වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 21 වැනිදා බ්‍රහස්පතින්දා




දෙහිපිටිය සමුගෙන තිස් හතර වසරයි

දෙහිපිටිය සමුගෙන තිස් හතර වසරයි

(ප්‍රතිභාපූර්ණ වේදිකා හා සිනමා නළුවෙකු වූ සෝමසිරි දෙහිපිටිය අභාවප්‍රාප්ත වී 34 වසරක් සැමරීම නිමිත්තෙන් මෙම ලිපිය ලියා එවමි)

වේදිකාවත්, සිනමාවත් තම ජීවිතයට සමීප කර ගෙන ජීවත් වූ සුප්‍රකට සිනමා නළු සෝමසිරි දෙහිපිටිය මිය ගොස් මෙම අප්‍රියෙල් 27 වැනි දිනට පුරා වසර තිස් හතරක් සපිරේ.

1982 අප්‍රියෙල් 27 වැනිදා අපෙන් වියෝ වූ සෝමසිරි දෙහිපිටිය තවමත් අප අතර දිවි ගෙවනා සෙයක් දැනේ.

1933 ජනවාරි 29 වැනිදා උපත ලද සෝමසිරි දෙහිපිටිය කෙටි ජීවන ගමනකින් (අවු: 49) අවසන් හුස්ම පොද වා තලයට මුසු කළත් ඔහු ජීවත්ව සිටි කාලය තුළ අප හදවත් තුළ තැබූ මතක සටහන් කිසි දිනක මැකිය නොහැකිය.

සෝමසිරි දෙහිපිටිය ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනිම ලබන කාලයේ සිටම කලාවට ආදරය කළේය. වේදිකා නාට්‍යයක ඔහුට රඟපෑමට අවස්ථාව සලසා දුන්නේ ගැමුණු විජේසූරියයි.

පී. වැලිකලගේ මැටි කරත්තය නාට්‍යය තුළින් දොරට වැඩ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ පබාවතී, රත්තරං, එලොව ගිහින් මෙලොව ආවා, කුණ්ඩලකේශී, දයානන්ද ගුණවර්ධනයන්ගේ ඉබිකට්ට, නීල් විජේසිංහගේ අනේ මස්සිනේ ආදී ජනප්‍රිය නාට්‍ය රැසක ඔහු රඟපෑවේය.

1967 පෙබරවාරි 22 වැනි දින සෝමසිරි දෙහිපිටියට සිය ජීවිතයේ අමතක නොවන දිනයක් වූයේය. ඒ ඔහු රඟපෑ ප්‍රථම චිත්‍රපටය වන ආචාර්ය සිරි ගුණසිංහයන්ගේ සත් සමුදුර චිත්‍රපටය තිරගතවීමය.

ඉන් පසු වෙස්ගත්තෝ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑ සෝමසිරි දෙහිපිටිය හාර ලක්ෂය, වල්මත්වූවෝ, දියමන්ති, තුංමං හන්දිය, අහස් ගව්ව, සිහසුන, සරුංගලය, සාගරයක් මැද, උතුමාණෙනි, සක්විති සුවය, චණ්ඩි පුතා, බඹරු ඇවිත්, සිරිබෝ අයියා, බට්ටි, පරිත්‍යාගය, රිදී නිම්නය, කරුමක්කාරයෝ, යහළු යෙහෙළි ආදී ජනප්‍රිය චිත්‍රපට රැසක රඟපෑවේය.

පිරිපුන් වැඩිහිටි චරිතයක් චිත්‍රපටයකට ඇතුළත් කිරීමට අවශ්‍ය වූ විට කෘතහස්ත අධ්‍යක්ෂවරුන්ට සෝමසිරි දෙහිපිටියගේ දායකත්වය විවිධ චරිත හා අවස්ථා රඟපෑමට සහජ රංග ප්‍රතිභාවක් සතුව සිටි සෝමසිරි දෙහිපිටිය රඟපෑම සඳහා බොහෝ විට තේරා ගත්තේ දෛවයේ කුරිරු ඉරණමින් ගැලවී ගත නොහුණු චරිතයන්ය. ඔහු මෙම චරිත ඉතා හෘදයාංගමවත් ප්‍රතිභාව ප්‍රකට කරන ආකාරයටත් ඉදිරිපත් කිරීමට සමත් විය.

සිරිබෝ අයියා චිත්‍රපටයේ බන්දුල හාමිගේ චරිතය රඟපෑ ඔහුට 1980 වසරේ පැවැති ජනාධිපති සම්මාන උලෙළේදී හොඳම සහාය නළුවාට හිමි සම්මානය ද හිමි වූයේය.

සිනමා ක්ෂේත්‍රයේ විවිධ අංශ පිළිබඳව මනා දැනුමක් ලබා සිටි සෝමසිරි දෙහිපිටිය දියමන්ති, කරුමක්කාරයෝ සහ සෙලිනාගේ වලව්ව වැනි චිත්‍රපටවල සහාය නිෂ්පාදකවරයකු ලෙස ද කටයුතු කළේය. එමෙන්ම ගායකයෙකු වශයෙන් වල්මත් වූවෝ සහ වෙස් ගත්තෝ චිත්‍රපට තුළින් අසන්නන් අතරට ද සමීප වූයේය.

මිය යන විට ටොරිංටන් හි විධායක ඉංජිනේරු කාර්යාලයේ සේවය කළ සෝමසිරි දෙහිපිටිය සිනමා ජීවිතයේදීත් පෞද්ගලික ජීවිතයේදීත් හැම දෙනාගේම ආදරය දිනා සිටියේය. ඔහු කිසි දින මිනිසුන්ගේ දොස් කතා කළේ නැහැ. එමෙන්ම කිසිදු කෙනෙකු කැපීමේ ලක්ෂණයක් ඔහු තුළ තිබුණේ නැහැ. ඔහු හුඟක් මිනිසුන්ට උදව් කළා. ඔහුගේ මරණය ඇදහිය හැක්කක් නොවූයේ ඔහු නළුකම හිතට නොගත් සානුකම්පාවෙන් බර හදවතක් තිබු හිත හොඳ මිනිසෙකු වූ නිසාය.

මෙවන් හිත හොඳ මිනිසෙකු, ප්‍රතිභාපූර්ණ නළුවෙකු, සැබෑ මිතුරකු වූ සෝමසිරි දෙහිපිටිය මිය ගොස් වසර තිස් හතරක් නිමා වුවත් ඔහු පිළිබඳ මතකය, ඔහුගේ රුව, රංගන විලාශය අපට මෙන්ම ප්‍රබුද්ධ ප්‍රෙක්ෂක ජනතාවට කිසි දින අමතක නොවුණු ඇත.