වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




සිරිල් යළි නොඑනු ඇත

සිරිල් යළි නොඑනු ඇත

වේදිකාවේත්, රිදී තිරයේත්, පුංචි තිරයේත් කළ රංග ප්‍රතිභාවන්ට නැවතීමේ තිත තබා ඉකුත් දින මුළු කලා ලෝකයෙනුත්, තමන්ට ආදරය කළ සහෘද ප්‍රේක්ෂක ජනතාවගෙනුත් සදහටම සමු ගත්තේ යළිත් නොඑන්නටමය.

සිරිල් නොයෙන ගමනක් ගිය ද ඔහු අප හට ඉතිරි කර ගිය දෑ බොහෝය. වේදිකාවේ, පුංචි තිරයේ ඔහු කළ රංග ප්‍රතිභාවන් අප හට කිසි දිනෙක අමතක නොවනු ඇත.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වු සිරිල් ධර්මවර්ධන කලාවට අත්පොත තැබුවේ තම පාසලේ පටන්මය.

පාසල් වේදිකාවේ රංගනයන් තුළින් අන්තර් පාඨශාලීය තරග සඳහා ඉදිරිපත් වී කීප වතාවක් හොඳම නළුවා බවට පත් වූ ඔහුගේ නාට්‍ය ගුරුවරයා වූයේ වීදි නාට්‍ය නිර්මාතෘවරයකු වූ ගාමිණී හත්තොටුවේගම මහතාය.

පසුව පාසල් ගුරුවරයකු වූ හෙතෙම කොළඹ වෙස්ලි විද්‍යාලයේ ගුරුවරයකු ලෙස කටයුතු කරනු ලැබිණි. එහිදී හඳුනා ගත් නාට්‍යකරුවකු වූ ෆීලික්ස් ප්‍රේමවර්ධන මහතාගේ මාර්ගයෙන් ප්‍රවීණ නාට්‍යවේදී හෙන්රි ජයසේනයන් හඳුනා ගන්නා සිරිල්, හෙන්රි ජයසේනයන්ගේ මනරංජන වැඩ වර්ජන නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ විය.

ඉන් පසු හුනුවටයේ කතාව, අපට පුතේ මඟක් නැතේ, දිරිය මව සහ ඇගේ දරුවෝ, මකරා ආදී වේදිකා නාට්‍ය රැසක චරිත රඟපානු ලැබිණ.

ආර්. ආර්. සමරකෝන්ගේ ඉඩම, කැලණි පාලම, දූවිලි, සුගතපාල ද සිල්වාගේ හරිම බඩු හයක්, ධර්මසිරි වික්‍රමරත්නගේ ඔන්න බබෝ ඇතින්නියා ආදී නාට්‍ය රැසක ප්‍රධාන භූමිකාවන් නිරූපණය කළේය.

ඉඩම නාට්‍යයේ සිරිල් කළ චන්ද්‍රදාසගේ චරිතය, කැලණි පාලම නාට්‍යයේ සරණපාලගේ චරිතය, දූවිලි නාට්‍යයේ හාමුදුරුවන්ගේ චරිතය වේදිකාවට ආදරය කළ ප්‍රේක්ෂකයන්ට කිසි දිනෙක අමතක නොවනු ඇත.

ජෝ දේව් ආනන්ද, විජය ධර්ම ශ්‍රී, බර්මින් ලයිලි ප්‍රනාන්දු ආදී කිහිප දෙනෙකුගේ චිත්‍රපට සඳහා ද රංගනයෙන් දායක වූ සිරිල් ඉතා සුළු චිත්‍රපට ප්‍රමාණයකට සිය රංගනය එක් කරනු ලැබිණ.

වේදිකාව හැරුණු කොට සිරිල් වඩාත් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගනු ලැබුවේ ටෙලි නාට්‍ය ඔස්සේය. ඩී. බී. නිහාල්සිංහගේ නදී ගීතයෙන් ටෙලි නාට්‍යය ඔස්සේ පුංචි තිරයට එක් වූ සිරිල් ටෙලි නාට්‍ය රැසක විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂක ආකර්ශණය දිනාගනු ලැබිණි.

ගංගා හා නිශ්ශංක, ඉරබටු තරුවක්, අපේ කාලයේ ගැහැනියක්, සමන්තැන්න, චාරුලතා, ගිරය, හිරුට මුවාවෙන්, ලෝකාන්තය ආදී ටෙලි නාට්‍ය රැසක චරිත නිරූපණය කළ සිරිල් අදටත් ප්‍රේක්ෂක හදවත්වල ඉතිරි කළ චරිත බොහොමයකි.

හිරුට මුවාවෙන් ටෙලි නාට්‍යයේ ඉක්මන් කෙන්තිකාරයාත්, ලෝකාන්තය ටෙලි නාට්‍යයේ ලෝකාන්තය වත්තේ අයිතිකාරයාත්, සිරිල්ගේ රංගනයේ අදත් ප්‍රේක්ෂකයන් අතර නොමැකී ඇති රංගනයන් දෙකකි.

කලාකාරයකු ලෙස කටයුතු කරන අතරේ සිරිල් ධර්මවර්ධන දේශපාලනයට ද එක්විය. අසූව දශකයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෙමින් දේශපාලනයට අවතීර්ණ වූ සිරිල් පසුව විජය කුමාරතුංග මහතා සමඟ ශ්‍රී ලංකා මහජන පක්ෂය පිහිට වූ අවස්ථාවෙහි එහි ආරම්භක සාමාජිකයකු ලෙස කටයුතුª කරනු ලැබීය.

පසුව ඔහු එක්සත් ජාතික පක්ෂයේ සාමාජියකු ලෙසද කටයුතු කරනු ලැබීය. විජය කුමාරණතුංගයන්ගේ සමීප මිතුරෙකු වූ සිරිල් ශ්‍රී ලංකා මහජන පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකුª ලෙස ද කටයුතු කරනු ලැබිණ.

විජය කුමාරණතුංග සමඟ මහර හා මින්නේරිය අතුරු මැතිවරණවලදී දිවි පරදුවට තබා විජය වෙනුවෙන් කටයුතු කළ සිරිල් පසුව පොදුජන එක්සත් පෙරමුණු අපේක්ෂකයකු වශයෙන් දකුණු පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ගාලු දිස්ත්‍රික්කයෙන් තරග කළේය.

මනාප ඡන්ද 21,000 ක් ලබා ගනිමින් දකුණු පළාත් සභාවේ මන්ත්‍රිවරයකු ලෙස තේරී පත් වූ ඔහු දකුණු පළාත් සභාවේ සභානායක වශයෙන් ද කටයුතු කරනු ලැබිණ.

‘ආවා මදැයි මරුවා’ පාසල් නාට්‍යයේ ප්‍රථමවරට ප්‍රධාන චරිතයක් රඟමින් පාසල් අවධියේම කලාවට ළැදියාවක් දැක්වූ සිරිල් වසර ගණනාවක් පුද්ගලික ආයතනයක පරිපාලන ධුරයක් ද හොබවනු ලැබීය.

මැද පෙරදිග, අප්‍රිකානු හා දකුණු ආසියාතික රටවල් බොහොමයක සංචාරය කළ සිරිල් පරිපාලන නිලධාරියකු ලෙස මැද පෙරදිග ද සේවය කළේය. මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ උපාධිධාරි ගුරුවරියක මෙන්ම ලේඛිකාවක වන ස්වර්ණ කාන්ති රාජපක්ෂ සමඟ විවාහ වූ සිරිල් එක් දරු පියෙකි. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පුතු බිනර සමඟ පදිංචිව සිිටි සිරිල් ධර්මවර්ධන මිය යන විට 67 වන වියේ පසු විය.

සිරිල් ධර්මවර්ධන නම් වූ ප්‍රතිභාපූර්ණ කලාකරුවාණනි ඔබ රංගනයෙන් පෑ ප්‍රතිභාව අපට කිසි දිනෙක අමතක නොවේ. එවන් වූ රංග ප්‍රතිභාවක් විදහා පාන්නට ඔබ අප අතරම යළිඳු ඉපදේවා!