වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




මහජන ඡන්දයෙන් පත් වූ මෙරට මුල්ම නිළිය මමයි

මහජන ඡන්දයෙන් පත් වූ මෙරට මුල්ම නිළිය මමයි

සුජාතා පරමනාදන් සමඟ කළ සාකච්ඡාව

* ඔබ මෙසේ අපට හමුවන්නේ බොහෝ කාලෙකින්. ඔබේ අලුත් තොරතුරු මොනවාද?

වෙළෙඳ දැන්වීම ගණනාවකටම පසුගිය දිනවල මා සම්බන්ධ වුණ. වැඩි දෙනෙකු අද මා හඳුනා ගත්තේ ඒ ඔස්සේයි.

කෙසේ වෙතත් රඟපෑම් කටයුතු නතර කොට නැහැ. ෂර්ලි පී. දෙලංකාවල අධ්‍යක්ෂණය කළ ‘තුං මං තැන්න’ හා සංජය විතානගේ අධ්‍යක්ෂණය කළ ‘දුර ගමනක්’ යන ප්‍රාසංගික ටෙලි නාට්‍ය දෙකටයි මෑතදී මා රංගනයෙන් එක් වූයේ. ඒවා විකාශය වුණා. හොඳ ප්‍රතිචාර ලැබුණ.

මා පංදිචි වී සිටින්නේ මාතලේ හුලංගමුවේ. දරු මුනුපුරන්ගේ වැඩ කටයුතු ඕනෑ තරම් තිබෙනවා. එදිනෙදා ජීවිතය ඔවුන් සමඟ සතුටින් ගෙවා දමනවා.

* සිනමා රංගනයට ඔබ පැමිණෙන්නේ 1950 දශකයේ මුල. ඉන් අනතුරුව ඔබ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සිනමාපට දෙකකට ද රංගනයෙන් සම්බන්ධ වෙනවා. මේ අතීතය සිහිපත් කරමු?

මුලින්ම මා රඟපාන්නේ ටී. ආර්. සුන්දරම් හා ඒ. ආර්. රාවෝ අධක්ෂණය කළ ‘වරද කාගෙද?’ සිනමාපටයෙයි. ඉන් වසර ගණනාවකට පසුවයි මට ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාකරුවාව හඳුනා ගන්නට ලැබෙන්නේ.

මේ අවදියේ මම වේදිකා නාට්‍ය රංගනයට ද සම්බන්ධ වෙනවා. ප්‍රවීණ ගායිකා චන්ද්‍රිකා සිරිවර්ධනගේ මව වන කරුණාදේවි සිරිවර්ධන නිර්මාණය කළ ‘කුණ්ඩලකේශී’ වේදිකා නාට්‍යයේ කුණ්ඩලකේශී කුමරියගේ චරිතය නිරූපණය කළේ මායි. එහි ඡායාරූපයක් ‘දවස’ පුවත්පතේ පළ වී තිබුණා. එය දුටු ලෙස්ටර් මහත්මයා දුරකථනයෙන් මා අමතා ‘දෙලොවක් අතර’ සිනමාපටයට සම්බන්ධ වන ලෙස කියා සිටියා.

ඉන් අනතුරුව ඔහු මට ඇරයුම් කළේ ‘රන්සළු’ හි චරිතයක් නිරූපණය කරන්නටයි. ටෝනි රණසිංහ එහි නිරූපණය කළේ ධනවත් නීතිඥයකුගේ චරිතයක්. දික්කසාද නඩුවක් භාරදීමට ඔහු හමුවන ධනවත් කාන්තාවකගේ චරිතයයි මා නිරූපණය කළේ. පසුව එම නීතිඥයා හා අර කාන්තාව විවාහ වෙනවා. මෙය මට ලැබුණු මහ¼ගුªª අවස්ථාවක්.

ඊට පෙර මා සම්බන්ධ වූ ‘වරද කාගෙද?’, ‘සැඩ සුළං’ බඳු සිනමාපටවලට වඩා හාත්පසින්ම වෙනස් අත්දැකීම් ලබා ගන්නට ‘දෙලොවක් අතර’ හා ‘රන් සළු’ පිටිවහලක් වුණා. ලෙස්ටර් මහත්මයා නළු නිළියන් මෙහෙය වන්නේ ඔවුන්ව වෙහෙසට පත් නොකරමින්. අදාළ චරිතය පිළිබඳ අවබෝධයක් මුලින්ම ඔහු අපට ලබා දෙනවා. කිසිම බල කිරීමක් කරන්නේ නැහැ.

ඉන්දියානු ඌරුව ගත් සිනමාපටවල රඟපාන විට අප සතුව ස්වාධීනත්වයක් නොතිබුණු තරම්. ලෙස්ටර් මහත්මයා අපේ හැකියාවන් මතුªකර ගත්තේ අපේ ස්වාධීනත්වය රකිමින්. නොදත් දේ කාරුණිකව පහදා දෙන්නට ඔහු පසුබට නොවූ බව කිව යුතුයි. ඔහු ඉතාම ගෞරවනීය සිනමාකරුවෙක්.

* ඔබ සෑහීමකට පත්වනවාද එදා ඔබට ලැබුණු රංගන අවස්ථාව ගැන?

ඇත්තෙන්ම මා නිළියක බවට පත් වන්නේ රඟපෑම හා සිනමාව කෙරෙහි වූ ඇල්මටයි. වැඩි රංගන අවස්ථා මුලදී මට ලැබුණේ නැහැ. විවාහයෙන් පසුව මට සිදු වුණා මාතලේ පදිංචියට එන්නට. දරුවන්ගේ වගකීම් දරා ගන්නට පැකිලීමකින් තොරව මා ඉදිරිපත් වුණා. කෙසේ වෙතත් වේදිකා නාට්‍ය කටයුතු සඳහා හැකි අයුරින් සම්බන්ධ වූ බව නම් කිව යුතුමයි. මාතලේ කච්චේරියේ සුබසාධක සංගමයට ආධාර පිණිස කිංස්ලි ජයසේකර විසින් නිර්මාණය කරන ලද ‘සුන්දර සැමියා’ නාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ මායි. ඊට ඔස්කා වයිල්ඩ් ගේ ‘අයිඩියෙල් හස්බන්ඩ්’ පාදක වූවා.

තිස්ස ලියනසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘පුංචි බබා’ සිනමාපටයේ ප්‍රධාන නිළි චරිතයට ද මාව තෝරා ගනු ලැබුවා. ඊට මුල් වුණේ ජෝ අබේවික්‍රම හා ඇන්තනි සී. පෙරේරා. කෙසේ වෙතත් එවර නාට්‍ය සම්මාන උළෙලදී මාලිනී ෆොන්සේකා හොඳම නිළිය සේ සම්මාන ලැබීම නිසා මගේ ඉරණම වෙනස් වුණා. නිෂ්පාදක සුගතදාස මාරසිංහට අවශ්‍ය වූයේ මාලිනීව ප්‍රධන නිළි චරිතයට සම්බන්ධ කර ගන්නටයි.

මා ඊට එරෙහිව කිසිවක් කළේ නැහැ. මා සිතන්නේ ඒ මාලිනීගේ වාසනාව කියා. ‘පුංචි බබා’ට පසුව ඈ දුර ගමනක් ගියා.

* ඔබ 1950 දශකයේ රූ රැජණක්. මා සිතන්නේ මේ ඔබට ආඩම්බරයෙන් මතක් කළ හැකි අතීතයක්?

ඇත්තෙන්ම ඔව්. මට ඒ දිනවල රූ රැජණ තරග සඳහා සහභාගිවීමේ ලොකු ඕනෑකමක් තිබුණා.

වර්ෂ 1955 දී ‘ටයිම්ස්’ පත්‍රය සංවිධානය කළ ‘මිස් ලංකා’ රූ රැජණ තරගයේ කිරුළ හිමි වූයේ මටයි.

1956 වර්ෂයේදී පැවැති ‘පංච කල්‍යාණි’ තරගයේ තුන්වන ස්ථානය මට ලැබුණා.

‘ඔබ්සර්වර්’ පත්‍රය 1957 වර්ෂයේදී සංවිධානය කළ ‘මිස් ලංකා’ රූ රැජන තරගයේ අවසන් වටය කරා එන්නට ද මට අවස්ථාව ලැබුණා. වර්ෂ 1961 දී ‘ඔබ්සර්වර්’ පත්‍රය සංවිධානය කළ ‘බෙල් ඔෆ් ද ඉයර්’ රූ රැජන තරගයට ද සහභාගී වූ මා තුන්වන ස්ථානය දිනා ගත්තා.

වැදගත්ම දේ මෙයයි. ඒ වන විට මා දරුවන් පස් දෙනෙකුගේ මවක්. තරගාවලිය අතරතුරදී මා විවාහක බවත්, මවක බවත් පැවසීම මට යම් අවාසියක් වන්නටත් ඇති.

* මේ මැතිවරණ සමයක්. සිනමා, රූපවාහිනී, වේදිකා නළු නිළියන් හැම දේශපාලන පක්ෂයකින්ම වාගේ මැතිවරණ සටනට එක් වී සිටිනවා. අද මෙය පුළුල් වශයෙන් සාකච්ඡා කෙරෙන මාතෘකාවක්. අප දන්නා තරමින් ඔබත් දේශපාලන ක්‍රියාකාරිනියක්. මන්ත්‍රීවරියකගේ අත්දැකීම් ද ඔබට තිබෙනවා.

* වර්ෂ 1960 දී පැවැති ගම් සභා ඡන්ද විමසීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මා ඉදිරිපත් වුණේ මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත ගම්කාර්ය සභාවේ මුරුතවත්ත කොට්ඨාසයට. ඉන් මා ජයග්‍රහණය කළා. ප්‍රතිවාදී අපේක්ෂකයාට ලැබුණේ ඡන්ද දෙකක් පමණයිි. වසර තුනක් මා යටවත්ත ගම්කාර්ය සභාවේ මන්ත්‍රිවරියක සේ කටයුතුª කළා.

ඉන් පසුව ක්‍රියාකාරී දේශපාලනයෙන් මඳක් දුරස් වන්නට මට සිදු වූයේ දරුවන්ගේ විවිධ කාර්යයන් නිසයි. එසේම කලා කටයුතු වෙනුවෙන් ද කාලය මිඩංගු කරන්නට මට සිදු වුණා. ඇරත් මගේ නිවසේ සිට යටවත්ත – මුරුතවත්තට සැතපුම් එකොළහක පමණ දුරක් තිබුණා. යෑම් ඊම් අද තරම් පහසු වූයේ නැහැ.

කෙසේ නමුත් අර තෙවසර ගැන මා අදටත් තෘප්තිමත්. අදත් මගේ ඡන්දදායකයන් මා හමුවන්නට පැමිණෙනවා.

වර්ෂ 1956 සිටම මාත්, සැමියාත් දේශපාලන කටයුතුවලට සම්බන්ධ වුණා. හිටපු අගමැති එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක, හිටපු ඇමැතිවරුන් වූ ටී. බී. තෙන්නකෝන් හා ටී. බී. ඉලංගරත්න, ල. ස. ස. ප. නායක ආචාර්ය එන්. එම්. පෙරේරා කිට්ටුවෙන්ම ඇසුරු කරන්නට අපට අවස්ථාව ලැබුණා.

වර්ෂ 1997 දී මා යළිත් ක්‍රියාකාරී දේශපාලනයට එක්වූයේ මාතලේ මහ නගර සභා මැතිවරණයට පොදුජන එක්සත් පෙරමුණෙන් තරග වදිමින්. ජයග්‍රහණය නොලැබුවත් ඉන් මා ලද අත්දකීම අපමණයි.