වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




අක්කා මෙහෙයවන්න නංගී සැරසේ

අක්කා මෙහෙයවන්න නංගී සැරසේ

ප්‍රථම වරට ලාංකික රංගන ක්ෂෙත්‍රයේ නිළි රැජින තම සොහොයුරියගේ අධ්‍යක්ෂණය යටතේ රංගනයට සූදානම් වෙයි. නිළි රැජින මාලිනී ෆොන්සේකා චරිත මවන මෙම ටෙලි වෘත්තාන්තය අධ්‍යක්ෂණය කරනුයේ ඇගේ බාල සොයුරිය රංගන ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් පිරි සම්මානනීය නිළි දමයන්ති ෆොන්සේකාය.

ඇය තම කුලුඳුල් ටෙලි සිතුවමට නම තබා ඇත්තේ රංකිරි අම්මා ලෙසටය. රෝහණ බැද්දගේ, මාලිනී ෆොන්සේකා, ශ්‍යාම් ප්‍රනාන්දු, සරත් කොතලාවල, මාධනි මල්වත්තගේ, උමයංගනා වික්‍රමසිංහ, ප්‍රියන්ත සිරිකුමාර, කෝකිල පවන්, නයෝමි තක්ෂිලා මෙහි රංගනයෙන් දායක වන නළු නිළියන්ය. තිලිණි අනුරාධා සමඟ ලසන්ත තෙන්නකෝන් රංකිරි අම්මා නිෂ්පාදනය කරයි. කැමරාව සජිත වීරප්පෙරුම මෙහෙයවයි. ධනුෂ්ක හුලංගමුව අංග රචනා ශිල්පියාය. ධම්මික හේවාදුවත්තගේ කලා අධ්‍යක්ෂණයකි. හිමාල් ධර්මරත්න සංස්කරණයෙන් දායකවේ. හැරල්ඩ් ගුණරත්න නිෂ්පාදන කළමනාකරුය. තනමල්විල ආශ්‍රිත ප්‍රදේශයන්හි රංකිරි අම්මා රූගතවීමට නියමිතය.


ජෝ වෙනුවෙන් පූජෝපහාරයක්

හෙළ සිනමාවේ බිහි වූ අති විශිෂ්ට චරිතාංග නළුවකු වන නැසීගිය ජෝ අබේවික්‍රමයන්ගේ හය වැනි ගුණ අනුස්මරණය සිහිපත් කරමින් බොරැල්ල සුසාන භූමියේ ඇති එතුමාණන්ගේ ස්මාරකය අභියසදී පූජෝපහාරයක් සිදු විණ. ජෝ අබේවික්‍රමයන්ගේ දියණිය වූ උදේනි කුමාරි අබේවික්‍රමගේ ප්‍රධානත්වයෙන් පැවති එම අවස්ථාව එක්සත් ජාතික කලා සංසදයේ සංවිධානයකි.

මෙම පූජෝපහාරය සඳහා රෙක්ස් කොඩිප්පිලි, තිස්ස ලියනසූරිය, සනෝජා බිබිලේ, සුනිල් අරුණ වීරසිරි, බර්මින් ලයිලි ප්‍රනාන්දු, මියුරි සමරසිංහ, උදේනි චන්ද්‍රසිරි, රත්නසිරි රත්නසිංහ, බන්දුල නානායක්කාර, ජයතිලක හේරත්, අනුර ශ්‍රීනාත්, සුනිල් ප්‍රේමරත්න, ලයනල් ගුණරත්න ඇතුළු ක්ෂේත්‍රයේ කලාකරුවෝ රැසක් සහභාගි වූහ. මේ එම අවස්ථාවේ සේයාරුවකි.


දෙරණ ගෙන එන හෙට දවසේ සිනමාව දින දෙකක්

දෙරණ සිනමා සම්මාන උලෙළේ හෙට දවසේ සිනමාව අංශය යටතේ තරග වදින සිනමාපට ඇතුළත් වන සිනමා ප්‍රදර්ශනයක් එළඹෙන ඔක්තෝබර් මස 01 සිට 02 වැනිදා යන දිනයන්හි ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ. මෙහිදි සිනමාපට පහක් තිරගතවීමට නියමිතය. ඒවා පිළිවෙළින් මෙසේය.

ඔක්තෝබර් 01 වැනිදා සවස 2 ට සුරංග කටුගම්පල අධ්‍යක්ෂණය කළ පුතකුට. කෞශල්‍යා ප්‍රනාන්දුගේ විශිෂ්ට රංගනයෙන් හැඩ වූ මෙය ඉතාලි ශ්‍රී ලංකා සම නිෂ්පාදනයකි. එදින සවස 4 ට සුමින්ද සංජීව අධ්‍යක්ෂණය කළ දිසිදි පත් සිනමාපටය වේ. සම්පත් ජයවීර, ලංකා බණ්ඩාරනායක, රුවි ලක්මාලි, ඔසඳ ගිහාන් මෙහි රංගන දායකත්වය සපයති. එම දිනයේම රාත්‍රී 7 ට මාලක දේවප්‍රිය අධ්‍යක්ෂණය කළ බහුචිතවාදියා සිනමාපටය ප්‍රදර්ශනය වේ. ලක්ෂ්මන් මෙන්ඩිස්, වීණා ජයකොඩි, කලණ ගුණස්කර, සමනලී ෆොන්සේකා, දමිතා අබේරත්න, නිල්මිණි බුවනෙක ඇතුව පිරිස එහි රංගනයෙන් දායක වෙති.

ඔක්තෝබර් 02 වැනි දින සවස 4 ට දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ භවතරණ ප්‍රදර්ශනය වේ. මාලිනී ෆොන්සේකා, ශ්‍රියන්ත මෙන්ඩිස්, මහේන්ද්‍ර පෙරේරා, උදයන්ති කුලතුංග, රොෂාන් පිලපිටිය ඇතුළු පිරිස මෙහි රංගන දායකත්වය සපයා ඇත.

එදින රාත්‍රී 7 ට ජූඩ් රත්නම්ගේ පාරාදීසයේ යක්ෂයෙක් සිනමාපටය තිරගත වේ. එය ප්‍රංශ ශ්‍රී ලංකා සම නිෂ්පාදනයකි. මෙම සිනමාපටයන් අතරින් බහුවිතවාදියා හැර අනෙක් සිනමාපටයන් අන්තර් ජාතික සිනමා උලෙළයන් නියෝජනය කළ සිනමාපටයන් වීම විශේෂයෙන් සඳහන් කළ යුතුය.


සනත් - සංගීතා එක් කළ යෝධයන්ගේ අඩවිය වැඩ ඇරැඹේ

නිර්මාල් රාජපක්ෂ අධ්‍යක්ෂණය කරනු ලබන නවතම සිනමාපටය යෝධයන්ගේ අඩවිය සිනමාපටයේ මුහුරත් උලෙළ පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණ. මෙහි අධ්‍යක්ෂණය මෙන්ම කතාව, දෙබස්, තිර රචනය, කැමරාකරණය, සංස්කරණය, විශේෂ ප්‍රයෝගකරණය සහ නිෂ්පාදනය ද නිර්මාල්ගෙනි. සනත් ගුණතිලක, සංගීතා වීරරත්න, සේනක විජේසිංහ ඇතුළු පිරිස මෙහි රංගනයේ යෙදෙයි. චරිත් දේවප්‍රියගේ සහාය අධ්‍යක්ෂවරයාය. කලා අධ්‍යක්ෂණයෙන් නිමල්සිරි ද සිල්වා දායක වේ. ශාන් විජේරත්න අංග රචනා ශිල්පියාය. ශබ්ද පරිපාලනයෙන් ශෂික රුවන් මාරසිංහ එකතු වේ. නිෂ්පාදන කළමනාකරණය ජානක දූවගේ විසිනි. විශේෂ අනුශාසකත්වය ශාස්ත්‍රවේදී කුකලවෙල විපුලගේ හිමියන්ගෙනි.


කොන් කළ දෝණි එන සඳුදා ගෙදර එයි

චන්දික විජේසේන අධ්‍යක්ෂණය කළ නවතම ටෙලි සිතුවම කොන් කළ දෝණි එළඹෙන ඔක්තෝබර් මස 02 වැනිදා සිට සතියේ සෑම දිනකම රාත්‍රී 7.30 ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වේ. බුද්ධදාස විතානාච්චි, ජනක කුඹුකගේ, ඩිනක්ෂි ප්‍රියසාද්, ඉසුරු ලොකු හෙට්ටිආරච්චි, රත්නා ලාලනී, සරත් කොතලාවල, මාධනි මල්වත්තගේ, ගිරිරාජ් කෞශල්‍ය, සංජය රොඩ්‍රිගෝ, සුසන්තා චන්ද්‍රමාලි, කාවින්දා දුල්ශානි, ලක්ෂාන් වාත්තුහේවා කොන් කළ දෝණි නළු නිළියන්ය. කුමාර සිරිවර්ධනගේ රූපවාහිනි රචනයක් වන මෙය විරාජ් රත්නායකගේ නිෂ්පාදයකි. මෙහි අධ්‍යක්ෂ චන්දික මීට ප්‍රථම ඉතින් ඊට පස්සේ, බොඳ මීදුම්, රිදී සිත්තම්, සහ සිහින සින්ඩරෙල්ලා ආදී නාට්‍ය අධ්‍යක්ෂණය කරන ලදී.