වර්ෂ 2015 ක්වූ ජූලි 16 වැනිදා බ්‍රහස්පතින්දා




වාස් ජීවිතය කැප කළා නිෂ්පාදකයෝ ගොඩ ගියා

වාස් ජීවිතය කැප කළා නිෂ්පාදකයෝ ගොඩ ගියා

වින්සන්ට් වාස්ගේ බිරිය කියයි

දශක පනහකට වැඩි කලක් නළුවෙකු ලෙස ජීවත් වෙමින් නාට්‍ය කලාවට මෙන්ම ලාංකේය සිනමා ක්ෂේත්‍රයට රංගනයෙන් දායක වූ වින්සන්ට් වාස් අප අතරින් වෙන්ව ගොස් මේ වන විට වසර එකොළහක් ගතව ගොසිනි. එදා ඒ. බී. රාජ් අධ්‍යක්ෂණය කළ අහංකාර ස්ත්‍රී චිත්‍රපටයෙන් සිය සිනමා දිවිය ඇරැඹූ වින්සන්ට්, ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සංදේශය චිත්‍රපටයේ රඟමින් මහත් ජනප්‍රියත්වයකට පත් විය. ආත්ම පූජා, බඹරු ඇවිත්, රන්මුතු දූව, ගැටවරයෝ, සංඛපාලි, උතුමාණෙනි, ක්‍රිස්තු චරිතය ආදී චිත්‍රපට එකසිය පනහක පමණ විවිධ වූ චරිත රඟමින් ලාංකේය සිනමා ක්ෂේත්‍රයේ නොමැකෙන චරිතාංග රංගනයක නියැළි ඔහුගේ පවුලේ අද දවසේ තොරතුරු සොයා අප පිය මැන්නේ 20/10ඩී, බණ්ඩාරවත්ත, තලංගම උතුර, බත්තරමුල්ල, කොස්වත්ත ලිපිනය සඳහන් නිවහන සොයාගෙනය. එහිදී අපට හමු වූයේ වින්සන්ට් වාස්ගේ ප්‍රිය බිරිය ඇග්නස් කුෙර්ය. සිය වැඩිමහල් පුතු මිලාල්ගේ නිවසේ කල් ගෙවන ඈ අතීත මතක සැමරුම් සමඟ අද දවසේ තොරතුරු අප හා කතාබස් කළේ මේ අයුරින්.

ප්‍රිය ස්වාමියා ඔබෙන් සදහටම වෙන් වෙලා ගිහින්. දැන් බොහෝ කලක් වෙනවා නේද?

මේ අවුරුද්දේ මැයි හය වෙනිදාට අවුරුදු එකොළහක්. එච්චර කාලයක් මගෙන් එයා සදහටම වෙන් වෙලා ගියත් මට තාමත් වින්සන්ට් මා ළඟ ඉන්නවා වගේ.

මිය ගියත් ඔබ ළඟ ඉන්නවා වගේ කිව්වේ?

එයා මියගිය එක ඇත්ත. ඒත් එයා මේ කලාවට ඉතිරි කරලා ගිය දේවල් බොහොමයි. එයා රඟපෑ චිත්‍රපට විතරක් එකසිය පනහකට වැඩියි. මේවායින් බොහොමයක් අදටත් රැකිලා තියෙනවා. ඒ චිත්‍රපට අදටත් රූපවාහිනි මාධ්‍යයෙන් කොතෙකුත් පෙන්වනවා. හරියට දැනුත් වාස් අපි අතරේම ඉන්නවා වගේ හැඟීමක් තමයි අපි තුළ තියෙන්නේ.

වාස්ව සිහිපත් කරලා ආගමානුකූල කටයුතුත් වසරක් පාසා සිදු කරනවා ඇති?

ඒ දේ නොකඩවාම මේ වසර එකොළහ පුරාවට සිද්ධ කරනවා. අපි කතෝලික බැතිමතුන්. වාස් වෙනුවෙන් එයා මියගියදාට එයාව සිහිපත් කරලා බත්තරමුල්ලේ පාතිමා පල්ලියේ පූජාවක් ද තියෙනවා. ඒ වගේම එදාට අපිට හැකි අයුරින් දුගී දුප්පත් අය වෙනුවෙන් උදවු උපකාර සිද්ධ කරනවා.

වාස් මිය ඇදුනත් හරි එයාගේ සහෝදර කලා ශිල්පීන් ඔබලාවත් අමතක කරලා දැම්මාද?

ඒක ඉතිං අපිට විතරක් නොවෙයිනේ, මේ රටේ වැඩි පිරිසකට පොදු කාරණයක්නේ. කෙනක් ඉන්නකන් හොඳයි. කවුරු හරි නැති කොට උන්නාද මළා ද කියලවත් නෑ. ඕව ඔච්චර ගණන් ගත යුතු දේවල් නොවෙයි.

වාස් වෙනුවෙන් උපහාර පිදීමක් කවුරුවත් සිද්ධ කරන්න යෝජනා කළේ නැද්ද?

ඉන්න කොට නැති උපහාර නැති කොට මොකටද? එයා රටට කලාවට යමක් කළා නම් උපහාර ඉල්ලන්න ඕනේ නෑනේ. දෙන්න ඕනෑ කාටද කියලා කාට වුණත් තේරෙනවානේ. එයා කළ විශිෂ්ට රංගනය ඔය කොයි උපහාරයටත් වඩා ශ්‍රේෂ්ඨයි. අදටත් ඒ විශිෂ්ට රංගනයන් දැකලා කලාව වින්දනය කරන කාට වුණත් රසයක් අත් විඳින්න පුළුවන්.

වින්සන්ට් වාස් කියන මේ ප්‍රතිභාපූර්ණ කලාකාරයා මුලින්ම ඔබට කොයි ආකාරයෙන් ද හම්බ වෙන්නේ?

ඒ හමුවීම අහුඹු හමුවීමක්. මම පදිංචි වෙලා හිටියේ මතුගම. ඉස්කෝලේ නිවාඩුවට මම වාද්දුවේ ජීවත් වෙන ආච්චිලාගේ ගෙදර ආවා. එදා වාද්දුවේ පල්ලියේ මංගල්‍යයට ගියා. වාස් පදංචි වෙලා හිටියෙ බේරුවල. කොහොම හරි එයත් එදා මංගල්‍යයේ දේව මෙහෙයට ඇවිත් හිටියා. වැඩේ කියන්නේ එදා පල්ලියේ මම දණ ගහපු තැනම අනික් පැත්තෙන් මෙයත් ඇවිත් මම ළඟින් දණ ගැහුවා. මම එයා කවුද කියලවත් දන්නෙත් නෑ. මිට කලින් දැකලත් නැහැ. මම මේ පුද්ගලයා දිහා රවලා බැලුවා. එයා මගේ රැවිල්ලට මගේ මුහුණ දිහා බලාගෙන කට කොනකින් හිනා වුණා.

කොහොම හරි ආච්චිගේ ගේ තිබුණෙත් පල්ලිය වත්ත ළඟමයි. මමත් ආච්චිත් එදා පූජාව ඉවර වෙලා ගෙදර ගියා. මෙන්න බොලේ වාස් අපේ ගේ දොරකඩ. ඒ වෙන කොට වාස් චිත්‍රපටවල රඟපාන නළුවෙක්. 1952 තමයි එයා රඟපාන්න පටන් අරන් තිබුණේ. ආච්චිගෙන් ඇවිත් ඇහුවා මේ ළමයා එක්ක මට ටිකක් කතා කරන්න ඕනෑ. මට මේ ළමයා ගැන අදහසක් තියෙනවා කියලා. ඒ පාර ආච්චි කිව්වා මේ මගේ ළමයෙක් නෙමේ. තාත්තා අම්මා මතුගම ඉන්නේ. එයාලගෙන් අහලා තීරණයක් ගන්න කියලා. ඒ පාර වාස් අපේ මතුගම ගෙදරට ගිහින් තාත්තා හම්බවෙලා අදහස කිව්වා. මුලදී තාත්තා කැමැති වුණේ නැතත් පසුව ඒ අදහස වෙනස් කරගෙන අපේ පවුලේ හිටිියේ ගෑනු දරුවෝ තුන් දෙනාට තිබුණ වතුපිටි විකුණලා ඒ ලැබුණ මුදල තුන් දෙනාටම බෙදාදීලා අපේ විවාහය සිද්ධ කළා.

සල්ලි දීලා වෙඩින් එක අරන් ඔබව කැන්දන් යන්නලු වාස් ඇවිත් තිබුණා කියන්නේ ඇත්තද?

ඒක නම් ඇත්ත. අපේ හමුවීම හරියට දෙයියො දුන්න තෑග්ගක්. එයා කොහෙද මම කොහෙද. අපි ආශ්‍රය කරලත් නෑ. පල්ලියේ දැක්කා. එයාම යෝජනා කළා. තාත්තාගේ ආශිර්වාදය ගත්තා. අපේ තාත්තාට කෙළින්ම කිව්වා දුවගේ වෙඩින් එක ගන්න මම සල්ලි දෙන්නම්. දුවව මට දෙන්න කියලා. ඒත් තාත්තා එහෙම කළේ නැහැ. අපේ දේපළ සමසේ බෙදලා තාත්තාගේ යුතුකම් ඉටු කළා. කොහොම හරි මම වාස්ට වැඩිය අවුරුදු දහ අටක් බාලයි. අපි දෙන්නාගේ හමුවීමත් හරි පුදුමයි. එයා මට කැමතිවීමත් මම එයාට කැමති වීමත් ඊටත් වැඩිය පුදුුමයි.

වාස් හා අතිනත ගන්න කලින් වාස් රඟපෑ චිත්‍රපට එහෙම ඔබ නරඹා තිබුණාද?

නෑ, කොහෙත්ම නෑ. එයා විවාහ වෙන්න ඉන්න කොට තමයි ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයාගේ සංදේශය චිත්‍රපටයේ රඟපෑවේ. මම හාපුරා කියලා එයා එක්ක සංදේශය ප්‍රිමියර් එකට ගිහින් තමයි මුලින්ම සංදේශය නැරැඹුවේ.

වාස්ගේ රංගනයන් එක් වූ චිත්‍රපට ලැයිස්තුවේ ඔබ සිත් ගත් නිර්මාණ එහෙම ඇති නේද?

සංදේශය චිත්‍රපටයේ එයා රඟපෑ කත්කාරයාගේ චරිතයට මම අදටත් ආදරෙයි. ඒ චිත්‍රපටයේ එයා කළ ඒ විශිෂ්ට රංගනය අදටත් මගේ සිත තුළ සැඟවෙලා තියෙනවා. සිඟිති සුරතල්, සසරක හැටි, මංගල තෑග්ග තවත් එයා රඟපෑ නිර්මාණ අතරින් මගේ සිත් ගත් නිර්මාණ කීපයක්.

වාස් මුළු මහත් ජීවිතයම සිනමාව වෙනුවෙන් කැප කළ පුද්ගලයෙක් බවට බොහෝ දෙනා පවසනවා නේද?

ඒක සහතික ඇත්ත. එයා මුදල් බලාගෙන කවදාවත් රඟපෑවේ නැහැ. චිත්‍රපට නිෂ්පාදකයෙක්, අධ්‍යක්ෂවරයෙක් එයාට චිත්‍රපටයකට කතා කලත් කීයක් දෙනවද කියලා ඇහුවේ නැහැ. එයා කිව්වේ අපි වැඩේ කරමු කියලා. කොහොම හරි එයා ජීවිතයම කැප කරලා රඟපෑවා. නිෂ්පාදකයෝ ගොඩ ගියා. ඒ වගේ චිත්‍රපට රඟපාලා මුදල් නොලැබුණ චිත්‍රපට ඕනෑ තරම් තියෙනවා. අදටත් චිත්‍රපට නිෂ්්පාදකයෝ මැරුණු වාස්ට ණයයි. වාස් කොච්චර බැරි වුණත් ජීවත් වෙන්න මුදල් නොතිබුණත් සල්ලි ඉල්ලගෙන නිෂ්පාදකවරයෝ පස්සේ ගියේ නැහැ. සමහරු පොරොන්දු මුදල දුන්නේ නැහැ.

දශක පනහකටත් වැඩි කලක් රංගනයේ නියැළි වාස් රඟපෑමෙන් ඉපයූ වැඩිම මුදල රුපියල් පහළොස් දහසයි කියන්නේ ඇත්තද?

ඒක ඇත්ත. එයාගේ ජීවිත කාලයේ රඟපෑම වෙනුවෙන් එයාට ලැබුණු ලොකුම මුදල රුපියල් පහළොස් දහසයි. ඒ මුදල ලැබුණේ වරදට දඬුවම් චිත්‍රපටය වෙනුවෙන්. එහි නිෂ්පාදක වූ විජය කුමාරණතුංග තමයි ඒ මුදල වාස්ට දුන්නේ.

විජය කුමාරණතුංග මියයන තුරාම වාස්ට මාස්පතා මුදලක් ප්‍රදානය කළා නේද?

විජය කුමාරණතුංග මගේ මහත්තයාට පුදුම විදියට ආදරය කළා. හැම මාසෙකම කිසියම් මුදලක් මගේ මහත්තයාට එන්න කියලා හරි එහෙම නැත්නම් විජය කුමාරණතුංග අපේ ගෙදරට ඇවිත් හරි දීලා තියනවා. මම අදටත් දන්නේ නැහැ ඒ ලෙන්ගතුකමට හේතුව මොකක්ද කියලා.

විජය කුමාරණතුංගගේ හදිසි වියෝව වාස් තුළ දැඩි කම්පනයක් ඇති කරන්නත් ඇති?

විජයගේ මරණය ආරංචි වෙලා වාස් ඔළුවේ අත ගහගෙන ඇඬුවේ හරියට තමන්ගේ දරුවෙක් නැති වුණා වගේ. සති ගාණක් යනකන් එයා හරියට කෑමක් ගත්තේ නැහැ. විජයගේ අකල් වෙන්ව යාම එයාට මහ මෙරක් වගේ දැනෙන්න පටන් ගත්තා.

වාස් පවුලේ දූ දරුවන් එහෙම කොහොමද?

මිරානි දුව, මිලාල් පුතා, ජානකී දුව, චින්තක පුතා, ඉනෝකා දුව මේ හැමෝම අද විවාහ වෙලා. මම මිලාල් පුතාගේ බත්තරමුල්ලේ ගෙදර ජීවත් වෙනවා.

වාස් ගිය අඩි පාරේ යන්න එක දරුවෙක් හරි රංගනයට එක් වුණා?

චින්තක පුතා තාත්තා වගේම රංගනයටත් දක්ෂයි. අද චින්තක පුතා චිත්‍රපටවල වගේම ටෙලි නාට්‍යවලත් රංගනයේ නියැළෙනවා. ඒ ගැන මට හරිම සතුටුයි. තාත්තාගේ මුහුණුවරත් චින්තක පුතාට හොඳට පිහිටලා. ඉදිරියේදී චින්තක පුතාත් තාත්තා වගේම දක්ෂ රංගන ශිල්පියෙක් වෙයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා.

වාස් රංගනයට වගේම ගායනයටත් පෙළහර පෑ කලා ශිල්පියෙක්?

විදා සවන මාලා . . ., නාදේ නාදේ සාදු නාදේ . . . එයාගේම ගීත. ඒ ගායන හැකියාව එයා රංගනය තරම්ම ඉදිරියට අරන් ආවේ නැහැ. මුල් කාලයේ නම් ගායනයත් සිද්ධ කළා.

ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන රණතිසර සම්මානයෙන් පුද ලබන්න තරම් ඔබේ ස්වාමියා වාසනාවන්ත වුණා?

27 වන සරසවිය සම්මාන උළෙලේ වාස් මේ සම්මානයෙන් පිදුම් ලැබුවා. එදා තමයි වාස් තමන්ගේ රංගන ඉතිහාසයේ උපහාරයක් ලෙසින් මෙම සම්මානයෙන් වගේම රුපියල් පනස් දහසක මූල්‍ය ත්‍යාගයකින් පිදුම් ලැබුවේ. ඒ අමරණීය දිනයේ වාස්ගේ ඇස්වලින් ගැලුව සතුටු කඳුළු එයා රංගනයේ වසර පනහක් ගෙවා දැමූ සියලු දුක්ඛ දෝමනස්සයන් සෝදා හැරියා කියලයි මට හිතෙන්නේ.

වාස් සමඟ ගෙවපු ජීවිතයත් වාස් නැතිව ගෙවන ජීවිතයත් ගැන අද මොකද ඔබට හිතෙන්නේ?

වාස් මිය යන කොට වයස අවුරුදු අසු දෙකක්. අපි දෙන්නා විවාහ වුණේ 1961. දරුවෝ පහක් ලබලා අපි දෙන්නා සතුටින් ජීවත් වුණා. අපි ලස්සන පවුල් ජීවිතයක් ගත කළා. රටේ කොහේ ෂූටිං තිබුණත් ගෙදර එන්න පුළුවන් හැම දවසකම ගෙදර ආවා. අපේ ජීවිතවලට අඩුපාඩුවක් තිබ්බේ නැහැ. වැල්ලම්පිටියේ අපි පදිංචි වෙලා හිටිය ගේ මහා ගංවතුරකට අසුවෙලා අපේ සියලු සේසත අහිමි වෙලා යන කොට එයා වෙනුවෙන් එයාගේ යාළු මිත්‍රයෝ උදව් කළා දරුවන්ට උගන්නව ගන්න. උදවු කරපු එයාගේ යාළු කලා ශිල්පීන් හිටියා. අපිට ගෙයක් දොරක් නැති වෙලා ඉන්න තැනක් නැති වෙන කොට රණසිංහ ප්‍රේමදාස මහත්තයා අපේ දුක දැකලා එදා පිහිට වුණා. එතුමාට පින්සිදු වෙන්න තමයි අද මේ ගේ හදලා තියෙන ඉඩම ලැබුණේ. වාස් අපි වෙනුවෙන් වින්ද දුක් අපමණයි. එයා නැති වුණත් අපිට වින්සන්ට් වාස් කියන නම අදටත් කල්ප වෘක්ෂයක්.