වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 21 වැනිදා බ්‍රහස්පතින්දා




ළමයින් මා අමතන්නේ නෝටි ආන්ටි නමින්

ළමයින් මා අමතන්නේ නෝටි ආන්ටි නමින්

ධර්ම යුද්ධයේ විශාඛා ගැන කුසුම් රේණු කතා කරයි

උසත් ඊට ම සරිලන අයුරින් ඇඳ සිටි ඔසරියත් කියා පෑවේ ඈ කෙරෙහි වූ පෞරුෂත්වයයි. නීතිඥවරියක සතු විය යුතු විමසිලිමත් දෙනෙත් එහ මෙහා කරමින් වැව් කණ්ඩියට වී සිටි ඈ වරෙක මිමිනුවේ තමන්ටම ය. මිමිනීමෙන් ඈත් වූ ඈ වටපිට බැලුවේ වැව් තලයේ ගිලී සිටින කිමිඳුම්කරුවන් කුමක් හෝ සොයා ගත්තේ ද යන්නයි. මුළු වැව් කණ්ඩියම ජනීජනයාගෙන් පිරී ගොසිනි. ඇගේ දෙනෙත ඒ ජනීජනයා අතර ගිලී යන්නට වැඩි වේලාවක් ගත නොවිණි.

“මම කියනතුරු මේ ගැන මාධ්‍යයට දෙන්න එපා”

ඈ පැවසුවේ ඒකාධිපති හඬිනි.

“විශාකා සමරනායක”

මේ දිනවල තිරගත වන ‘ධර්ම යුද්ධය’ චිත්‍රපටයේ නීතිඥවරිය හා මන්ත්‍රීවරිය වන්නේ ඇයයි. විශාකාට පණ පොවන්නේ වේදිකාවේ නමක් දිනාගෙන සිටින රංගන ශිල්පිනියකි. ඒ කුසුම් රේණු ය.

* ඔබ දුෂ්ට චරිතයකට පණ පෙවීම නිසා මෙතෙක් නොලැබුණු ප්‍රතිචාර ද ලැබෙන්නේ?

මා මෙවර පණ පොවන්නේ දුෂ්ට චරිතයක් නිසා මට ආදරය කරන රසිකයන් මොනවගේ ප්‍රතිචාරයක් දක්වාවි දැයි මා සිටියේ භයෙන්. හැබැයි ඒ දුෂ්ටයාගෙන් එහාට ගිය මාතෘත්වය පිළිබඳ සිතේ ඇතිවුණු අනුකම්පාවෙනුයි රසිකයන් මට ප්‍රතිචාර දක්වන්නේ.

* ප්‍රතිචාරවලදී ඔවුන් ඔබට පවසන්නේ කුමන අදහසක් ද?

මේ චිත්‍රපටයේ දී කුමන දේ සිදුවුවත් රසිකයන් සිතන්නේ මේ ගැහැනියට අහිමි වන්නේ ඇගේ එකම දරුවා නොවෙද යන්නයි. අනෙක් කාරණය නම් ඒ වැරැද්ද සිදුවන්නේ ඇය නිසා නොවෙයි යන තීරණයට පැමිණිලයි ඔවුන් මට කරුණාව දක්වන්නේ. ඒ විදියට හෝ මගේ දුෂ්ට චරිතය යහපත් විදියට බේරා ගැනීමට ලැබීම සතුටට කරුණක්. කුඩා ළමයින්ගේ පටන් වැඩිහිටියන් දක්වා මේ ලැබෙන ප්‍රතිචාර මාව වඩාත් සතුටට පත් කරනවා. චූටි ළමයින් නම් මාව අමතන්නේ ‘නෝටි ආන්ටි’ නමින්. වැඩිහිටියන් මගේ රංගනයේ තිබෙන සාර්ථකත්වය, එහි තිබෙන වෙනස්ම පැතිකඩ පිළිබඳ කරන කතාබහ මා දිරිමත් කරනවා. කාලෙකින් පවුලේ සැමටම ගිහින් නැරැඹිය හැකි චිත්‍රපටයක් ලෙස රසිකයන්ගේ අවධානයට ‘ධර්ම යුද්ධය’ චිත්‍රපටය ලක්වීම ගැන එහි රඟපෑ ශිල්පීන් හා ශිල්පිනියන් විදියට අප සතුටු විය යුතුයි.

* දුෂ්ට විශාකා සමරනායකගේ චරිතයට ඔබව ම තෝරා ගැනුණේ ඇයි?

‘ධර්ම යුද්ධය’ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ මහරාජා ආයතනය මඟින්. ඔවුන් තමයි මට කතා කරලා විශාකාගේ චරිතයට මාව තෝරාගෙන තිබෙන බව පවසන්නේ. ඕනෑම නිර්මාණයකට මට කතා කළාට පස්සේ මගේ තිබෙන පුරුද්දක් වන්නේ ඒ චරිතයට දෙවැනි විසඳුමක් තිබේද යන්න විමසීමයි. මා එසේ විමසීමට හේතුව වන්නේ බොඩි ස්ට්‍රක්චර් එක කොයි වගේ තැනක තියලා සිතාගෙන ද, ඇයි මාව මේ චරිතයට තෝරන්න ඇත්තේ කියන අදහස මට ගත හැකි නිසයි. එහිදි මට අසන්නට ලැබුණේ ඔවුන්ට ජැක්සන් අයියාත්, මාත් තෝරන ලද චරිතවලට වෙනත් තේරීමක් නොමැති බවයි.

* ඔබ දුෂ්ට චරිතයකට පණ පොවන්නේ පළමුවරට නේද?

මා බොහෝ රඟපා ඇත්තේ මවකගේ චරිතයි. මවකගේ චරිතය වඩාත් හොඳීන් නිරූපණය කරන්න උත්සාහ කරන මට දුෂ්ට චරිතයක් ලැබීම තරමක වෙනස් කාරණයක්. ඒ වගේම විහාරමහා දේවිය වැනි වීර කාන්තා චරිතයක් නිරූපණයෙන් හොඳම සහය නිළිය සම්මානය තුරුලු කරගත් මට මෙවැනි චරිතයක් කළ හැකි ද කියන ගැටලුව මුලින්ම මගේ සිතේ ඇතිවුණා. අඩුම ගණනේ දරුවකුටවත් සැරවැර කරලා නැති අයකු වන මට මේ චරිතයට පිවිසිය හැක්කේ කෙසේ දැයි සිතමින් සිටියා.

* එහෙම නම් ඔබට ලැබුණු මේ අභියෝගය භාර ගත්තේ කුමන ආකාරයෙන් ද?

මගේ ජීවිතයට දැනෙන, පැමිණෙන ප්‍රශ්න මා නිතරම ප්‍රශ්නයක් ලෙස භාර ගන්නේ නැහැ. එවිට ඒ ප්‍රශ්නය නිරාකරණය කරන්න අපහසුයි. ඒ නිසා මා කුඩා කාලයේ පටන්ම කළේ මගේ ජීවිතයට එන ප්‍රශ්න අභියෝගයක් ලෙස භාර ගැනීමයි. ඒ අභියෝගය හෙමිහිට ජය ගැනීමයි මා සිදු කරන්නේ. මා මෙතැනට යොදවන්නේත් මේ අදහසමයි. ඒ කියන්නේ මේ චරිතයට පිවිසිය හැක්කේ කෙසේදැයි සිතමින් සිටින විටයි මට පිටපත ලැබෙන්නේ. පිටපත කියවන විට ඒ දුෂ්ට චරිතය හරහා යමක් කරන්න තිබෙන බවත් මට හැඟුණා. එය දෙතුන් වතාවක් කියවද්දි එක තැනකදි ඒ චරිතය හසුවුණු බවක් මට වැටහුණා. මේ කාන්තාව මොනතරම් දාරක ස්නේහය ඇතුළේ අතරමං වුණා ද කියන ඒ තැනයි මා අල්ලා ගත්තේ. එවැනි අයකුට තමාගේ දරුවා වෙනුවෙන් තව කෙනෙකු වුවත් මරණයට පත්කළ හැකි නොවේද යන සිතුවිල්ලයි මගේ සිතේ ඉපැදුණේ. එවැනි කෙනෙකු ඉදිරියට ගමන් කරන්නේ කෙසේ දැයි විමසමින් බොහෝදුර චරිතයේ ගමන් කළ හැකිවීමයි මේ චරිතයේ සාර්ථකත්වය වන්නේ. ඒ නිසයි රසිකයන්ගේ අනුකම්පාවට මේ දුෂ්ට චරිතය භාජනය වන්නේ.

* ‘ධර්ම යුද්ධය’ චිත්‍රපටයේ සිටින්නේ මව්වරුන් දෙදෙනෙක්. ඒ දෙදෙනාගේ ඇත්තේ මනෝභාව දෙකක්. මේ මනෝභාව ඔබට දැනුණේ කොහොම ද?

දිල්හානි වද වන්නේ ඇගේ දුව නිසයි. ඇගේ චරිතය වෙනස් ආකාරයකටයි දිව යන්නේ. ඈ වද වෙන්නේ තමා ළඟ සිටින දරුවා රැක ගැනීමටයි. විශාකා සමරනායක වද වන්නේ කිසිම තොරතුරක් නැති දරුවා ගැන සොයා ගැනීමටයි. පසුව පුතා පැද වූ රථය ගොඩ ගත්තත් එහි ඔහුගේ මිනිය නොමැති වීම යනාදී කරුණු සොයාගෙන යෑමේ දී පුතා පිළිබඳ ඈ කරන සැකය සියයට සියයක් නිවැරැදි වුණත් සාක්ෂි නොමැතිකම නිසා තීරණයක් ගත නොහැකි වනවා. එහිදි ඇතිවන මනෝභාවය මොනවගේ වේවිද? ඇස් පනාපිට සත්‍ය පෙනෙන්න තිබියදී එය හෙළිකර ගැනීමට නොහැකි වීම කියන කාරණය ඇතුළේ කුමන දෙයක් ඒ මවට සිතෙනවා ඇත්ද? ඒ නිසයි ඇය දරුවා වෙනුවෙන් නීති විරෝධී ලෙස හෝ කුමන හෝ දෙයක් කළ යුතුය යන මනෝභාවයට පැමිණෙන්නේ. ඒ නිසා හාත්පසින්ම වෙනස් වූ මව්වරුන්ගේ චරිත ද්විත්වයක් ලෙසයි මේ මව්වරුන්ගේ චරිත ගොඩනැඟෙන්නේ.

* ඔබ පවසන්නේ මේ චරිත හරහා විවිධ පණිවුඩ රැසක් සමාජයට පමුණු වන බව ද?

තම දරුවන් වෙනුවෙන් අම්මාට හා තාත්තාට කුමක් ද කළ නොහැක්කේ යන පණිවුඩය ලබාදෙන අතරම වෙනත් පණිවුඩ රැසක් ම ධර්ම යුද්ධය හරහා සමාජගත වෙනවා. ඒ වගේම මව්පියන් ලෙස අප කුමන තරාතිරමක සිටියත් දරුවන් පිළිබඳ දක්වන අවධානය ඊට වඩා වැඩිවිය යුතුය යනුවෙන් ඉදිරිපත් වන අදහස බොහොම වැදගත් බවයි මට නම් හැඟෙන්නේ. එක දරුවකුගේ විනාශය සමස්ත දරුවන් රැසකගේ ජීවිතවලට, පවුල්වලට හානි කිරීමත්, දුරකථනය භාවිතයේ දී කොතරම් දුරට දරුවන්ව දැනුවත් කළ යුතුද, එය දරුවන්ට දිය යුතු වයස් ප්‍රමාණය, ඇත්තටම දුරකථනයක් අවශ්‍යම ද ආදී විවිධ කරුණු කාරණා රැසක් මේ චිත්‍රපටයෙන් සමාජයට ඉදිරිපත් කරන පණිවුඩයි.

* ධර්ම යුද්ධය හරහා දේශපාලනයේ යම් අඳුරු පැතිකඩකුත් කතාබහට ලක්වෙනවා?

මෙහිදි බලය අනිසි ලෙස භාවිත කිරීමයි සිදුවන්නේ. උදාහරණයක් විදියට විදුහල්පතිවරයකුගේ දරුවකු මෙලෙස කරනවා යැයි සිතන්න. ඔවුන්ට විශාකා සමරනායක කරන දේ කරන්න බැහැ. ඒ නිසා එවැනි සිදුවීමකින් හෙළි වන්නේ බලය ලැබෙන්න ලැබෙන්න කොයිතරම් මිනිසුන් නිහතමානී විය යුතු ද කියන කාරණයයි. එහෙත් එහිදී බලය ලැබුණු විගසම සවියත් වර්ධනය වුණා කියන හැඟීමයි ඇතිවන්නේ. සවිමත් බව වැඩි වීමත් සමඟ අප සිතිය යුත්තේ කෙසේ ද, අප ක්‍රියා කළ යුත්තේ කෙසේ ද? යනුවෙන් මෙහිදි ලබාදෙන පණිවුඩය බොහොම වැදගත්.

* ඔබ සමඟ රඟපාන අනෙක් ශිල්පීන්ගේ රඟපෑම ගැන ඔබට තිබෙන්නේ මොනවගේ අදහසක් ද?

ජැක්සන්ගේ රඟපෑම ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒ තරමටම ඒ රංගනය සුවිශේෂයි. තිසුරි යුවනිකා හා කුමාර තිරිමාදුරගේ රඟපෑම ගැනත් යමක් කිව යුතුයි. කුමාර තිරිමාදුර ඉතාම සංයමයෙන් යෙදෙන රංගනය ගැන ප්‍රශංසා හිමිවිය යුතුයි. තරංග බණ්ඩාර, අවන්ති, කුමාර, ආනන්ද, රොෂාන්, ධනුක, දිල්හානි, ඩනී අයියා ඇතුළු මේ නිර්මාණය සඳහා දායක වුණු සියලුදෙනාම තමන්ගේ උපරිමයෙන් රංගන දායකත්වය ලබාදී තිබෙන බව පෙනෙන්නේ චිත්‍රපටය නරඹන විටදියි.

* ඔබ දමිළ අධ්‍යක්ෂවරයකු යටතේ නිර්මාණවලට දායක වන පළමු අවස්ථාව නොවෙයි ධර්ම යුද්ධය කියන්නේ?

මීට පෙරත් සිරස ආයතනයෙන් ම කළ ‘නෝනාවරුනි මහත්වරුනි’ නිර්මාණයේදී මා දමිළ අධ්‍යක්ෂවරුන් සමඟ කටයුතු කළා. ඒ නිසා මේ අධ්‍යක්ෂවරයාව මට අලුත් කෙනෙකු වූයේ නැහැ. බොහෝ විට අප රඟපෑවාට පස්සේ මේ අධ්‍යක්ෂවරයා ඔහුගේ භාෂාවෙන් ‘ලිට්ල් මෝර් මැඩම්’ කියලා පවසනවා. ඒ තව ටිකක් ඕවර් ඇක්ටින් එකකට යන්න කියලයි ඔවුන් පවසන්නේ. ඒ අය කැමති ඕවර් ඇක්ටින්වලටයි. විශේෂයෙන් දුෂ්ටයාගේ චරිතයේ රඟපෑම ඔවුන් එලෙස බලාපොරොත්තු වෙනවා. ඒ තත්ත්වය අපේ රටට හරියන්නේ නැහැ යැයි පවසමින්, ඔවුන්ට ඒ ගැන තේරුම් කරදෙමිනුයි මා මේ චරිතය රඟපෑවේ. අවසානයේ ඔහු ඒ සියලු කාරණාවලට මාත් සමඟ එකඟ වුණා. ඒ වගේ ම තවත් කාරණයක් ලෙස කිව යුත්තේ ඔහු බොහොම සුන්දර මිනිසකු බවයි. මා එතුමාගේ දැක්ක විශේෂ ලක්ෂණයක් තිබෙනවා. එය මේ වෙලාවේදී සිහිපත් කළ යුතුයි. එහිදි අපට වෙහෙසයි කියලා දැනුණොත් වාඩිවීමට ඔහුගේ පුටුව ලබා දී, කන්න දෙයක් දී රංගන ශිල්පියාව සැහැල්ලු කිරීම හා රංගන ශිල්පියාව සතුටින් තබා ගැනීමට ගන්නා වෙහෙස ඔවුන්ගේ අපූර්ව ලක්ෂණයක්. එය මා පුදුමයට පත්කළා.

* ඉදිරි කටයුතු පෙළ ගැසී තිබෙන්නේ කෙසේද?

මේ වනවිට වේදිකා නාට්‍ය රැසක් සමඟම මා අපේ රටේ සෑම ප්‍රදේශකයටම යනවා. ඉදිරි කාලය මට වැඩ වැඩි කාලයක් වේවි. ඒ ජනවාරි මාසයේ මගේ බාල දියණිය විවාහ වීමට සිටින නිසයි මා එලෙස පවසන්නේ. ඇගේ අත ගන්නේ ව්‍යාපාරිකයකුගේ පුතෙක්.