වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




අටපට්ටමේ නොකී කතා හසන්ත සරසවියට හෙළි කරයි

අටපට්ටමේ නොකී කතා හසන්ත සරසවියට හෙළි කරයි

ඔන්න බලන්නකෝ එකෙත් හැටි . . . දවසක් Call එකක් ගත්තා ‘දඩිබිඩිස්ට’. ඒ කියන්නේ අපේ හිතමිත්‍ර මාධ්‍යවේදී හසන්ත හෙට්ටිආරච්චිට. පුදුමෙනුත් පුදුමයි . . . ඔහු මගේ ඇමැතුමට කතා කළා . . . කියන්න මල්ලි මොකක්ද වෙන්න ඕනේ . . .

මට හසන්ත අයියගේ මාධ්‍ය ජීවිතේ ගැන තොරතුරු ටිකක් දැනගන්න දිනයක් . . . මම කාරනාව කිව්වා විතරයි ඔහු ඒ වැඩේට කැමැති වුණේ හදවතින්. මට පුදුමෙනුත් පුදුමයි . . . මේ වගේ කාර්යයබහුල මාධ්‍යවේදියකු කොහොමද මේ විදියට කාලය හසුරුවා ගන්නේ . . . සමහරන්ට නම් ඉතිං ටිකක් ප්‍රසිද්ධ වෙද්දි හරිම කාර්යය බහුලයිනේ. ඔන්න ඉතින් මම කියපු දවසේ හවස් යාමයක රූපවාහිනී මහ ගෙදරට ගියා. මට එන්න කියලා තිබුණේ හවස 3.00 ට. කළමනාකරුවන්ගේ රැස්වීම ඉවර වෙලා හරියටම වෙලාවට ඔහු ආවා. අපි එතැනින් ඔහුගේ නිවෙසට පිටත් වුණේ ඉන් පසුවයි.

අපේ කතාව වාහනේදීම පටන් ගත්තා. හැමදාම ලංකාවේ ප්‍රසිද්ධ චරිත සමඟ සාකච්ඡා කරන හසන්ත අද සාකච්ඡා කරන්නේ මමත් එක්ක. අපේ කතාව පටන් ගන්න හොඳ නිමිත්තකුත් තිබුණා. ඒ මොකද රූපවාහිනී මහ ගෙදරට පය තියන්න ඉස්සර හසන්ත මාධ්‍ය ජීීවිතේ රන්කිරි කට ගාලා තියෙන්නේ අපේ ගෙදර, ඒ කියන්නේ පත්තර මහ ගෙදර. ‘ජනතා’ පත්තරේ මුල්ම කවි පන්තිය පළ කර ගන්න අපේ දැන් පුවත්පත් කිහිපයක මුල් පුටුව හොබවන කර්තෘවරුන් හමු වෙන්න ආපු ගමනෙන්ම අපේ කතාව පටන් ගත්තා.

මගේ මාධ්‍ය ජීවිතේ ගැන කතා කරනවා නම් ඉතිං අනන්ත දේවල් තියෙනවා. මම ‘දොරමඬලාව’ අවුරුදු 13 දිගටම කරලා වාර්තාවකුත් තියලා තියෙන්නේ. අටපට්ටමේ වැඩසටහන් අධ්‍යක්ෂවරයා, නිෂ්පාදකයන්, කැමරාකරුවන්, ඉදිරිපත් කරන්නාත් සියලු දේ බොහෝ විට සිදු වෙන්නේ මගේම අතින්නේ. මේ වැඩසටහන කරද්දී නම් ලැබෙන අත්දැකීම්, සිදුවීම් පොතක් ලියන්න තියෙනවා.

ඔය සිද්ධි අතුරින් එකක් දෙකක් අපටත් කියන්නකෝ. අපේ පාඨකයොත් කැමැති ඇතිනේ ඒ වගේ සිද්ධි දැනගන්න.

මෙහෙමයි . . . මම දැන් හිතාගෙන ඉන්නවා අටපට්ටමේ නොකී කතා කියලා අපූරු අත්දැකීම් පෙළක් පොතක් ලෙස එළි දක්වන්න. දැනට මම රටවල් 50 කට වැඩිය සංචාරය කරලා තියෙනවා මේ වැඩ සටහන සඳහා දුලභ ස්ථාන නරඹන්න අවස්ථාව ලැබුණා. ඇත්තම මේ සංචාර දිහා බලාගෙන ඉන්න අයට නම් හරි සුන්දරව දැක්කට මේ පටිගත කිරීම් සඳහා විශාල කැපවීමක් කරන්න වෙනවා. වැඩසටහන සඳහා පටිගත කිරීමට වැඩි කාලයක් ගන්න බැහැ. ඒ වගේම අපේ ප්‍රේක්ෂකයන්ට වටිනා දෙයක් ගේන්න ඕනේ. ඒ ඉදිරිපත් කරන දේ වටිනා දෙයක් විය යුතුමයි. ඇත්තට මෙවැනි වැඩසටහන්වලදී අපට ශ්‍රී ලාංකික ජනතාව එම රටවලදී දක්වන සහයෝගය ඉතාම වටිනවා.

මම එහි ගිය සංචාරයන්ගෙන් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල මූලස්ථානයට ගිය චාරිකාවේදී මගේ කැමරාවට දුලභ රූප රාමු කිහිපයක්ම අසු කර ගන්න පුළුවන් වුණේ එහිදී මට හමු වූ ලාංකීය ජනතාවගේ සහයෝගය නිසයි. ඒ වගේම ජේසුස් වහන්සේ ඇන ගැසූ ස්ථානයට යන්න අවස්ථාවක් ලැබුණා. එම ස්ථානයේ ජේසුස් වහන්සේට ගැසූ ඇණයක් ඉතුරු වෙලා තියෙනවා. එය අටපට්ටමේ පෙන්නුවාට පස්සේ ලැබුණු ප්‍රතිචාර කියන්න බැහැ. සමහර කතෝලික බැතිමතුන් ඇඬූ කඳුලින් ඉතාම භක්තියෙන් ඒ රූප රාමු ආපහු පෙන්වන්න කියලා ඉල්ලීම් ගලාගෙන ආවා. ඇත්තටම මෙවැනි ස්ථානවල රූපගත කිරීම් කරන්න මට හැකියාව ලැබුණේ මේ වැඩසටහනට තිබුණු ඉල්ලුම නිසයි. ඒ වගේම සෑම රටකම අපේ ලාංකික ජනතාව මේ වැඩසටහන බලන හින්දයි.

මේ වැඩසටහන පටන් ගන්න කාලේ දවසක් මම අටපට්ටම වැඩසටහන පටිගත කිරීමකට කුරුණෑගල පැත්තේ ඈත පිටිසර ගමකට ගියා. මම ගියේ තනියම මගේ වාහනයේම. අරුම පුදුම ගහක් ගැන විස්තරයක් හොයන්න. කුරුණෑගලට යද්දී හොඳටම වහිනවා. ඒ කියන ගම තිබුණේ කුරුණෑගලින් ඇතුළේ. දැන් මම පටු පාරක යනවා. ටිකක් දුර යද්දී පාර පෙන්නේ නැති ගාණට වතුර. කරන්න දෙයක් නැහැ. පේන තෙක් මානෙක කවුරුවත් නෑ. ටික දුරයි ගියේ කාර් එකේ පැත්තක් ඇද වුණා. එතනින් එහාට යනවා බොරු. වාහනේ එරිලා. කරන්න කිසිම දෙයක් නැහැ. එලියට බැහැලා යන්නත් බැහැ. ටිකක් වෙලා ඉන්න කොට පොඩි දරුවෝ ටිකක් එනවා තෙමීගෙන.

දෙයියෝ බැලුවා වගේ. කොල්ලෝ රංචුව හොඳටම තෙමිලා. සෙල්ලම් කරලා එන ගමන්. වාහනේ ළඟට ආවට පස්සේ මම කතා කළා. මල්ලිලා, මේ කාර් එක තල්ලු කර ගන්න කවුරුවත් නැද්ද කියලා මම ඇහැව්වා. එක පාරටම එතන හිටපු කටකාර කොල්ලෙක් ‘අප්පට හුඩු . . . මේ අපේ දඩිබිඩිස්නේ . . . කියලා මාව හඳුන ගත්තා. කවුරුත් ඕනේ නෑ අපි තල්ලු කරන්නම් කියලා රංචුව එකතු වෙලා කාර් එක තල්ලු කරලා ගොඩට ගත්තා. දැන් කොලු රංචුවම මගෙ කාර් එකේ. . . ටික දුරක් යද්දී වාහනේ පස්සෙන් පොඩි දරුවෝ රංචුවයි. මම තැනට යද්දී කුඹුරු ලියදි දිගේ මුළු ගමම මාව බලන්න ඇවිත්. ඇත්තටම එදා මගේ වාහනේ තල්ලු කරපු දරුවෝ දැන් තරුණ අය වෙලා රැකියාවල් කරනවා ඇති. එහෙත් තවමත් අටපට්ටම බලනවා කියලා නම් මම දන්නවා. මේ වැඩසටහන සම්මාන ලබමින් මේ තරම් දුර ගමනක් එන්න හේතුවත් ඒකයි. ඕනෑම කෙනෙක් අමුතු දෙයක් දැක්කොත් කියන්නේ අටපට්ටමට හොඳයි කියලනේ. . .’

ඇතතටම ඔබ හාත්පසින්ම වෙනස් වැඩසටහන් දෙකක් කොහොමද සමබරව ඉදිරිපත් කරන්නේ?

ඔය ප්‍රශ්නෙම මම ඔය වැඩසටහන් පටන් ගන්න කාලේදී බොහෝ දෙනෙක් ඇහැව්වා. ‘අටපට්ටම’ වගේ සරල හාස්‍ය උපදවන සරල වැඩසටනක් ඉදිරිපත් කරන කෙනකුට ‘දෙරමඬලාව’ වගේ වැඩසටහනක් කරන්න පුළුවන් වෙයි ද කියලා බොහෝ දෙනෙක් හිතුවා. අපි එදා පොඩි කාලේ ඉතා දැවැන්තයන් ලෙස දැකපු චරිත සමඟ සමීප වෙන්න මට මේ වැඩසටහන හරහා හැකි වුණා. ඔවුන් අතුරින් මට කාටවත් කරන්න බැරි දේවල් කරන්නත් පුළුවන් වුණු අවස්ථා තියෙනවා. දෙරමඬලාවේ ප්‍රචාරය වුණු ‘සංගීතයේ මනෝ විද්‍යාත්මක පසුබිම’ වැඩසටහන් මට අමතක නොවන සිද්ධියක්.

ඒකට මම පණ්ඩිත් අමරදේවයන්, කේමදාස ශූරීනුයි සංවාද මණ්ඩපයට ගෙන්න ඕනෑ වුණා. හැබැයි මේ දෙන්නගේ පුංචි විරසකයක් තිබුණා. ඉතිං මම මේක දැනගෙන දෙන්නට වැඩසටනට ආරාධනය කළා. හැබැයි දෙන්නටම කිව්වේ නැහැ කවුද එන්නේ කියලා. එහෙම වුණාට මට දැන් පුංචි චකිතයක් තිබුණා දෙන්නගේ පැමිණීම ගැන. ඒ වගේම දෙන්නගෙම ගති ලක්ෂණ මම දන්න නිසා වැඩසටහන දවස් දෙකක් විතර තියෙද්දී මම ආයෙත් පණ්ඩිත් අමරදේවයන්ට කතා කළා.

ඔහු ඉතාම සහෘද ලෙසින් කතා කරලා එන බවට පොරොන්දු වුණා. ඒ වුණාට කේමදාස මාස්ටර්ගේ හැසිරීම ටිකක් වෙනස්නේ. ඔහුගේ භාෂා විලාසයත් තරමක් වෙනස්. මේ බව දැනගෙන මම කතා කළාම තව ඔය වැඩසටහනට එන්නේ කවුද කියලා මගෙන් ඇහැව්වා. මම කිව්වා පණ්ඩිත් අමරදේව කියලා. ඔහු මොකුත්ම නොකියා දුරකතනය තිබ්බා. ඔන්න වැඩසටහන දැන් පටන්ගන්න දවස ආවා. අමරදේව මාස්ටර් ඇවිත් ඉඳගත්තා.

කේමදාස මාස්ටරුත් ආවා. අපේ වැඩසටන ආරම්භ වුණා. දැන් වැඩසටහන ප්‍රචාරය වෙනවා. දෙන්නගේම ප්‍රවීණත්වය හා තිබෙන විෂය ශාස්ත්‍රීය බව උතුරා ගලනවා. දෙදෙනාම තමුන්ගේ අත්දැකීම් උදාහරණත් සමඟ ඉදිරිපත් කරනවා. දැන් අමරදේව මාස්ටර්ට අමතකයි ළඟ ඉන්නේ කවුද කියලා . . . ඔහු ගීතයක් ගායනා කරනවා. කේමදාස මාස්ටර් සර්පිනාවෙන් ඒ ගීතයට සංගීතය සපයනවා. දෙන්නාම නොදැනී දෙන්නාගේ ගාන්ධර්ය බව ඉස්මතු වෙලා.

අන්තිමට වැඩසටහන හරිම අර්ථවත්, රසවත්ව අවසන් වුණේ අමරදේව මාස්ටර්ගේ ‘ජන්ම භූමි විජය භූමි’ ගීතයට කේමදාස මාස්ටර් සංගීතය සපයමින්. මේ වගේම සංවාදයක් තමයි මහාචාර්ය කාලෝ ෆොන්සේකාත්, මහාචාර්ය නලින් ද සිල්වා අතර පැවතියේ. ඔවුන්ගේ දැනුම අනුව ඉදිරිපත් කිරීමේ ශෛලිය වෙනස්නේ . . . මම උත්සාහ කළේ හරවත් යමක් ඉදිරිපත් කිරීමයි. ඔවුන් දෙදෙනා තවමත් කිසිම විරසකයක් නැහැ. ‘දොරමඬලාව’ සංවාද මණ්ඩපයට ඉතාම කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා.

ඇත්තටම මෙවැනි විශාල වැඩ කොටසක් කරන අතර, ඔබ ඉගෙනීමේ කටයුතුවල නිරත වෙනවා නේද?

ඔව් . . . මම ශාස්ත්‍රවේදී උපාධිය කළේ කොළඹ විශ්ව විද්‍යාලයේ. දර්ශනපති, දර්ශනසූරී උපාධිය කැලණිය විශ්ව විද්‍යාලයේ හැදෑරුවා. ජනමාධ්‍ය පිළිබඳ පශ්චාත් උපාධිය කළේ ජපානයේ වාකෝ විශ්ව විද්‍යාලයේ. ඒ වගේම චීන භාෂාව පිළිබඳ චීනයේ බෙයිජිං ඩිප්ලෝමාවක් හැදෑරීමටත් අවස්ථාව ලැබුණා. විද්්‍යුත් මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියකු ලෙස ආචාර්ය උපාධියක් හිමිකර ගැනීමට ලැබීමත් මා ලැබූ විශාල ජයග්‍රහණයක්.

අපේ කතාබහ ගෙවී ගිහින් බොහෝ වෙලාවක් වුණා. මේ කතාව අසා සිටි හසන්තගේ දයාබර බිරිය චමුදිකා පියුමිගෙන් තම සැමියා ගැන තමුන් දකින්නේ කොහොමදයි මොහොතකට විමසන්න සිතුවේ අප දෙදෙනාගේ සංවාදය මොහොතකට වෙනස් අතකට යොමු කරමින්.

ඇත්තටම මම හසන්තව හඳුනා ගත්තේ ‘දොරමඬලාව’ වැඩසටහන හරහා. පසුව අපේ දැනහැඳුනුම්කම තවත් වැඩි වුණා. අපි කාලයක් ඇසුරු කිරීමෙන් පස්සේ තමයි විවාහ වුණේ. මම ගුවන් සේවිකාවක් වශයෙන් සේවය කළා. දුව ලැබුණට පස්සේ රැකියාවෙන් ඉවත්වෙන්න තීරණය කළා. එයාගේ නම ඔනලි විහන්සා හෙට්ටිආරච්චි. එයාට දැන් අවුරුදු 2 ක්. ඇත්තටම හසන්තගේ කාර්යයබහුල බව හරිම වැඩියි. සමහර වෙලාවට එයා කොහේ හරි සංචාරයකට යන වෙලාවට ගෙදර එන්නේ අන්තිම මොහොතේ. මම එයාගේ ඇඳුම් පැළඳුම් ඔක්කොම ලැහැස්ති කරලා දෙනවා. එයාගේ රස්සාවේ තියෙන අවිවේකී බව දැන් දුවට පවා දැනෙනවා.

මොහොතින් ඔනෙලී දෝණිගේ හඬින් නිවසේ නිහඬ බව බිඳී ගියාය. කාලය ද බොහෝ සෙයින් ගෙවී ගොසිනි. මේ සංවාදයට මට සමු දෙන්නට ඉඩ නොදෙයි. ඒත් ඔහුගේ සොඳුරු හමුවට සමු දෙන මොහොතේ ඔහු පැවැසූ දෙයක් නැවතත් මගේ සිහියට නැෙඟයි. ‘මේ ජනවාරි පළමුවෙනිදා අපේ ආයතනය බලන්න ඈත දුෂ්කර පාසලකින් ළමුන් පිරිසක් පැමිණියා. ඒ පාසලේ විදුහල්පතිනිය කියලා තියෙන්නේ ‘අපට හසන්ත මහත්තයා දකින්න ලැබීම හීනයක්වෙලා තිබුණේ කියලා. ඇත්තටම ඔහු අපේ පුතෙක් වගේ කියලා මට හිතෙන්නේ. ඔහු සැබෑවටම ජාතියේම පුතෙක් කියලයි මට හිතෙන්නෙ කියලා කියපු කතාව මම ඒ අවස්ථාවේ නොහිටියත් පසුව පටිගත කළ දර්ශනයක් දකිද්දී මගේ ඇස් දෙකට කඳුළු ඉනුව’ යැයි හසන්ත පැවසුවේ ඔහු ලැබූ සියලු සම්මානයන්ටත් වඩා ඉහළ සම්මානය එය යැයි පසක් කරමිනි.