වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




ජීවත් වුණත් නොමැරෙන මැරුණත් ජීවත්වන මිනිසුන්ගේ ප්‍රහසනය

ජීවත් වුණත් නොමැරෙන මැරුණත් ජීවත්වන මිනිසුන්ගේ ප්‍රහසනය

අපි මැරෙන්නේ නෑ මොහාන් නියාස්ගේ චිත්‍රපටයක්

වේගයෙන් ඇදී යන වෑන් රථයේ වාඩි වී සිටින මනෝජ් අමරජීව සිටින්නේ කල්පනාවකය. රාජකාරි කටයුත්තක් සඳහා ගමන් කරමින් සිටි ඔහු සිටින්නේ තනිවම නොවේය. එනම් කාර්යාලයේ පිරිසක් ද සමඟ එක්වරම වේගයෙන් ඇදී යන රථයේ වේගය අඩු වෙයි. ඉන් බිමට බසින්නේ මනෝජ්ය. වාහනය නවතා මඳ දුරක් වූ වදුලට මුවා වන ඔහු ඊළඟ තත්පරයේදී දකින දසුනෙන් මවිත වෙයි. මනෝජ් සිය දෙනෙත පිස දමා බැලුවේ ඔහු දුටුවේ සැබෑවක්දැයි සැක හැර දැනගනු පිණිසය. ඔහුට දැඩි පිපාසයක් දැනිණි. දිව ගිලෙන්නට එන්නා සේය. සිතට සිතෙන කිසිවක් මුවෙන් ගිලිහී නොයයි. ඔහු දිගු වේලාවක් එලෙසම බලා සිටියේ කුමක් කළ යුතුදැයි නොදැනය.

‘දෙයියනේ . . . බෝම්බයක්’

වෑයමකින් එළියට පැමිණි ඒ වචන කිහිපය කියන්නට ගත් උත්සාහය දන්නේ මනෝජ් පමණි.

‘අපි ආව වාහනයට බෝම්බයක් තියලා. හිටිය ඔක්කොම නිකං අඟරු වෙලා ගිහිල්ලා. එකම ගිනි ජාලාවක් විතරයි පෙනුණේ. මට හිතාගන්නවත් බැහැ’

මනස එක්තැන් කරගත් ඔහු තෙපලුවේ ඔහුගේ කාර්යාලයීය සඟයන්ට වූ දෙය අදහා ගන්නට බැරි කලෙක මෙනි. එහෙත් මනෝජ් තම ශරීරය අත ගා බැලුවේ තවමත් ඔහු ජීවත්ව සිටී ද නැති ද යන වග දැනගන්නටය.

‘මගේ ජීවිතේ වාහනෙන් බැස්ස නිසා බේරුණා’

සිහි එළවා ගත් විගස මනෝජ් කළ යුත්තේ කුමක්දැයි කල්පනා කළේය. කිසිවක් සිතට නොඑළැඹිණි. ඔහුගේ සුරත නැවතුණේ කලිසමේ සාක්කුවේය. සුරතට අසු වූ ජංගම දුරකථනය ගත් හෙතෙමගේ මතකයට පිවිසියේ ගිනිගේය.

‘මචං මාර වැඩක් වුණේ බං’

මනෝජ් එතැන සිදු වූ සිද්ධිය විස්තර කළේ ගැහෙන හදවතිනි.

‘ඔහොම ඉඳපං මං උඹව එක්කර ගෙන යන්න එන්නං’

ගිනිගේ පැවසුවේ ඊළඟට කළ යුතුම දේ එය බැවිනි. ඔහුගේ මිතුරා මැදි වී ඇති අපහසුතාව හඳුනා ගත් ඔහු මිතුරාව ඉක්මනින් දැකබලා ගැනීමට සිතා රථයේ වේගය වැඩි කළේය.

අනතුර වූ ස්ථානයට රැස්වන මිනිස්සුන්ගේ ගණන වැඩි වෙමින් පවතී. ගිනිගේ තවමත් නොපැමිණියේ ඇයිදැයි කියා මනෝජ් සිතමින් සිටින මොහොතේ ඔහු අසල නතර වූයේ රථයකි.

‘නැඟපන් ඉක්මනට’

රථයේ දොර ඇරෙන ප්‍රමාදයෙන් එහි ගොඩ වූ මනෝජ් සිටියේ සිතිවිල්ලේ ගිලෙමිනි.

‘මොකක්ද දැං උඹ කරන්න හිතාගෙන ඉන්නේ’

ඔහුගේ සිතුවිලිවලට බාධා කරමින් ගිනිගේ විමසුවේ නිශ්ශබ්දතාව දරාගත නොහැකි වූ තැනය. මනෝජ් ගිනිගේ ගේ උවන මත සිය දෙනෙත රැඳ වූයේ ඒ වචන ඔහුගේ සවනත ගැටුණු පසුවය.

‘අනේ මන්ද බං මට හිතාගන්නවත් බැහැ’

ඔහුගේ වදනත් සමඟම මෝටර් රථයේ විකාශය වූ රේඩියෝවෙන් ඇසුණේ විශේෂ ප්‍රවෘත්තියකි.

‘ . . . මේ මොහොතකට පෙර මනෝජ් අමරජීව මහතා ඇතුළු පිරිස රැගත් රථය බිම් බෝම්බයකට හසු වූ බවත් එහි විසු සියල්ලන්ම මිය ගොස් ඇති බවත් වාර්තා වෙයි. ප්‍රවීණ ගේය පද රචකයෙක් වූ ඒ මහතා මිය යන මොහොතකට කලින් යමින් සිටියේ කාර්යාලයීය කටයුත්තක් සඳහා බවයි’...

නිවේදිකාවගේ හඬ මනෝජ්ට ඇසුණේ ඔහුගේ කනේ යවුල් අනින්නාක් සේය. ඔහු කිසිවක් නොකියා නතර කර ඇති රථයේ වීදුරුවෙන් පෙනෙන ඉසව්වේ නෙත රැඳ වූයේය. අවුලෙන් අවුලට පත් වී සිටින ඔහුට දැන් මේ ගැටලුව ලිහුනු නූල් බෝලයක් මෙනි. තව තවත් ඒ නූල් බෝලය දිගහැරී ඔහුව නැවතත් අවුලට පත් කරන අයුරු පමණක් හැඟෙයි. ඔහු ගිනිගේ දෙස බැලුවේය. ඒ මේ අවුලෙන් ගොඩ එන්නේ කෙසේදැයි කියා අසන බැල්මක් නෙත රඳවා ගනිමිනි.

‘දැන් මෙහෙමයි කරන්න තියෙන්නේ. උඹව ඔහොම්මම මැරෙන්න ඇරපං’

එක් වරම තිගැස්සුණු ඔහු බලා සිටියේ ගිනිගේ කියන්නට යන්නේ කුමක්දැයි අදහා ගන්නට නොහැකිවය.

‘උඹ මැරුණාට පස්සේ හොඳ වන්දියකුත් ලැබෙන නිසා ඔය විදියටම හිටපන්’

ගිනිගේ පැවසුවේ මනෝජ්ගේ නෙත් උඩ ඉන්දවමිනි.

‘පිස්සුද බං’

එසැණෙන්ම ඔහුගේ මුවඟට නැඟුණේ එවැනි වචන කිහිපයකි.

‘උඹ උඹේ මළ ගෙදරට වරෙන් මල්ලි විදියට’

මනෝජ්ගේ ඊළඟ උපත ගිනිගේ සැලසුම් කළේ ඒ අයුරෙනි.

මනෝජ්ගේ මරණය සැල වූ බිරිය, දියණිය හා පුතා සිටියේ සෝ සයුරේ ගිලෙමිනි. ඒ ශෝකය බෙදා හදා ගන්නට මෙන් පැමිණි අමුත්තෙකි. හේ මනෝජ්ගේ රූපය හා සමාන වුව ද පෙනුමෙන් වෙනස්ය.

‘මනෝජ්ගේ මල්ලි. කාලයක් මෙහේ හිටියේ නැහැණේ’

ගිනිගේ, මනෝජ්ව හඳුන්වා දෙන්නේ එලෙසිනි. මනෝජ් තමා මළගෙදර එහා මෙහා ඇවිදින්නේ කිසිවක් අදහා ගත නොහැකි ලෙසය. ඒ අතර මියගිය මනෝජ් හා ළඟ ඇසුරක් පැවැත් වුවා යැයි පවසමින් මළ ගෙදරට පැමිණෙන යහළුවා දෙස ඔහු හැරී බලන්නේ පුදුමයෙනි.

‘මම තමුසේ වගේ කෙනෙක් ආශ්‍රය කළේ නැහැනේ’

එක්වරම එවැනි වදනක් ඔහුගේ මුවෙන් එළියට පනින්නේ මනෝජ් කරන රඟපෑමත් අමතක කරමිනි.

‘තමුසේ කොහොමද ඒක දන්නේ? තමුසේ එයාගේ මල්ලිනේ’

මේ අලුත් යාළුවා තෙපළන්නේ ඔහුගේ මුවඟට අගුළු දමමිනි.

ඉන්පසු කුමකින් කුමක් වෙවිද? මොහාන් නියාස්ගේ අලුත්ම චිත්‍රපටය ‘අපි මැරෙන්නේ නෑ’ නරඹා ඔබට තිරණයකට පැමිණිය හැකිය.