වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




‘සාදය මාරයි - සල්ලි හමාරයි දැන් ගුටි කෑමට නියමිතයි’

‘සාදය මාරයි - සල්ලි හමාරයි දැන් ගුටි කෑමට නියමිතයි’

ධර්මපි‍්‍රය ඩයස්ගේ හෙළිදරව්වක්

අප කැස්බෑවේ විහාර මාවතට ගියා. විහාර මාවතේ මද දුරක් ගිය තැන හමුවන ඒ සොඳුරුතමයාගේ කැදැල්ල අසල මදක් නැවතුණු අප සිතෙන් විමසුවේ නියම විදියට ඔහුගේ නිවෙස ද කියලා. කළුවර රුකක සෙවණෙන් සෙවණ වුණු මිදුල කොනක සිටියේ පොඩ්ඩෝ දෙන්නෙක්.

දෙන්නගේම දෙඅතට හිරවෙලා සිටියේ පොල්පිති ගොන්නු දෙන්නෙක්. අද කාලයේ දරුවන්ගෙන් බලාපොරොත්තු නොවිය හැකි ඒ සෙල්ලම දෙස මා බලාගෙන සිටියේ පුදුමයෙන්. මේ අයියයි, මල්ලියි පොල්පිති ගොන්නු දෙන්නත් ඇදගෙන මිදුල වටේ තාලයට ගිය ගමන නැවතුණේ අප දුටුව නිසා.

'තාත්තේ . . . තාත්තේ'

ලොකු පුතා කතා කළේ තමන්ගේ නිවහනට ආව අමුත්තන් ගැන කියන්න සිතාගෙන. ලොකු පුතාගේ ස්වරයට කැදැල්ලෙන් එළියට ආව තාත්තා අප දැකලා සිනාසුණා.

'එන්න . . . එන්න . . .'

කවුරු සමඟ කතා කළත් මුවඟට නැඟෙන අව්‍යාජ සිනහවෙන් අපට ආරාධනා කළේ ඔබ ආදරය කරන ධර්මප්‍රිය ඩයස් කියන රංගන ශිල්පියා.

'අපි මේ බලාගෙන හිටියේ පුතාලා දෙන්නගේ සෙල්ලම දිහා'

දිගු කතාබහකට මුල පුරන ගමන්ම අප ධර්මප්‍රිය ඩයස්ගේ කැදැල්ලට පිවිසුණා.

'සෙල්ලම් තුවක්කුවලින් කරන සෙල්ලම්වලට වඩා මේ සෙල්ලම හොඳයි කියලයි මට නම් සිතෙන්නේ. මොකද පරිසරයත් සමඟ ගනුදෙනු කරන්න ඔවුන් මේ මඟින් ඉගෙන ගන්නවා.

මේ සෙල්ලම පුතාලට කියලා දීලා තියෙන්නේ බිරියගේ තාත්තා. දවසේ වැඩිපුරම පුතාලා කාලය ගත කරන්නේ සීයා, ආච්චි එක්කයි. ඒ නිසා පුතාලට තාත්තාත්, අම්මාත් කතන්දර කියන්නෙත්, සෙල්ලම් කියලා දෙන්නෙත් බොහොම කැමැත්තෙන්.'

සීයාගේත්, ආත්තම්මාගෙත් ආදරයට මැදි වුණු ඔවුන්ගේ ජීවිතය ගෙවෙන්නේ අර්ථවත් අයුරෙන්.

'ඔබට පුතාලත් එක්ක කාලය ගත කරන්න ඉඩක් ලැබෙන්නේ කලාතුරකින්ද?'

'මගේ කාර්යබහුල ජීවිතය නිසා මට පුතාලත් එක්ක දවසම ඉන්න ලැබෙන්නේ කලාතුරකින්. ඒත් මේ වගේ නිවාඩුවකට පමණයි. සතියේ දවස් පහේම මම පාසල් යනවා. උගන්වන්නේ දෙහිවල ශාස්ත්‍රානන්ද විද්‍යාලයේ. එහි චිත්‍ර මූර්ති උගන්වන ගුරුවරයෙක් ලෙස කටයුතු කරන අතරතුරම නාට්‍ය හා රංග කලාවත් උගන්වනවා. ඉන් පසුවයි නිර්මාණ කටයුතුවලට සහභාගි වන්නේ.

පසුගිය දිනවලදී නම් මා ගොඩක් මහන්සි ගත්තේ මගේ වේදිකා නාට්‍යය පුහුණුවීම් සඳහායි. එය 'සාදය මාරයි සල්ලි හමාරයි' කියන නමින් මේ දවස්වල වේදිකා ගත වෙනවා. ඒ සඳහා රට වටේම යන්නට ආරාධනා ලැබිලා තිබෙනවා. ඒ වගේම මම රඟපාන 'ගුටි කෑමට නියමිතයි' වේදිකා නාට්‍යය සමඟත් වේදිකාවේ සැරිසරනවා. මේ කටයුතු කෙරෙන විට කාලය ගත වෙනවා නොදැනෙන තරම්.'

ඒ විදියට දවස ගෙවිලා ඩයස් ගෙදර එන්නේ රාත්‍රියේ. ඒ එන විට පොඩ්ඩෝ දෙන්නම නිදි දෙව් දුව වැළඳගෙන.

'නිවෙසේ සියලුම කටයුතු කරට අරගෙන කරන්නේ බිරින්දෑ වගෙයි'

'ඒක නම් ඇත්ත. වගකීමෙන් වැඩ කරන බිරියක් ඉඳීමම තමයි මගේ දියුණුවේ රහස වෙන්නේ. එහෙම නැතිව හැම දෙයක්ම කරන්න මම එනතුරු ගෙදරට වෙලා බලාගෙන ඉන්න බිරියක් වුණා නම් මට අද කලා කටයුතුවල නියැළෙන්නට වෙන්නේ නැහැ. ඔබට අද ධර්මප්‍රිය ඩයස් කියන රංගන ශිල්පියාව දකින්නට ලැබෙන්නේ නැහැ.

මේ නිසා ඇය වගේ බිරියක් ලැබීම මට ආඩම්බරයක්. නිවසේ කටයුතු සොයලා බලලා කරනවා වගේම දරුවන් තුන්දෙනාවම බලා ගන්න එක සුළුපටු දෙයක්ද?'

ධර්මප්‍රියගේ ඒ කතාවට නම් මගේ සිතේ ඇති වුණේ සැකයක්. ඒ සැකය දුරු කර ගන්න හිතාගෙන මා ඔහුගෙන් මෙහෙම විමසුවා.

'ඒ කියන්නේ තවත් පුතෙක්වත් ඉන්නවද?

ඒ ප්‍රශ්නයට හඬ නඟා සිනාසුණු ධර්මප්‍රියගේ සිනහව මුළු නිසෙටම ඇහෙන තරම්.

'මේ දෙන්නට අමතරව ඉන්න එකම ළමයා ඉතිං වෙන කවුරුත් නොවෙයි මම තමයි. ළමයි දෙන්නගේ වගේම මගේ සෑම කටයුත්තකටමත් සහයෝගය දෙමින් සෙවණැල්ල වගේ මගේ ළඟම ඉන්නේ බිරිය තමයි'

විහිළුවෙන් ආරම්භ කළ කතාවට ඔහු අර්ථයක් සැපයුවා. ඒ අතර බිරිය අනෝජා නිලන්ති සාලයට ආවේ පොඩ්ඩන් දෙන්නගේ කෑගැහිල්ල නවත්වන්න.

'නිවසේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ කීයටද?'

'මහත්තයාත්, ලොකු පුතාත් පාසල් යන නිසා මම පාන්දර හතරට පමණ අවදි වෙනවා. ඒ දෙන්නට කෑම අරගෙන යන්න ඕන නිසා මම උදෙන්ම උයනවා. ඒ දෙන්නා ගියාට පස්සේයි මම නිවෙසේ අනෙක් වැඩ කටයුතු කරන්නට පටන් ගන්නේ. පුංචි පුතාව බලාගන්න අම්මයි, තාත්තයි ඉන්න නිසා මගේ වැඩ කටයුතු පහසුයි.

ලොකු පුතා පාසලෙන් ගන්න කටයුත්ත වගේම එයාව පන්තිවලට අරගෙන යන්න මට හැකියාව ලැබෙන්නේ ඒ අය සිටින නිසා. නිවසට අවශ්‍ය සියලුම දේ සමහර අවස්ථාවල අරගෙන එන්නේ මම තමයි. ඒත් සමහර කාලය තිබෙන අවස්ථාවලදී ඩයස් වුණත් ඒ කටයුතු කරනවා'

දඟකාර ස්වර්ණ රාවණ ඩයස් වගේම ප්‍රවර භාෂණ ඩයස් පුතාලා ඈතට අරගෙන යන ගමන් ඈ පිළිතුරු බැන්ඳා.

බිරිය වැඩිපුර උයන්නේ කවුරු කැමැති කෑමද?'

'මේ වන විට නම් දරුවන්ගේ ආහාර රටාවටයි මුල්තැන ලැබෙන්නේ. ඔවුන්ගේ කැමැත්තට මුල්තැන දෙන විදියට ආහාර පාන සැකසෙන අතරම මගේ කැමැත්ත පිළිබඳත් බිරිය සිතනවා. මම වැඩියම කැමැති පොල් සම්බෝලවලටයි, හාල්මැස්සන් බැඳුමටයි.

ඒ කැමැත්තට උයන වෙලාවල් ඕනෑ තරම්. ඉඳලා හිටලා දෙන්නත් සමඟම උයන්න මහන්සි ගන්න වෙලාවලුත් නැතිවම නොවෙයි. ඒත් ඉතිං මම හිතන්නේ උදව් නොකරනවා නම් තමයි වඩා හොඳ කියලා. එතකොට නියම විදියට ඒ දේවල් කෙරේවි. එහෙම නැති වුණොත් මොන වගේ කෑමක් හැදේවිද කියලත් සිතෙනවා.'

හවුලේ හදන්න ගිය කෑමක් වැරැදුණු දවසක් ගැන මතකයට නැඟුණු බැවින්දෝ ඔහු එවැනි අදහසක් කතාව අගට එකතු කළා.

'ඉඳහිට ලැබෙන නිවාඩුව කොහොමද ගත කරන්නේ?'

'නාට්‍යයක් බලන්න යන එක තමයි අපි ගොඩක් වෙලාවට කරන්නේ. ලොකු පුතාට නාට්‍ය බලලා දැන් හුරුයි. තනියම වුණත් පුතාට නාට්‍යයක් බලන්න පුළුවන්. ඒත් පුංචි පුතා නිසා අපි දෙන්නා නාට්‍යය බලන්නේ දෙපාරටයි.

මේ කොහොම වුණත් මේ දේත් කියන්න ඕනෑ. මට තරමක් කේන්ති යන නිසා මාව ඉවසගෙන ඉන්නට ඈට තිබෙන්නේ පුදුම ඉවසීමක්. ඒ වගේම මාව අවබෝධ කරගෙන ඉන්න නිසා අපේ කැදැල්ලේ සතුට පිරිලා ඉතිරිලා'

අපේ කතාව අවසන් වනතුරු ස්වර්ණත්, ප්‍රවරත් බලාගෙන හිටියේ තාත්තාගේ ඔඩොක්කුවට පනින්න. ඒ කාලයකට පස්සේ නිවෙසේ ඉන්න තාත්තාගේ හුරතල් විඳින්න, සෙල්ලම් කරන්න කුඩා දරුවෝ දෙන්න ආස නිසා. ඔවුන්ගේ හුරතල් අතර කාලය ගත කරන්න අනෝජාත් ඔවුන් අතරට ආවා. ඒ සුන්දර කැදැල්ලේ සතුටට ඉඩ හසර පාදමින් අපි සමුගත්තේ තවත් දවසකට සුබ පතමින්.