වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




දිළිඳු පැලක උපන් සුජාත පුත්‍රයෙක්

දිළිඳු පැලක උපන් සුජාත පුත්‍රයෙක්
 

අලුත්ම ළමා චිත්‍රපටය සුජාත පුත්‍ර හෙට සිට M. P. I.  සහ L. F. D. සිනමාහල්වල

එය දුෂ්කර ගම්පියසකි. එහි කුඩා පැල්පතක වෙසෙන මවක සහ පුතෙකි. ඔවුහු දිළිඳුය. සුමුදු දරුවාගේ වයස අවුරුදු අටකි. ඔහු ඉගෙනුමෙහි හපනෙකි. එමෙන්ම නුවණ ද ඇත්තෙකි. ඒ පුංචි දරුවා ඉපදී මාස කිහියකට පසු ඔහුට පිය සෙනෙහස සදහටම අහිමි වේ. සුමුදුගේ මව තරුණය. රූපසම්පත්තියෙන් ද තවමත් සුන්දරය. ඇය කුලී වැඩ කොට ලබා ගන්නා සොච්චම් මුදලින් එදිනෙදා දිවි සරි කර ගනියි. ඔවුන් පදිංචිව සිටින්නේ කුලී නිවසකය. මාස කිහිපයක හිඟ මුදල් ඉල්ලා නිවෙස අයිතිකරු සුමුදුගේ මව සොයා එයි. නමුත් එම මුදල් ගෙවීමට ඇයට හැකියාවක් නොමැති බව දැනගන්නා ගෙවල් අයිතිිකරු සුමුදුගේ මවට අයුතු යෝජනාවක් ගෙනෙයි.

එයට එකඟ වුවහොත් ගෙවල් කුලිය එපා යැයි ඔහු ඇයට පවසයි. සුමුදුගේ මව මෙතුවක් තමන්ගේ ආත්ම ගරුත්වය රැකගෙන ජීවත් වූ තැනැත්තියකි. එම අයුතු යෝජනාවෙන් මානසික පීඩාවට මෙන්ම ගෙවල් හිමිකරුගේ නොයෙක් අඩන්තේට්ටම්වලට ලක් වුවද ඇය එම යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කරයි. සුමුදුට මෙය ඉවෙන් මෙන් දැනෙයි. එමෙන්ම තව ටික කලකින් එම නිවෙසින් ඉවත් වන්නට සිදුවන බව ද මවගෙන් දැනගන්නට ලැබෙයි. සුමුදුගේ ඊළඟ පියවර වනුයේ තමන්ටම නිවසක් කෙසේ හෝ හිමිකර ගැනීමය.

එම පළාත බාරව සිටින ඇමැතිවරයා හමුවීමට සුමුදු තීරණය කරයි. එහෙත් ඒ සඳහා ගත හැකි ක්‍රියා මාර්ගයක් පිළිබඳ ඔහු දැන සිටියේ නැත. අවසනදී පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ මාර්ගයෙන් ඇමැතිවරයාව හමුවීමට උත්සාහ කළ ද එය ව්‍යාර්ථ වෙයි. නොබෝ කලකින් සුමුදුට උදව් කිරීමට ඉදිරිපත් වූ හාමුදුරුවෝද අපවත් වන්නේ සුමුදුව තවත් අසරණ කරමිනි. කෙසේ හෝ ඇමැතිවරයාගේ දුරකතන අංකය සොයා ගන්නා සුමුදු දිගට හරහට ඇමැතිවරයට කතා කරයි. ඔහු සහභාගිවන උත්සවයකට සුමුදු ද පැමිණ ඇමැතිවරයාගෙන් නිවසක් ඉල්ලයි. අවසනදී සුමුදුගේ අභිප්‍රාය ඉටුවෙයිද? සුමුදුගේ සහ ඔහුගේ මවගේ ඉරණම කුමක් වේවිද? නිවෙස් හිමිකරුගේ ග්‍රහණයට සුමුදුගේ පවුල හසුවේවිද?

හෙට දින සිට එල්. එෆ්. ඩී. සහ එම්. පී. අයි. මණ්ඩලයේ තිරගත වන ‘සුජාත පුත්‍ර’ සිනමාපටය නැරැඹීමෙන් ඒ සියලු පැනයන්ට ඔබට පිළිතුරු ලැබෙනු ඇත. මෙය ළමා පරපුර වෙනුවෙන් නිර්මාණය වූ තවත් අපූර්ව චිත්‍රපටයකි.

“සුජාතා පුත්‍ර” පිරිවර:

නළු නිළියෝ - රවීන්ද්‍ර රන්දෙණිය, දිල්හානි ඒකනායක, නයනා කුමාරි, කුමාර තිරිමාදුර, මිහිර සිරිතිලක, උපුල් වීරසිංහ, නන්ද වික්‍රමගේ, ප්‍රමුදිත උදය කුමාර (ළමා නළු) හර්ෂි රසංගා (ළමා නිළි) නිහාල් ප්‍රේමචන්ද්‍ර, ලක්ෂ්මන් අමරසේකර, ඩයනා හෙට්ටිආරච්චි.

අධ්‍යක්ෂණය - ශ්‍රීපාලි හෙට්ටිආරච්චි

කැමරා අධ්‍යක්ෂණය, සංගීත අධ්‍යක්ෂණය සහ සංස්කරණය - සජීව සංකල්ප

කලා අධ්‍යක්ෂණය - වජිර ප්‍රියශාන්ත

සහාය අධ්‍යක්ෂණය - තරිඳු ඉලංගකෝන්, ශාලින් ද රත්නායක

වේශ නිරූපණය - තාරක අධිකාරි

නිෂ්පාදන කළමනාකරණය - හැරල්ඩ් කරුණාතිලක

තිර රචනය - නිහාල් ප්‍රේමචන්ද්‍ර

නර්තන අධ්‍යක්ෂණය - ප්‍රියාන් අනුර ශ්‍රී

ගායනය - විශාරද දීපිකා ප්‍රියදර්ශනී, යොනාල් මන්දිර

ගීත රචනා - රඹුකන සිද්ධාර්ථ හිමි

නිෂ්පාදනය - අමිල ශෂේන්ද්‍ර

නිශ්චල ඡයාරූප සහ මාධ්‍ය සම්බන්ධීකරණය - උපුල් නිශාන්ත

‘සුජාත පුත්‍ර’ Aiba (අයිබා) චිත්‍රපට සමාගමේ ඉදිරිපත් කිරීමකි.