වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 09 වැනිදා බ්‍රහස්පතින්දා




තාත්තාගේ ගී අදටත් ජනපි‍්‍රයයි

නව වසරට පි‍්‍රයංකර ගෙන් “පැදුර”

මිල්ටන් පෙරේරා එදා ගැයූ ජනපි‍්‍රය ගී එකතුවක්...

තාත්තාගේ ගී අදටත් ජනපි‍්‍රයයි

ඔහු එක් යුගයකට අයත්, එක් පිරිසකට සීමා වූ ගායකයකු නොවේ. යුග යුග පුරා, ජන සිත් අරා ජේ. ඒ. මිල්ටන් පෙරේරා නාමය සදා දිදුළන්නේ එහෙයිනි. රත්තරං මිල පහල ගිය ද කිසිදිනෙක මිල්ටන් ගේ ගීවල වටිනාකම වියැකෙන්නේ නැත.

මිල්ටන් ගේ ශෝකී ගී රාවය පරාජිත පෙම්වතුන්ගේ තනිකමට සෙවණැල්ලක් මෙනි. විරහ වේදනාවේ කඳුළ ඔහුගේ ගී හඬින් සුවපත් වන්නේ පහන් සංවේගයක් හදවතේ ජනිත කරමිනි.

ඒ සුපෙම්වත් ගී රාවය අපේ පරම්පරාවට ගෙන ආවේ මිල්ටන් ගේ ආදරණීය පුත්‍රයා, පි‍්‍රයංකර පෙරේරාය. සිය පියාගේ මියුරු ගී රැසක් ඔහු මේවන විටත් රසික සහෘදයන් වෙත ඉදිරිපත්කර ඇත. ඒ ඒ මිල්ටන්ගේ මියුරු ගී රසය විකෘති නොකරමිනි.

මිල්ටන් පනස් වසරකට පෙරාතුව ගැයූ අතිශය ජනපි‍්‍රය ගී 16 ක් උදා වූ සිංහල අලුත් අවුරුදු සමයේ පි‍්‍රයංකර සිය ආදරණීය රසික ජනතාව වෙත ඉදිරිපත්කර තිබේ. “පැදුර” මිල්ටන් ගේ මෙන්ම පි‍්‍රයංකර ගේ රසික, රසිකාවන් වෙනුවෙන් අවුරුද්දට පිදෙන ගීතමය තිළිණයක් බඳුය.

“තාත්තගේ ගොඩක් ගීත මම ගායනාකර තිබෙනවා. ඒත් ගායනා නොකළ ගීතත් තිබුණා. ඒවා ගුවන් විදුලි නාළිකාවල වැඩිය ප්‍රචාරය වෙන්නෙත් නැහැ. හැබැයි ඉතාම මිහිරි, ලස්සන ගීත, ඉතිං මීට පෙර මම ගායනා කළ ගීතත් අර නොගැයූ ගීත කිහිපයකුත් එකතුකරගෙන තමයි මම මේ ඛ්ච් එක කළේ”.

පි‍්‍රයංකර පවසන්නේ සිනහවක් මුවට නඟා ගනිමිනි. ඒ සිනහවේ රැඳී ඇත්තේ අපූර්ව ළෙන්ගතු බවකි. මිත්‍රත්වයකි. ඒ අතරතුර ඔහු මිල්ටන් ගේ සදාදරණීය ගීයක් සෙමෙන් මුමුණයි.

“ඔබේ ප්‍රේම නගරේ
තැනූ ප්‍රේම මැදුරේ
නවාතැන් සොයා පැමිණි මා
ගියේ ඇයිද හැරදා දමා...හෝ

අද ඇසෙන වැළපිලි ගී කෙතරම් අසංවර, අපුල දනවන, ඔක්කාරයට එන ගීත දැයි සිතෙන්නේ එබඳු සොඳුරු ගැයුම් ඇසෙන විටය. ගී පදවල ඇති විචිත්‍රත්වය මෙන්ම ගායනයෙහි අපූර්වත්වය ද එකී ගීත සාර්ථක වන්නට බෙහෙවින්ම ඉවහල් වූ බව රහසක් නොවේ. අද නිර්මාණය නොවන්නේද එවැනි හෘදයාංගම, ආදරණීය ගීතය.

ඇත්තටම තාත්තගේ ගීතවලට තවමත් මිනිස්සු කැමැතියි. පැරැණි රසිකයෝ ගොඩක් තවමත් තාත්තගේ ගීත රස විඳිනවා. ඒ ආදරය අපිටත් දැනෙනවා.

අලුත් පරපුර ඒ ගීතවලට දක්වන්නේ කොයි වගේ ප්‍රතිචාරයක්ද?

අලුත් කොල්ලෝ, කෙල්ලොත් තාත්තගෙ පැරැණි ජනපි‍්‍රය ගීවලට කැමැතියි. ඔය මාධ්‍යවලින් ජනපි‍්‍රයයි කියලා පෙන්වන ගීතවලට නෙවෙයි ඇත්තටම ඔවුන් කැමැති. තාත්තලගේ, ජෝති අංකල්ලාගේ, මිල්ටන් මල්ලවාරච්චිලා ගේ ගීතවලට. ඒක තමයි ඇත්ත.

හරි පි‍්‍රයංකර මොනවද එතකොට මේ “පැදුර” සංයුක්ත තැටියේ අඩංගු ගීත?

සුරැකීමට හෝ, ටික්කි ටිකිරි, ඔබේය ප්‍රේම නගරේ, විමන් ඉඩ ඇතේ, කවුරුවත් එන්නේ නෑ, අපේ පෙම් ලෝකෙ සඳ පායා, ආදරේ උපත ඔබයි, මගේ නයනාවී, රත්තරනේ දිනුවා, සුර ලෝකේ මං, දෛවය අපෙ මිතු දමට, හිනැහෙන තැනක් හිමී, මම හින්ද නේද මේ දුක, වගේ ගීත මේ සී. ඩී එකේ ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම තාත්තගේ මුල්ම යුග ගීතයත් ඔන්න මම මේ ගීත එකතුවට ගායනා කළා.

මොකක්ද ඒ?

“එන්නද රං මැණිකේ – ඔබේ පැල්පතට උදේ” කියන ඒ ගීතය තාත්තා ගායනා කළේ පුෂ්පරානි ආරියරත්නත් එක්ක. චිත්‍රානන්ද අබේසේකර රචනා කරපු ඒ ගීතය සංගීතවත් කළේ පී. එල්. ඒ. සෝමපාල. 1957 දී තමයි මුලින්ම ගුවන් විදුලියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ.

නව සංගීත සංයෝජනයෙන් පි‍්‍රයංකර එළි දක්වා ඇති මේ ගීත එකතුව ඝෝෂාකාරී, ඒකාකාරී සංගීත රටාවන්ගෙන් බැහැර වූ නිර්මාණ එකතුවකි. තබ්ලා, ඩොලැක්කි, වයලීන, සර්පිනා වැනි සංගීත භාණ්ඩ යොදා ගනිමින් පැරණි ගී රසය ඉස්මතු වන අයුරින් මේ ගී සඳහා සංගීතය නිර්මාණය කර තිබේ. ඒ නව සංගීත සංයෝජනය තිළිණ තුෂාර ගෙනි.

තාත්තගේ පැරැණි ගීතවල තිබුණ සංගීත රසය ඒ විදිහටම තියාගෙනයි මේ ගීත ප්‍රති නිර්මාණය කළේ. “පැදුර” යන නම මේකට යෙදුවෙත් ඒ නිසයි. ඇත්තටම ගීත පටිගත කිරීමේදී මට හේමලාල් ගීතදේවගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඔහුගේ ශබ්දාගාරයේ තමයි මේ ගීත සියල්ල පටිගත කළේ.

අද වෙනකොට කැසටි, සී. ඩී. ව්‍යාපාරය බිඳ වැටිලා. ඉතින් පි‍්‍රයංකර හිතනවද “පැදුර” ට රසිකයන්ගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙයි කියලා?

මම අනිවාර්යයෙන්ම එහෙම හිතනවා. මොකද තාත්තගේ රසිකයො මගෙන් ඉල්ලීමක් කළා මෙවන් ගීත එකතුවක් කරන්න කියලා. ඉතින් ඔවුන් ඒ නිර්මාණ රස විඳීවි. මොකද මේ ඔවුන්ගේ ඉල්ලීමක් ඉටු කිරීමක්.

මේ වගේ කාලෙක, මේ වැඩේට අතගහපු එකත් ලොකු දෙයක්. කවුද මේ කාර්යයට ඔබට දායක වුණේ?

පි‍්‍රයන්ත උදයකුමාර තමයි මේ වැඩේ සම්බන්ධීකරණය කළේ. ඔහු ජෝති මිතුරු සමාජයේ ලේකම්. එතකොට ජාලිය ලියනගේ මේ සංයුක්ත තැටිය නිෂ්පාදනය කළා. ඔහු ලොකු සල්ලිකාරයෙක් නෙවේ. රජයේ සේවකයෙක්. සල්ලි හම්බු කර ගැනීමේ චේතනාවෙන් තොරවයි ඔහු මේ වැඩේට අත ගැහුවේ. මේ හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා.