වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




අමරනාත් වුව මරණයේදී පැරදින

අමරනාත් වුව මරණයේදී පැරදින

අමරනාත් ජයතිලක

ලෝක සිනමා කතිකාව පිළිබඳ හසල දැනුමැති ශ්‍රී ලාංකික සිනමා විද්‍යාර්ථයකු වූ අමරනාත් ජයතිලක ඉකුත්දා මෙලොව හැර ගියේය.

මරණයෙන් පසු තමාගේ මළ සිරුර කිසිවකුට නොදන්වාම නොපමාව මහ පොළොව තුළට භාර කරන ලෙස ඔහු සිදුකර ඇති අවසන් ඉල්ලීමට අනුව පසුදාම එම සමුගැනීම සිදු කෙරිණ. ඒ කිසිදු සැරසිල්ලකින් හෝ උත්සවයකින් තොරවය. චාම් සරල සමුගැනීම ඔහු බලා සිටියා නම් එය ඔහුගේ කැමැත්තම බව පවසනු ඇත.

එය එසේ නොවුණි නම් ශ්‍රී ලාංකික සිනමාව ඉන්දියානු සම්භාව්‍ය සිනමාව හා බද්ධ කිරීමට පුරෝගාමී වූ මේ දැවැන්තයාගේ අවමගුල් උත්සවය ඉන්දියානු තානාපතිතුමා සහභාගි වන ලෝක සිනමා සංවිධානවල ශෝක පණිවිඩවලින් අලංකාර වන ජනාධිපති, අගමැති ශෝක පණිවිඩවලින් ගාම්භීරත්වය ලබන ප්‍රචලිත අවමගුල් උත්සවයක් වනු නොඅනුමානය.

බොරැල්ල කනත්තේ ගාම්භීර සිහිවටන කණු සහිත ප්‍රදේශයෙන් ඔබ්බෙහි හතර රියනවත් මතුවට හිමි නොවන නිස්කලංක පොදු භූමි භාගයක අමරනාත් විද්‍යාර්ථයාගේ සිරුර බහාලූ දෙන පස්වලින් වසා දමනු ලැබීය. ඔහුගේ සේවය අගය කළ සිනමා ශිල්පීහු අතරින් මෙම හදිසි මරණය දැන පැමිණි අතළොස්සකගේ දෑත් පස් දැමීමේ කාර්යයට එක් වූ අයුරු අමරනාත් සිනමා භාෂාවෙන් යටිකුරු කෝණයකින් දකින්නට ඇත.

ජීවත්ව සිටි කාලයේදී අමරනාත් ලෝ පතල සිනමා නිර්මාණකරුවන්, නළු නිළියන් සමඟ උරෙනුර ගැටී ගත් දුර්ලභ ඡායාරූප කොතෙකුත් අප දැක තිබුණත් අවසන් ගමන් ගියදා අමරනාත් සමඟ ඡායාරූප ගත වූයේ රවීන්ද්‍ර, මාලිනී ප්‍රමුඛ ස්වල්ප දෙනෙකුගේ රූප කාය පමණි. සංසාර දුක හැර නිසි හව්හරණයක් නැති සිනමා කර්මාන්තයේ ඛේදවාචකය මොනවට පැහැදිලි කරමින් අවමඟුල කරා හඬමින් පැමිණි චන්දි රසිකාගේ ශෝකය නිසා ඥාතීන්ගේ විමසුම් ඇස ඇය වෙතට හැරවුණි. කෙසේ වුව ද තමා බිහි කළ මරු සිරාත් රන්මැණිකාත් අරුණට පෙර මැණිකාත් අවසන් වරට දැකීමෙන් අමරනාත්ට මහත් සතුටක් ලබන්නට ඇත.

සම්මානයට පාත්‍ර වූ ‘අරුණට පෙර’ චිත්‍රපටය සැලකූ කළ එහි සහාය අධ්‍යක්ෂක වූ මමත් සංස්කරණ ශිල්පී එල්මෝ, විජේරත්න වරකාගොඩ සහ චන්දි හැරුණු කළ අනෙක් සියල්ලෝම පරලොව සම්ප්‍රාප්ත වී සිටීම නිසා අධ්‍යක්ෂ අමරනාත් පරලොවදී පාළුවක් නොදැනෙනු නොඅනුමානය.

චිත්‍රපට අධ්‍යක්ෂ අමරනාත් ජයතිලක සමඟ මා සම්බන්ධ වූයේ සිනමාව පිළිබඳ මට ගුරුහරුකම් ලබා දුන් ප්‍රවීණ අධ්‍යක්ෂ අයි. එන්. හේවාවසම් මඟිනි. ඒ ‘එක් දවසක රැයක්’ චිත්‍රපටයේ හඬ මිශ්‍රණ අදියරේදීය. අනතුරුව මා අමරනාත් ගේ ‘ආදර ගීතය’ චිත්‍රපටයේ ‘හේවා’ ගේ ප්‍රධානත්වයෙන් සහාය අධ්‍යක්ෂණ කාර්යයට සම්බන්ධ විය. ඉන් පසු අමරනාත් ඔහුගේ ‘අරුණට පෙර’ සිනමා කෘතිය සඳහා මා ප්‍රධාන සහාය අධ්‍යක්ෂවරයා ලෙස බඳවා ගත්තේය. ‘අරුණට පෙර’ සත්‍යජිත් රායිිගේ ‘පාතර් පංචාලි’ මෙන් චිත්‍රපට ත්‍රිත්වයක ප්‍රථම චිත්‍රපටය ලෙස ඔහු සැලකීය. නමුත් මියයන තුරුම ඔහුට ඉතිරි චිත්‍රපට ද්විත්වය නිර්මාණය කිරීමට නොහැකි විය.

‘අරුණට පෙර’ චිත්‍රපටය ශ්‍රී ලාංකික පැරැණි ගොවි ගැමි ජීවිතයේ ඛේදවාචකය පිළිබිඹු කරන යහපත් චිත්‍රපටයක් ලෙස ජාත්‍යන්තර සිනමා උළෙලවල් කීපයක්ම නියෝජනය කළ අතර එය එම වසරේ ජනාධිපති සම්මාන උළෙලේදී ප්‍රධාන සම්මාන බහුතරයක් ජය ගැනීමට සමත් විය. ලබාගත් සියලු ජයග්‍රහණයන්ගෙන් පසු ඔහු මා කැඳවා චිත්‍රපටයේ සාර්ථකත්වයට මාගෙන් සිදු වූ දායකත්වයට ස්තුති කිරීමට තරම් නිහතමානී ගුරුවරයකුª විය.

අමරනාත් චිත්‍රපට නිර්මාණය කරන්නේ කිසිදු පීඩනයකින් තොර සැහැල්ලු සිතිනි. චිත්‍රපටයේ තමා සතුª බර සියල්ල ඔහු වෙනුවෙන් උසුලමින් ක්‍රියා කරන නිෂ්පාදන කණ්ඩායමක් මතට භාර කරන අමරනාත් මනා මානසික සම්බන්ධතා ක්‍රමවේදයක් තුළින් චිත්‍රපටය ඉලක්ක ඉසව්ව කරා රැගෙන යාමට ශූර නායකත්වයකින් යුතුª පුද්ගලයෙකි. තමාගේ කය සහ මනසේ නිරෝගිීභාවයත් නිස්කලංකභාවයත් ඔහු සෙසු සියල්ලන්ට වඩා වැදගත් කොට සලකයි. චිත්‍රපට නිර්මාණකරණයේදී පවා ඔහුගේ ප්‍රතිපත්තිය එලෙසමය. ස්වභාව ධර්මය සහ ජීවිතය අතර විද්‍යාව පිළිබඳ මනා අවබෝධයක් ඇති ඔහු කිසි විටෙක එම න්‍යායන්ට අනුකූල නොවන දෙයක් නොකර සිටීමට වග බලාගනී.

‘අරුණට පෙර’ චිත්‍රපටය රූපගත කිරීම්වලදීද යම් අසනීප තත්ත්වයක් නිසා ඔහු චිත්‍රපටයේ බොහෝ රාත්‍රී දර්ශන රූපගත කිරීම සහාය අධ්‍යක්ෂක වූ මටත් කැමරා ශිල්පී සුමින්ද වීරසිංහටත් පැවරීමට තරම් ඔහු අප කෙරෙහි විශ්වාසයක් පළ කළේය. ජාත්‍යන්තර සිනමාව පිළිබඳ හසළ අත්දැකීම් ඇති අමරනාත්ගේ මනස තුළ පවතින රූප නිවැරැදිව හඳුනා ගැනීම අපගේ දක්ෂකමක් සේ සලකා ඔහු නිරන්තරයෙන් අප උද්යෝගිමත් කළේය. ඒ අතින් බලන කළ ‘අරුණට පෙර’ එකල තරුණයකු වූ මා හට අධ්‍යාපන ආයතනයක් බඳු විය.පසු කලෙක මගේ ප්‍රථම චිත්‍රපට තිර රචනය වූ ‘මී හරකා’ චිත්‍රපටය නැරැඹීමෙන් පසු අප ගුරුවර අමරනාත් මා පිළිබඳව මහත් සේ අගය කොට සිනමා විචාරයක් ද පුවත්පතකට පළ කරමින් මා දිරිමත් කළේය.

ඉඳහිට හමුවන සෑම විටම තම ප්‍රියයන්ගේ ජීවිතවලට මොහොතක් එබී බලා පවතින සාර්ථක තත්ත්වයන් පිළිිබඳ අවංකවම සතුට පළ කරන ඔහු අසාර්ථක යමක් වෙතොත් ඒ පිළිබඳ අප නොඇසූ විරූ ගුරුහරුකමක් දීමට නොපැකිලෙයි. සියලු සාමීචි කටයුතු සුළු කාල වේලාවකින් නිම කිරීම ඔහුගේ ස්වභාවය අතර ඉන් පසු මොහොතක් හෝ කිසිවකු නොරඳවා ගැනීමට වග බලා ගනී. කාසල් රෝහල අසල එකල ඔහුගේ නිවහනේ දොරේ සවිකර තිිබූ අමුත්තන් හඳුනා ගැනීමේ කුඩා අන්වීක්ෂ කණ්ණාඩිය ඉදිරියේ අප බිය නැතිව සෘජුව සිට ගන්නේ ඔහු අප කිසි දිනෙක ප්‍රතික්ෂේප නොකරන ගුණයෙන් යුක්ත වූ නිසාවෙනි. ඔහු නොරුස්සන මොහොතක පැමිණෙන ඔහු නොරුස්සන ඕනෑම ජගතකුට වුව ද ඔහුගේ දොර ඇරෙන්නේ පැමිණි කාරණය විමසීම සඳහා අඟල් භාගයක ප්‍රමාණයක් පමණි.

සිනමාව පිළිබඳ අධ්‍යාපනය ලබන සමයේදී ඔහු අපට යෝධයකු බඳු විය. ඔහු ලියූ ‘චිත්‍රපට පරිචය’ නමැති පොත එකල අපගේ සිනමා බයිබලය බඳු විය. චිත්‍රපට විෂය ශ්‍රීී ලංකාව තුළ සම්භාව්‍ය කලාවක් බවට පත් කර ගැනීමේ අරමුණින් සිනමාව පිළිබඳ ඔහු ලියූ විවිධ විෂයයන් මුල් කොට ගත් ග්‍රන්ථ රාශිය හේතුවෙන් ඔහු ශ්‍රී ලාංකික සිනමා සාහිත්‍යයේ පුරෝගාමියා බව අනාගතයට එක් වී ඇත.

බලයට පත්වන රජයන් දෙසට චිත්‍රපට කර්මාන්තයේ දුක් ගැහැට නව යෝජනා සම්පාදනය කොට ඉදිරිපත් කරන බුද්ධිමතුන්ගේ ව්‍යුහයන් තුළ අමරනාත් අමරණීය කාර්යභාරයක් ඉටු කළ බුද්ධිමතෙකි. ජේ. ආර්. ජයවර්ධන හැර බලයට පත් වූ සෑම පාලකයකු වෙතින්ම ඔහු සිනමා කර්මාන්තයේ උන්නතිය උදෙසා මහත් කාර්යභාරයක් අපේක්ෂා කළේය. සිනමාව හැර කිසිදු පෞද්ගලික ඉල්ලීමක් ඔහු තූළ නොවූ නිසාම පසු කලෙක එම විශ්වාසයන් බිඳුණු කළ ඔහු නොවලහා තම විරෝධතා සෘජුව පළ කළේය.

මත්පැනට හෝ වෙනත් කිසිදු ආශ්වාදයකට තම ශරීරය ගොදුරු නොකළ අමරනාත් කෙමෙන් දුර්වල වන තමා ප්‍රවේශමෙන් සුරැකි ශරීරය දෙස බැලුවේ බුදු දහමේ හරය වූ ත්‍රිලක්ෂණය මුල් කරගත් විශ්වීය දෘෂ්ටියෙනි. ශරීරය යනු තමන් කැමැති සේ නොපවතින අනිච්ඡා ධර්මයට යටත් ඒ නිසාම දුක ගෙන දෙන අසාර ප්‍රපංචයක් බව කර්මානුරූපව දැකීමේ දෘෂ්ටියක් සංසාරික පුරද්දක් ලෙස ඔහු තුළ පැවතුණි.

එහෙත් ඔහු ලෝකය පිළිබඳව ශූන්‍ය වූ සිතින් කල්ගත කළා නොව ජීවිතයේ අන්තිම නිමේශය දක්ව වැඩක් කිරීමේ අධිෂ්ඨානයෙන් පසු වූ මිනිසෙකි. මරණාසන්නව රෝහල්ගතව සිටියදී පවා ඔහු ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙනියට පවසා තිබුණේ ඉදිරි වසරේ මාස තුනක් ඔහුගේ ඊළඟ චිත්‍රපටයට අවශ්‍ය බවය. දශක හතක පමණ ජීවිත කාලය තුළ අමරනාත් ජයතිලක වැඩ කළේ සිනමාව වෙනුවෙන්ම පමණි. ඒ නිසා සිනමවේ අයට විනා වෙනත් කිසිදු මිනිසකුට ඔහුගේ පලක් නැත. එහෙත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අමරනාත්ගේ ජීවිතයේ අවසාන සමයේදී ඔහුව තම විහාරස්ථානයේ රඳවා රැකවරණ දුන්නේ ගිහි ඇඳුමින් සිටියද සියලු ලෞකික සීමා වලට ඔබ්බෙන් අමරනාත් තුළ සංසාර පුරුද්දක් ලෙස තිබූ සියුම් යතිවර ගුණය නිසා විය හැක.

අමරනාත් තැනූ චිත්‍රපට

ආදරවන්තයෝ, ප්‍රියංගා,තිලක හා තිලකා, නිවෙන ගින්න,සිරිපාල සහ රන්මැණිකා,ආදර ගීතය,එක දවසක් රෑ,යුවතිපති,භීෂණයේ අතුරු කතාවක්, අරුණට පෙර