වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




ධර්මපාල චරිතයට මුලින්ම තෝරාගත්තේ මමයි

ධර්මපාල චරිතයට මුලින්ම තෝරාගත්තේ මමයි

- ශ්‍රියන්ත මෙන්ඩිස් අනාවරණය කරයි

සමකාලීන රංගන ශිල්පීන් අතරෙන් වේදිකාව, පුංචි තිරය හා සිනමාව යන මාධ්‍යත්‍රයෙහිම යාවත්කාලීන ප්‍රමුඛතම රංගන ශිල්පියා ශ්‍රියන්ත මෙන්ඩිස් යැයි මම විශ්වාස කරමි.

සොඳුරු මිටියාවතක, නිසලව ගලා බසිනා සුනිල දිය දහරක් සේ ඔහුගේ රංග ප්‍රතිභාව ද සෙමෙන් ඉදිරියට ඇදේ. විවිධ රංගන ඉරියව් හරහා ඔහු නිරන්තරයෙන් අපට පසක් කර දෙන්නේ චරිතයෙන් චරිතයට වෙනස්වීමේ නළුවකු සතු මහා ආශ්චර්යයි.

අවිවේකී දිවි මඟේ, ඉසිඹුවක් ලද සොඳුරු සැඳෑ වරුවක ශ්‍රියන්ත ‘සරසවිය’ වෙනුවෙන් සිය හඬ අවධි කළේ මෙලෙසිනි.

* පුංචි තිරය ඔස්සේ ප්‍රේක්ෂකයන් වෙත වඩාත් නැඹුරුව සිටි ඔබ මෑතකදී වඩාත් කතාබහට ලක් වූයේ සිනමාව හරහා. අපි එතනින් මේ කතාබහට මුල පිරුවොත්?

ඔව්, ඇත්තෙන්ම අසංක පහුගිය කාලයේ සිනමාවේ මට සුවිශේෂ චරිත කිහිපයක්ම රඟපාන්න අවස්ථාව උදා වුණා. ‘කොස්තාපල් පුඤ්ඤසෝම’, ‘ඇහැළෙපොල කුමාරිහාමි’ ඒ වගේම ‘අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ’ වැනි චිත්‍රපට. ‘කොස්තාපල් පුඤ්ඤසෝම’ චිත්‍රපටයේ මම පොලිස් නිලධාරියෙක්. එතකොට ‘ඇහැලේපොළ කුමාරිහාමි’ චිත්‍රපටයේ කැප්පෙටිපොළ නිළමේ. මේ චරිත එකිනෙකට වෙනස්.

* කොහොමද ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර?

හොඳයි. ගොඩක් අය ඒ ගැන අගය කරමින් කතා කළා. ඒ වගේම විවිධ විදිහෙ ප්‍රතිචාර ලැබුණා. එතකොට ජයන්ත චන්ද්‍රසිරිගේ ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයෙත් මම රඟපෑවා. මේ දවස්වල උදයකාන්ත වර්ණසූරියගේ බහුබූතයෝ - 02 ‘ගින්දරී’ චිත්‍රපටයේ රූගත කිරීම්වල නිරතව සිටිනවා. ඒකෙ මම රඟපාන්නේ බාලචන්ද්‍ර කියලා ඇමැතිවරයකුගේ චරිතයක්.

* ‘කොස්තාපල් පුඤ්ඤසෝම’ ඔබ රඟපෑවේ ටිකක් හාස්‍යයට බර චරිතයක්. මේ ඇමැතිතුමා ගේ චරිතයත් එහෙමද?

උදයකාන්තගේ මේ චිත්‍රපට දෙකේම යම් දුරකට හාස්‍ය ගැබ් වෙලා තියෙනවා. ‘කොස්තාපල් පුඤ්ඤාසෝම’ චිත්‍රපටයේ මම රඟපෑ චරිතය ගැන ප්‍රේක්ෂකාගාරයේ යම් කතාබහක් තිබුණා. ඒ නිසාමදෝ දන්නේ නෑ ඔහු මේ ‘ගින්දරී’ චිත්‍රපටයේ ඇමැතිතුමාගේ චරිතයත් මට බාර දුන්නේ. කෙසේ හෝ ඒ චිත්‍රපටයේ රූගත කිරීම් තවම සිදුවෙනවා. චිත්‍රපටය තිරගත වුණාට පස්සේ ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කෙබඳුදැයි කියා අපි බලාගෙන හිඳිමු.

* උදයකාන්තගේ ප්‍රථම චිත්‍රපටයටත් ඔබ රංගනයෙන් දායක වුණා?

‘මහමෙර උසට’ උදයගේ පළමු චිත්‍රපටය. මම එහි චරිතයක් රඟපෑවා. ඊට පස්සේ ‘ගිනි අවි සහ ගිනි කෙළි’ චිත්‍රපටය. එතනින් පස්සේ ‘පායා එන්න හිරු සේ’. ඔහුගේ චිත්‍රපට කිහිපයකම මම විවිධ චරිත රඟපෑවා. ඒත් වර්තමානයේ ඔහු කල්පනා කරන්නට ඇති ශ්‍රියන්තට කොමඩි කරන්නත් පුළුවන් කියලා. ඒ විශ්වාසය ඔහු තුළ ගොඩ නැගෙන්නට ඇත්තේ ‘කොස්තාපල් පුඤ්ඤසෝම’ චිත්‍රපටයේ මගේ රඟපෑම් දැකලා.

* ඒ කියන්නේ වර්තමානයේ ඔබේ රඟපෑම් වෙනත් දිශානතියකට යොමු වෙලා කියලද?

ඔව්. ඒත් මම එක තැනක සිර වි හෝ කොටු වී නැහැ. දැන් ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයේ මම රඟපාන්නේ ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්. මගේ රංගනයේ වෙනස්ම හැඩතල මතු කළ චරිතයක් වේවි එය. ඒත් එක්කම කියන්න ඕනෑ ‘බහු බූතයෝ’ චිත්‍රපටයේ මම රඟපාන ඇමතිතුමා කොමඩි චරිතයකට වඩා සීරියස් චරිතයක්. නමුත් මේ සීරියස් චරිතය ඇතුළේ ඔහුට මුහුණ දෙන්න වෙන දේවල් ඇතැම් විට හාස්‍යයට බර වෙන්න පුළුවන්. එය මේ චිත්‍රපටයේ පෙළ විසින් ඉල්ලා සිටින දෙයක්. ඉතින් මේ චරිතය පිළිබඳ ප්‍රේක්ෂකයා නිවැරදි තීන්දුවක් ගනීවි.

* මම හිතන්නේ ඔබ වෘත්තීය රංගන දිවිය ආරම්භ කරන්නේ ‘සාගරයක් මැද’ චිත්‍රපටයෙන්. ඒත් වඩාත්ම ප්‍රේක්ෂක ප්‍රතිචාරයට බඳුන් වෙන්නේ ‘පළිඟු මැණිකේ’, ‘සූරසේන’ චරිතය හරහා?

රංගනය ඉතින් අපි පුරුදු පුහුණු වුණේ, පටන් ගත්තේ වේදිකාව හරහා. එහෙම එන ගමනේදී මට අවස්ථාව උදා වෙනවා රූපවාහිනි ඉතිහාසයේ තුන්වැනි ටෙලි නාට්‍යය වූ ‘පළිඟු මැණිකේ’ ‘සූරසේන’ චරිතය රඟපාන්න. ඔබ පැවසූ ආකාරයටම එය අතිශය ජනප්‍රියත්වයට පත් වෙනවා. හැබැයි මම ඊට කලින් ‘සාගරයක් මැද’ චිත්‍රපටයේ රඟපාලා තිබුණේ. ගාමිණි ෆොන්සේකා මහත්මයාගේ චිත්‍රපටයකින් රංගන වරම් ලැබීම ගැන මගේ හිතේ අදටත් තියෙන්නේ අභිමානයක්.

* සිනමාවේ ඔබේ ගමන සිදු වුණේ සෙමින්. එහෙම කිව්වොත් හරිද?

‘සාගරයක් මැද’ චිත්‍රපටයෙන් පස්සේ එච්. ඩී. ප්‍රේමරත්න මට ‘මංගල තෑග්ග‘ චිත්‍රපටය ලබා දුන්නා. ඊට ඉවහල් වුණේ ‘සූරසේන’ චරිතය හරහා මා ලැබූ ජනප්‍රියත්වය. එච්. ඩී. ප්‍රේමරත්න තාරුණ්‍යයට සහ ඊළඟ පරපුරට අත හිත දුන්න අධ්‍යක්ෂවරයෙක්. ඒ ඒ යුගවල ක්ෂේත්‍රයට ආපු බොහෝ නවකයන්ට ඔහු දුන් අත්වැල ශක්තිමත්. ඊට පස්සේ සිනමාවේ වේගවත් ගමනකට වඩා සෙමෙන් ගමනක් තමයි මම ආවේ.

* ඒ ආ ගමන ගැන ආපසු හැරී බැලුවොත්?

ඇත්තෙන්ම අසංක සිනමාවේ මට සුවිශේෂ චරිත ලැබෙනවා රඟපාන්න. ‘උමයංගනා’, ‘ විමුක්ති’ ඊළඟට ‘පුංචි සුරංගනාවි’ එතනින් ඉස්සරහට ‘භේරුණ්ඩ පක්ෂියා’, ‘ජූලියා’ වගේ චිත්‍රපට. අර මම මුලින් සඳහන් කළ චිත්‍රපටත් එක්ක.

* ඒ අතරින් ‘භේරුණ්ඩ පක්ෂියා’ ඔබේ සිනමා රංගන දිවියේ සුවිශේෂී කඩඉමක්?

එහි පිටංගනේ කියන චරිතයයි මම රඟපෑවේ. එවකට පැවැති ජනාධිපති සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය ලැබුණා ඒ චරිතයට. ඒ වගේම ‘සරසවිය’ හොඳම නළුවාට නිර්දේශ වුණා.

* රඟපෑම තමන්ගේ වෘත්තීය නිසා ලැබෙන ඕනෑම චරිතයක් බාර ගන්න අපේ බොහෝ ප්‍රවීණයන් පෙළඹෙනවා. ඔබත් එහෙම ලැබෙන ඕනෑම චරිතයක් බාර ගන්න නළුවෙක්ද?

නෑ එහෙම ලැබෙන හැම චරිතයම බාර ගන්නෙත් නෑ. චරිතය කුඩා වුණත් එහි කළ හැකි යම් දෙයක් තියෙනවා නම් බාර ගන්නවා.

* අනගාරික ධර්මපාලතුමාගේ චරිතය මුලින්ම රඟපාන්න හිටියේ ඔබ. ඒත් පසුව එහි වෙනත් භූමිකාවකුයි ඔබ නිරූපණය කරන්නේ?

ඔව්. ඔබ හරි. ඒ සඳහා මුලින්ම මාවයි තෝරා ගෙන තිබුණේ. නමුත් යම් කිසි හේතුවක් නිසා ඒ චරිතය මගෙන් බැහැර වෙනවා. ඒක වෙන සාමාජීය ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය මෙතැන සාකච්ඡා කරන්න අවශ්‍යය නැති නිසා මම ඒ ගැන කතා කරන්නේ නෑ. නමුත් අපේ ජනාධිපතිතුමා පවා හිතාගෙන හිටියේ මම ‘අනගාරික ධර්මපාල’ චරිතය රඟපානවා කියලයි. එතුමා චිත්‍රපටය නරඹලා අධ්‍යක්ෂවරයාට යෝජනා කරනවා අසවල් පුද්ගලයාව දාලා මේක තවත් පැත්තකින් නිර්මාණය කරන්න කියලා. ඒක නිසා මට ඒ චිත්‍රපටයේ වෙනත් චරිතයක් හදිසියේ රඟපාන්න වුණා. ඒ චරිතය පොඩි වුණත් මට ජනාධිපතිතුමාගේ උපදෙස් මත ඉල්ලීම මත ඒකේ රඟපාන්න සිද්ධ වුණා.

* නමුත් සනත් අබේසේකරම අධ්‍යක්ෂණය කළ ‘අජාසත්ත’ චිත්‍රපටයේ රඟපෑම ඔබ ප්‍රතික්ෂේප කරනවා. එහෙම වෙන්න පුළුවන්ද?

‘අජාසත්ත’ චිත්‍රපටයේ මට රඟපාන්න තිබුණේ ‘දේවදත්තගේ’ චරිතය. එය මම බැහැර කළේ එක් හේතුවක් නිසයි. මම උපතින් බෞද්ධාගමිකයකු නොවුණත්, ‘මරමු’, ‘කොටමු’ කියා බුදුහාමුදුරුවන්ට එරෙහිව දේවදත්ත පවසන දෙබස් කියන්න මම කැමැති වුණේ නෑ. ඒක නිසා මම ඒ චරිතය බැහැර කළා. චරිතවලට මම එහෙම කෑදරකමක් නැහැ. නමුත් චරිතයක කරන්න දෙයක් තියෙනවා නම් එහි වපසරියක් තියෙනවා නම් මම ඒක බාර ගන්නවා.

* ඒ වපසරිය තීන්දු කරන්නේ ඔබ විසින්මයි?

ඔව්. පෙළ කියවන කොට මට දැනෙනවා මේක ඇතුලේ කරන්න දෙයක් තියෙනවද, නැති ද කියලා. එහෙම නැතිනම් බොහොම සුහදව එයින් ඉවත්වීමේ ගුණය මා ළඟ තිබෙනවා.

* විවිධ නළුවන්ට විවිධ ආයුධ, මෙවලම් තිබෙනවා තමන්ගේ රංග කාර්යයේදී භාවිතා කරන්න. හඬ පෞරුෂය රංගන පෞරුෂය, දෙබස් උච්චාරණය වගේ දේවල්. ඔබ සතු ‘තියුණු බැල්ම’ මා දකින්නේ එබඳු ආයුධයක් හැටියට?

අපි සමාජයේ විවිධ වෘත්තින්වල නියැලෙනවානේ. දැන් ඔබ පුවත්පත් කලාවේදියෙක්. ඔබේ මෙවලම තමයි ලිවීමේ ශාක්‍යතාවය සහ ඒ ලිවීමේ රසය. මම හිතන්නේ එහෙම රහට ලියන නිසා තමයි ඔබතුමා කාලාන්තරයක් තිස්සේ එහි රැඳී ඉන්නෙත් සහ පාඨකයන් අතර ජනප්‍රිය චරිතයක් වෙන්නෙත්. එතකොට නළුවකුගේ මෙවලම මොනවාද? ඒ තමයි ඔහුගේ ශරීරය. මේක අපි කල්පනා කළ යුතු කරුණක්.

* මුළු ශරීරයම?

ඔව්. මුළු ශරීරයම. එය තමා රංගනය තුළ වෘත්තීය මෙවලම. එතකොට මේ ශරීරය තුළ තිබෙන හැඩය, ගුණය ඒ චරිතයට අදාල වන ලෙස නම්‍යශීලී කර ගැනීමේ හැකියාව නළුවා සතු වෙන්න ඕනෑ. දැන් ඔබ කිව්වා වගේම මුහුණෙන් විහිදෙන ආලෝකයක් තිබෙනවා. මේකට අපි රංගන ක්‍රියාවලියේදී කියනවා ‘ටචජඥ තඪඨඩබ’ කියලා. මේක හොඳටම විහිදෙව්ව නළුවෙක් තමයි විජය කුමාරණතුංග. මේක ලෝකයේ රංගනය හදාරන නළු නිළියන්ට කියා දෙන පාඩමක්. මේක යුරෝපයේ, ඉන්දියාවේ නළු නිළියන්ට තියෙනවා. විජය වගේම ගාමිණි ෆොන්සේකා ගත්තම ටචජඥ තඪඨඩබ. එතකොට ජෝ අබේවික්‍රම ගත්තම ජ්චජඥ තඪඨඩබ. ඒ මුහුණේ විහිදෙන ආලෝකයට හදවත තමයි බැට්රිය. ඒක පිරිසිදු නම් මේ ශක්තිය මුහුණෙන් විහිදෙනවා.

* හදවත හොඳ නම් මුහුණත් හොඳයි කියලානේ ඔය කියන්නේ?

ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය වගේ ලුණුවලින් ඒක බැඳුණොත් අර මුහුණේ ආලෝකය එන්නේ නෑ. මේක නිකං සරල උදාහරණයක් වුණත් ඉතාම ගැඹුරුයි. ඒක නිසාම මම කල්පනා කරනවා තවම මගේ බැට්රි එක හොඳයි. ඒ නිසා ඔබ කිව්ව විදිහට අර රංගනයට අවශ්‍ය බැල්ම හඳුනා ගන්න එය ප්‍රයෝජනවත් වෙනවා කියලා මට හිතෙනවා.

* චරිත නිරූපණයේදී ඔබ ඇතුලාන්තයෙන්ම ඒ චරිතයට අනුරූපව හැඩ ගැසෙන අයෙක්. එය බොහෝ රංගන ශිල්පීන් තුළ මා නොදකින ගුණයක්?

‘රිදී ඉට්ටංකරය’ කියලා ටෙලි නාට්‍යයක මම රඟපෑවා. ඒ රඟපෑවේ වයස අවුරුදු අනූවක විතර මහල්ලෙකුගේ චරිතය. මේ කතාව නිකං ජාතක කතාවක එන කතා පුවතක් වගේ. එහෙම හැඩයක් තමයි මට දැනෙන්න පටන් ගත්තේ ආරම්භයේ ඉඳලම. මේ ජාතක කතාවල එනවනේ නිකං ලෝභ, කුහක, කුසීත නමුත් ලිංගිකත්වය කෙරෙහි ආසාව වැඩි මහල්ලෝ. අන්න එහෙම මහල්ලෙක්.

* කාමුක මහල්ලා?

කමුක මහල්ලා . . . හරියටම හරි. මෙවැනි චරිතයක් නිරූපණය කරන්න නම් නළුවකුගේ ඥාණ මණ්ඩලයේ යම් යම් දේවල් ගැබ් වෙලා තියෙන්න ඕනෑ. පොත පත කියැවීමෙන්, ලෝකය දැකීමෙක්, සාහිත්‍යය හදෑරීමෙන්. මම කියන්නේ මේ හැදෑරීම අවශ්‍යයි. ඒකටනේ අපි ඇකඩමික් කියන්නේ. දැන් මේ මහල්ලා ගැන පෙළ කියවනකොටම මට එන්න ගත්තේ ජාතක කතාවලින් අපි දැකපු ජාගර සිතිවිලිවලින් පිරිච්ච මේ මහල්ලව. වසන්ත විට්ටචචි මාව මේ සඳහා පැය එකහමාරක් විතර වෙස් ගැන්නුවා. මේක කරලා ඉවර වෙච්ච ගමන් මට තේරෙනවා මේ අර මහල්ලා කියලා.

* බණ කතා පොතේ සිටි මහල්ලා?

දැන් දර්ශන රූගන්වන්න සූදානම් වෙලා මම ගිහින් ලණු ඇඳේ දිගා වෙනවා. දී. ග. සෝමපාල තමයි එහි අධ්‍යක්ෂවරයා. ඔහු හැමෝටම කියනවා ‘ශ්‍රියන්තට නිදාගන්න ඉඩ දෙන්න’ කියලා. ඔබ විශ්වාස කරන්න අසංක මම විනාඩි දහයක්, පහළොවක් නිදාගන්නවා ඒ ඇඳේ. ඒ අතරේ ලයිටප් කරනවා. ඉතුරු ආම්පන්න සකස් කර ගන්නවා, ඒ අය. මම නැගිටින්නේ මහල්ලෙක් වගේ කුණු කෙළ පෙරාගෙන, වාත පිට කරමින්. කුදු ගැහිච්ච, ජරාජීර්ණ වෙනම මිනිසෙක් ඒ නැගිටින්නේ. සාමාන්‍යයෙන් එහෙම වාත යන හැඩයක් මට නෑනේ. මට විශ්වාස කරන්නට බෑ මේ ‘ඉන්ටර්නල් කෙමිස්ට්‍රි’ එක මොකක් ද කියලා. අභ්‍යන්තරික පරිවර්ථනය. ඊට පස්සේ නළුවකුට මේක ඇතුලේ පීනන්න පුළුවන්.

* දිය බුං ගහන්න පුළුවන්?

ඔව්. මම කල්පනා කලේ මේක තමයි මාළු ටැංකිය විදගෙන යන අවයවය. එහෙම නැත්නම් විදගෙන යන උපකරණය. මාළු ටැංකිය විදින්නනේ අමාරු. ඇතුලට ගියාම පිහිනන්න පුළුවන්නේ. ඉතින් මේ විදගෙන යන අවයවය හඳුනා ගන්න ඕනෑ. ඒ කියන්නේ ඇතුලාන්තයෙන් එන චරිතය සඳහා වූ අවබෝධය. ඒ ක්‍රියාවලියත් සමඟ බාහිර ස්වරූපයත් වෙනස් වුණාම කෙනෙකුට මාව හඳුනන්න අමාරුයි. මම ඒකට සතුටුයි. සමහරු අසතුටුයිනේ. නමුත් මම සතුටුයි මාව හඳුනන්නේ නැතිනම්.

* සමකාලීන, සහෝදර රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරාගෙන් ඔබේ රංගනය ගැන එක්තරා මාධ්‍යවේදිනියක් විමසා සිටි අවස්ථාවේ මහේන්ද්‍ර කියනවා ‘ශ්‍රියන්තගේ රඟපෑම් මෑතක ඉඳලා ඕවර් ඇක්ටිං කියලා’...?

දැන් ලෝකේ බොහෝ දේවල් කොටස් තුන හතරකට බෙදා ගන්න පුළුවන්නේ අපට. මට ලැබුණු හැම චරිතයක්ම ඔය ඕවර් ඇක්ටිං කියන කාරණාවට ගොදුරු වෙච්ච චරිත.

* සෑම චරිතයක්ම?

බොහෝ චරිත.

* ඒ කියන්නේ ‘සූරසේන’ගේ ඉඳලා?

ඔව්. ඉතින් සූරසේනත් ඕවර් කැරැක්ටර් එකක්නේ. ‘බෝගල සවුන්දිරිස්’ ගත්තාමත් ටිකක් ඕවර් මිනිහෙක්. ‘පිටංගනේ’ ගත්තත් එහෙමයි. හරි, ‘දඬුබස්නාමානයේ’ ‘ආරච්චිල’ ගත්තත් ටිකක් ඕවර් මිනිහෙක්. අපි හිතමු ‘ගිනි අවි සහ ගිනි කෙළි’ ‘තුන්මුල්ලේ පද්මේ’ ගත්තත් ඕවර් මිනිහෙක්.

* ඒ කියන්නේ ඔබ රඟන ටෙලි නාට්‍යයේ?

ඔව්, ටෙලි නාට්‍යයේ. චිත්‍රපටයේ ‘ලෝකයා’ ගත්තත් එහෙමයි. ‘ ජූලියා’ චිත්‍රපටයේ අර මැරයා ගත්තත් ඕවර් මිනිහෙක්. ඒගොල්ලෝ ඒ කැරැක්ට(ර්)ස් බවට පත් වෙන්නේ ඒ ඕවර් එක නිසා. නමුත් මිනිහෙකුට හාමුදුරු කෙනෙකුගේ චරිතයක් දුන්නොත් ඕවර් වෙන්නේ නෑනේ. මට එහෙම චරිතයක් දීලා නෑ තාම. සමහරක් චරිත තියෙනවා සීමාසහිත, සීමාරහිත. දැන් සීමාසහිත චරිත තියෙනවානේ. අපි වෛද්‍යවරයෙක් ගත්තොත් නලාව කරකව, කරකව නට, නටා ඉන්න බැහැනේ. වෛද්‍යවරයා තමන්ගේ ඒ හැඩය ඇතුලේ් ජීවත් විය යුතුයි. සීමා මායිම් තියෙනවා. මම කිසිම රංගන ශිල්පියකුගේ රංගනය ගැන එහෙම නිශ්චය කරන්නේ නෑ. අපි ඉන්නේ පාඨමාලාවක්, අධ්‍යාපනයක්, නිකේතනයක් නැති රටක. එතකොට කිසි කෙනෙකු තර්ක, විතර්ක ගොඩ නගන්නට බෑ ඔහු අඩුවෙන් රඟපානවා, මොහු වැඩියෙන් රඟපානවා කියලා.

* එතකොට ඔබ මහේන්ද්‍රගේ චෝදනාව බැහැර කරනවා?

චෝදනාව බැහැර කරන්න වෙනවා. ඒත් ඔහු හොඳ රංග ශිල්පියෙක්. ඔහු චරිතය හොඳට හඳුනාගෙන රඟපාන රංග ශිල්පියෙක්. ඒත් ඔහුත් එක්ක මා රගපෑ ‘බඹර වළල්ල’ චිත්‍රපටයේ මම ඕවර් ද නැද්ද කියලා ඔහුට තීන්දුවක් ගන්න වෙනවා. ඔහු හොඳම නළුවා වුණා. මම හොඳම සහාය නළුවා වුණා ඒ අවුරුද්දේ. ඒ චරිතය මම හරිම අඩුවෙන් රඟපෑවේ.

* හරි එතකොට ඔබේ පරම්පරාවේ ඔබ වඩාත් ප්‍රිය කරන රංගන ශිල්පියා කවුදැයි මා ඇහුවොත්?

මගේ පරම්පරාවේ නළුවන් ත්‍රිත්වයක් ඉන්නවා. ජැක්සන් ඇන්තනි, කමල් අද්දරආරච්චි සහ මහේන්ද්‍ර පෙරේරා. මේ තිදෙනාම දක්ෂයෝ. ඔවුන් තිදෙනාම රංගනයේදී විවිධ හැඩ පාවිච්චි කළ ශිල්පියෝ. ඒ අතරිනුත් ජැක්සන්ව මට තව ටිකක් උඩට ගන්න පුළුවන්.

* මොකක්ද ඒ සාධකය?

ඔහු රංගනයේදී කටුස්සෙක්.

* පාට වෙනස් කරනවා?

ඔව්. නළුවා කටුස්සෙකි සහ නළුවා උකුස්සෙකි. චරිතය ඩැහැ ගන්නවා. මම හිතන්නේ මේ ඩැහැ ගැනිමටත් ඔහු දක්ෂයි. ඉතින් ඔහු මගේ ප්‍රියතම නළුවා. කිසිම බියක් සැකක් නැතුව මා එහෙම කියන්නේ.

* එතකොට ඔහු සිනමාවේ රඟපෑ ‘තුම්මුල්ලේ පද්මේ’ පුංචි තිරයේ ඒ නමින්ම රඟපාන්නේ ඔබ. මෙය අභියෝගයක් වුණේ නැද්ද?

මේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් මා හමුවෙන්න ඇවිත් කිව්වා ‘මේ චරිතයට නම් දෙකක් යෝජනා වෙලා තියෙනවා අයියේ, එක් කෙනෙක් ජැක්සන් ඇන්තනි. අනෙක් එක්කෙනා ශ්‍රියන්ත මෙන්ඩිස්’ කියලා. මම කිව්වා ‘ඔයා ඉන්නේ ජැක්සන්ලාගේ ගෙවල් කිට්ටුව. ඉස්සර වෙලා එයාගෙන් මේ ගැන අහන්න. අහලා එයාට පුළුවන් නම් මේ චරිතයට ගන්න. බෑ කිව්වොත් මම ඒ කැරැක්ටර් එක කරන්නම්’ කියලා. මම හිතන්නේ ඔය හැඩයෙන් තමයි ඒ චරිතය මගේ පැත්තට ආවේ. ඒ වෙනකොට ජැක්සන් වෙන රාජකාරි කටයුතුවල නියැළිලා ඉන්න ඇති.

* කවුරුත් ප්‍රතික්ෂේප කරන චරිත ඔබ බාර ගන්නවාද?

නෑ. එහෙම කළේ නැහැ. නමුත් මේ චරිතය හරහා ටෙලිවිෂන් එක ඇතුලේ පිරිමි ප්‍රේක්ෂකාගාරයක් ගොඩ නගන්න හැකිවේ යැයි මං සිතුවා. කාන්තාවොනෙ බලන්නේ වැඩිපුර ටෙලි නාට්‍යය.

* ඇයි දැන් ශ්‍රින්තට කාන්තා ආකර්ෂණය එපා වෙලාද?

නෑ . . නෑ . . එපා වෙලා නෙවෙයි. ඒත් පිරිමි ප්‍රේක්ෂකයා ටෙලි නාට්‍යය බලනවා අඩුයි. මේ කාලය ඔවුන් යොදා ගන්නේ වෙන වෙන වැඩවලට. නමුත් අපට පුළුවන් වුණා මේ ටෙලි නාට්‍යයට පිරිමි පාර්ශවය වැඩියෙන් නතු කර ගන්න. මේ නිසාම ඒ ටෙලි නාට්‍යය රේටින්ස්වලිනුත් ඉහළට ආවා.

* සාම්ප්‍රදායික ප්‍රශ්නයක් වුණත් මම ඔබෙන් අහන්නම් මෙහෙම දෙයක්?

අහන්න අසංක . . .

* ඔබේ වැඩි කැමැත්ත වේදිකාවට ද, පුංචි තිරයට ද, නැතිනම් සිනමාවට ද?

මම පටන් ගත්තේ වේදිකාවෙන්නේ. වේදිකාව තමයි මගේ තිඹිරි ගෙය. අදටත් මම නාට්‍යය නිෂ්පාදනය කරනවා. රඟපානවා. මේක දුෂ්කර ක්‍රියාවලියක්. ඒක අසංක තිත්ත කුසලාන අමෘතය සේ පානය කරනවා වැනි වැඩක්. හරියට පහසුකම් නෑ. බස් එකේ තමයි නිදා ගන්නේ ඇතැම් රාත්‍රීන්වල. ඒක දුකක් තමයි. තිත්ත කෂායක් වගේ තමයි. නමුත් එය පානය කරන්නේ අමෘතය වගේ.

* ඔබේ සමකාලීන ඇතැම් නළු, නිළියන් මේ දුක විඳ දරා ගන්න බැරිව වේදිකාව අතෑරලා ගියා?

බොහෝ අය ගිහිල්ලා තියෙන්නේ. ඒ සමහරු අද වේදිකාව බොහොම නිර්දය ලෙස විවේචනය කරනවා. නමුත් ඊළඟ පරම්පරාවට මේ බැට්න් එක බාර දෙන්න අපි මේ රේස් එක දුවන්න එපායැ. මේක රිලේ එකක්නේ.

* තව පැත්තකින් මේක කෘතගුණ දක්වීමකුත් වෙනවා?

මම කියන්නේ මේ රේස් එක මැදින් පැනලා එළියේ ඉඳන් කොකා පෙන්නන්න බෑ. පුළුවන් නම් මේ ගේම් එකේ එන්න. එතකොටයි බැට්න් එක ඊළඟ පරම්පරාවට දෙන්න පුළුවන් වෙන්නේ.

* බොහෝ අය වේදිකාවෙන් ඉවත් වුණේ මේ කාලය මිඩංගු කිරීමේ නොහැකියාවත් එක්ක. ඔබට ඒ ප්‍රශ්නය බලපාන්නේ නැද්ද?

නෑ. ටෙලි නාට්‍යය හෝ චිත්‍රපටවලට දින දී තිබුණත් වේදිකා නාට්‍යයක් සඳහා දින ඉල්ලුවොත් ඕනෑ වෙලාවක මම ඒක දෙන්න සූදානම්.

* මේක කට්ටක් නෙවේ?

නෑ. මම අර කිව්වා වගේ තිත්ත කුසලාන අමෘතය සේ පානය කිරීමක්. අපි එහෙම පුරුදු වුණා. මොකද අපි මේ රළු, පරුළු මාවත්වල ආපු මිනිස්සුනේ අසංක. අපිට මල් මාවත් තිබුණේ නෑ. අපි හොඳට ගුටි කෑවා, බැට කෑවා, හොඳට පන්නරය ලැබුවා. ඒ නිසා අපේ පොත්ත හයියයි. ඒක නිසයි ගැහුවට රිදෙන්නේ නැත්තේ. ඉතිං අපිට ඇලේ, දොලේ, පිලේ, වැලේ ඕනෑ තැනක ඉන්න පුළුවන්. එහෙම නැතිනම් ලෝකයේ තියෙන සුපිරිම හෝටලයෙත් ඉන්න පුළුවන්. ලෝකයේ හොඳම ආහාරපාන කන්නත් පුළුවන්. අර රොටියක් පුච්චගෙන ගමක පැලක් ඇතුලේ කන්නත් පුළුවන්. මම කියන්නේ නළුවෙක් එහෙමයි වෙන්න ඕනෑ. නළුවා කටුස්සෙකි. නැවතත් මම කියනවා.

* සහ උකුස්සෙකි . . .?

උකුස්සෙකි . . .

* වර්තමානයේ ඔබේ වේදිකා රංගනය ගැන සිහිපත් කළොත්?

‘කෑම ලෑස්තියි’ සහ ‘ගැබ්බර මිනිසා’ කියන නාට්‍යය දෙකේ මම රඟපානවා. මේ නාට්‍යය නිර්මාණය වෙලා තියෙන්නේ තත්කාලීන සමාජ ප්‍රශ්න මුල් කරගෙන. ඒකත් එක්ක බද්ධ වෙන්න අයිතිය නාට්‍යකරුවාට තියෙනවා. මම ‘පැන්ස දෙකේ හංසයා’ හැදුවේ ව්‍යුහය ඇතුළෙන් විනාශ වී යන අපේ සමාජ ස්ථරය. ඊළඟට සුදු සහ කළු හෙවත් ‘වර්ණ’ හැදුවේ මිනිසකුට යහපත් මරණයක් අයිති විය යුතුයි කියන කාරණාව කියන්න. ‘පාදඩ අසපුව’ හැදුවේ දේශපාලනය තුළ ලුමිපන්ස්ලාගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ. ‘ගැබ්බර මිනිසා’ හැදුවේ නූපන් දරුවන්ට ජීවත් වීමේ අයිතිය දෙන්න කියන කාරණය මතු කරන්න.

* යම්කිසි සමාජගත කාරණාවක් ප්‍රේක්ෂකාගාරවට මුදා හැරීමේ තිබෙන කලාකරුවාගේ අයිතියයි ඒ?

ඇත්තෙන්ම ඔව්.

* ඔබ නාට්‍යය අනු මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා නිසයි මම මේ අහන්නේ. අද වෙනම නාට්‍යය සංස්කෘතියක් බිහි වෙමින් පවතිනවා උප සංස්කෘතියක් හැටියට. මේවයේ නම් පවා වෙනස්. ‘මල් වඩම් අනවශ්‍යයි’, ‘ගුටි කෑමට නියමිතයි’, ‘කෑම ලෑස්තියි’, ‘බකමූණා වීදි බසී’ වගේ. මොනවද මේ නම්. මේවා නාට්‍යයද?

බොහෝ විට නමේ තියෙන අරුමයත් මිනිස්සු හඳුනා ගන්නවනේ. මම හිතන්නේ අසංක ලංකාවේ තමයි හොඳම ප්‍රේක්ෂකාගාරය තියෙන්නේ. ඒ ප්‍රේක්ෂකයන්ට ස්තුතිවන්ත වීමට වුවමනායි. ‘මනමේ’ බිහිවෙන්නේ 1956 නොවැම්බර් මාසේ 04 වැනිදා. හෙට පෙන්නන්න ‘මනමේ’ ඒත් සෙනඟ ඉන්නවා. දසක පහක් පුරාවට සෙනඟ බලනවා. මේක බලන්නේ නාට්‍යය කලාවට ආදරේ නිසා නේ. දැන් ඔබට, මට නැවතත් ‘මනමේ’ බලන්න පුළුවන්. ‘සිංහබාහු’, ‘හුණුවටයේ කතාව’ තාම බලනවා. ‘තාරාවෝ ඉගිළෙති’ තාම බලනවා. ‘කැළනි පාලම’ තාම බලනවා. ‘සුබ සහ යස’ තාම බලනවා.

* ඒ වගේ අද මේ බිහිවන නාට්‍යය තව අවුරුදු දහයකින් මිනිස්සු බලයිද?

ඔන්න ඔතැන අපට ප්‍රශ්නාර්ථයක් තියෙනවා. තව අවුරුදු දහයක්, පහළොවක් ගියාට පස්සේ වර්තමානයේ බිහිවෙන නාට්‍යයවලින් නැවත ප්‍රේක්ෂකාගාරය තුටු කරන්න පුවන් ද කියන පැනය අපට නැගෙනවා. ඒක නිසා අපට සිද්ද වෙනවා උප කල්පනයකින් නැවත මේ ගැන කල්පනා කරන්න.