වර්ෂ 2015 ක්වූ මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දා




සෙල්ලප්පෙරුමගේ ‘සංජානා’ 18 දා සිට රිද්මා මණ්ඩලයේ...

සෙල්ලප්පෙරුමගේ ‘සංජානා’ 18 දා සිට රිද්මා මණ්ඩලයේ...

සමීර රන්දෙණිය මුල්වරට සිනමාවට

හේමසිරි සෙල්ලප්පෙරුමගේ 34 වැනි සහ අවසාන චිත්‍රපටය ‘සංජානා’ මෙම 18 වැනිදා සිට රිද්මා මණ්ඩලයේ සිනමාශාලාවල තිරගත කෙරේ.

සංජානා අධ්‍යක්‍ෂණය සේම කතාව, දෙබස් සහ තිර රචනයද හේමසිරි සෙල්ලප්පෙරුම විසිනි. සමීර රන්දෙණිය, අනර්කලී ආකර්ෂා, මංජුලා කුමාරි, සංඛ ප්‍රසාද්, අනුෂා දමයන්ති, රෙබෙකා නිර්මලී, කුසුම් රේණු, මානෙල් වානගුරු, විල්සන් කරු, ඉන්දික රත්නායක, ටෙඩී විද්‍යාලංකාර සමඟින් හදුන්වා දෙන ළමා නිළි අශ්නි සෙනායා ඇතුළු නළු නිළියන් රැසක් මේ සඳහා රංගනයෙන් දායක වෙති. ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය ගේ පුත් සමීර රන්දෙණිය සිනමාවට හදුන්වා දෙන සහ ජනපි‍්‍රය රංගන ශිල්පිනී මංජුලා කුමාරි රඟන පළමු චිත්‍රපටය ද මෙය වේ.

ග්‍රේෂන් ආනන්ද, උරේෂා රවිහාරි, නිරෝෂා විරාජිනී, සමන් ගුණවර්ධන, සංගීත් විජේසූරිය සමඟින් අභිෂේකා විමලවීර මෙහි ගායනයෙන් දායක වෙති. අර්නස්ට් සොයිසා සංගීත අධ්‍යක්‍ෂවරයාය. සරත් සිල්වා සටන් අධ්‍යක්‍ෂණයෙන් ද, සංඛ ප්‍රසාද් නර්තන අධ්‍යක්‍ෂණයෙන් ද, කිරන් ජි සොයිසා වේශ නිරූපණයෙන් ද, දිනේෂ් කුමාර කැමරාකරණයෙන් ද, ධනේෂ් ලංකා පීරිස් සහාය අධ්‍යක්‍ෂණයෙන් ද, ප්‍රවීන් ජයරත්න සංස්කරණයෙන් ද එක්වන මෙය සුරංග අල්විස් ගේ නිෂ්පාදනයකි.

ආචාර්ය අජන්තා රණසිංහ, ආනන්ද පද්මසිරි, සුනිල් විමලවීර, කැලුම් ශ්‍රීමාල්, සමන් චන්ද්‍රනාත් වීරසිංහ මෙහි ගී පද රචනා කර තිබේ. තරුණ සැමියකු තම සිඟිති දියණිය සමඟින් මුහුණ දෙන සිදුවීම් පෙළක් ‘සංජානා’ හි දිග හැරේ.