයා මගෙන් ඉල්ලුවේ නෑනේ.’

බිනරි විනෝද්ගේ අතින් අල්ලා ගත්තාය.ඇයගේ ඇස් වල කඳුලු පිරෙනු ඔහු දුටුවේය.ඔහු කිසිත් පැවසුවේ නැත.ඒ වෙනුවට සුසුමක් හෙලුවේය.

බොහෝ දේ කතා කරන්නට කාලය ඉතිරිව තිබිණ.

‘දැන් ඔයා මොකක්ද කරන්නේ’.

‘මම ඉන්නේ සූරියවැව’

‘ඒ කොහේද’

‘ඇඹිලිපිටිය කිට්ටුව’

‘ඔයා මැණික් ගරනවාද’

ඔහු එයට උත්තර දුන්නේ නැත.

‘ඉන්න ආවත් වෙලා මම කෑම ටිකක් හදන්නම්’.

අනතුරුව බිනරි අතැගිලි මුදා ගනිමින් පැවසුවාය.ඔහු එය ප්‍රතික්ෂප කරන්නට තැත් කළේ නැත.ඇය කුස්සියට ගියාය.ඩික්සන් ගෙට පැමිණියේ ඒ වෙලාවේය.නිවස ඉදිරිපිට නවතා තිබුණු අලුත් මෝටර් රථයත් එහි වාඩිවී තමා දෙස වුවමනාවෙන් බලා සිටින මිනිසාත් දෙස විපරම් බැල්මක් හෙලූ ඩික්සන් ගෙට ගොඩවුණේය.සාලය පසුකර කෑම කාමරයට ගිය ඩික්සන් මොහොතක් ගල් ගැසී සිටියේය.

‘විනෝද් අය්යා’

විනෝද් ඩික්සන් දෙස හැරී බැලුවේ ඔහුට තමා හමුවීම පුද්මයක් නොවන වග හැඟවිමටය.