වර්ෂ 2013 ක්වූ ජූලි 04 වැනිදා බ්‍රහස්පතින්දා




හිරිමල් හිනාවක් සමඟ අප හමුවන නිමේෂා

හිරිමල් හිනාවක් සමඟ අප හමුවන නිමේෂා

සඳරුවන් ජයවික්‍රමගේ රන් සමනළයෝ ටෙලි සිතුවමට ඇතුළත් වුණා ‘හිරිමල් හිනාවක’ නම් වූ ගීතයක්. නාට්‍ය විකාශය වන වකවානුව අතරතුරදී මෙන්ම වර්තමානයේද එම ගීතය හරිම ජනප්‍රියයි. ‘හිරිමල් හිනාවක’ සඳහා හඬ මුසු කොට ඇත්තේ නිමේෂා ගමගේ. ඇය ගායිකාවක ලෙස කලඑළියට ආවේ එය සමඟින්. මේ වන විට නිමේෂා තවත් ගීත කිහිපයක්ම දෝත දරා ගනිමින් ක්ෂේත්‍රයේ තවත් දුර ඇවිත්. ඉතිං ඇයත් එක්ක දැන් ටිකක් කතා කර බලමු.

නිමේෂා ‘හිරිමල් හිනාවක’ රන් සමනළයෝ වෙනුවෙන්ම නිර්මාණය වූ ගීයක් නෙවෙයි නේද? ඔබව කෙටියෙන් හඳුන්වා දෙන ගමන්ම මං කැමැතියි ඒ ගැන දැනගන්න.

සංගීතයට මාව යොමු කළේ මගේ පියා. ඔහු මුතුහර, උදාර වැනි වැඩසටහන්වලට ගායනයෙන් සහ වාදනයෙන් දායක වීමට පාසල් අවධියේ සිටම මා යොමු කළා. ඔය කාල වකවානුවලදීම විවිධ වූ සංගීත වැඩසටහන්වලට සම්බන්ධ වුණා. මේ අතර වාරයේදී මා දැඩිව කම්පනයට පත්කළ සිද්ධියක් වුණා. ඒ මගේ පියාගේ මිය යෑම.ඊට පසු ඉස්සර තරම් නැතත් මං සංගීත කටයුතුවල නියැලුණා. ඒ සෑම අවස්ථාවකදීම ගැයුවේ අනුන්ගේ ගීත.

විවාහයෙන් අනතුරුව මං සැමියා සමඟ ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියා. වර්තමානයේ පදිංචිය එහේ. පසුගිය දෙසැම්බරයේ නිවාඩුවකට ලංකාවට ආවා. එතකොට තමයි හිතුණේ මගේම කියලා සිංදුවක් කළොත් හොඳයි කියලා. එහෙම හිතාගෙන නව පරපුරේ සංගීතඥ තිළිණ රුහුණගේ හමු වුණා. ඔහු මට රචිතා වාකිෂ්ඨ ලියූ ගීතයකට සංගීතය යොදලා මට දුන්නා. ඒක තමයි හිරිමල් හිනාවක’.

මගේ මහත්තයා නීල් ගමගේ ගේ යාළුවෙක් සඳරුවන් ජයවික්‍රම. ඔහුට අපි මේ ගීතය අහන්න දුන්නා. සඳරුවන් බොහොම ඕනෑකමින් රන් සමනළයෝ නාට්‍යයට ඉල්ලා ගත්තා. මේ ගීතය කොච්චර ජනප්‍රිය වුණාදැයි කිව්වොත් අයි. ටී. එන්. එකේ ‘හීන හතක්’ වැඩ සටහනෙන් පළමු ස්ථානය දිනා ගන්නටත් හැකියාව ලැබුණා.

රන් සමනළයෝ නැතිනම් හිරිමල් හිනාවක මෙතරම් ජනප්‍රිය නොවන්නට ඉඩ තිබුණා?

ඔව්, මමත් විශ්වාස කරනවා රන් සමනළයෝ නිසා ‘හිරිමල් හිනාවක’ ගොඩක් ජනප්‍රිය වුණයි කියලා.

ඔබ සංගීතය හදාරා තිබෙනවාද?

මගේ පළමු ගුරුවරයා වුණේ මගේ පියා. පසුව ගුරුවරු කිහිප දෙනෙකුගෙන්ම සංගීතය හැදෑරුවා. සුජාතා අත්තනායක, විශාරද නන්දා මාලිනී, බී. වික්ටර් පෙරේරා යන මහත්ම මහත්මීන් ඒ අතර වනවා.

අනතුරුව කේමදාස මාස්ටර් ගාවට ගියා. ඔහුගේ මානසවිල ඔපෙරාවට සම්බන්ධ වුණා. මගේ මහත්තයත් හමුවුණේ එතෙන්දි.

මේ වන විට සංගීතය පැත්තෙන් ඔබේ හීන සැබෑ වෙලාද?

මටත් වඩා මාව ගායිකාවක් වීමේ සිහිනය තිබුණේ මගේ පියා ගාව. ඔහු අප අතර නැති වුණත් බොහෝ දුරට ඒ හීනය මං යථාර්ථයක් බවට පත් කළා. මගේ අම්මා හුඟක් සතුටු වෙනවා මං ආ ගමන් මඟට.

ඔබේ අලුත් නිර්මාණ ගැන කතා කළොත්?

‘කුමුදු මලට’ නමින් ගීතයක් අවුට් කළා. මං ඒක ගැයුවේ මගේ හස්බන් වෙනුවෙන්. ඒ වගේම ටෙලි නාට්‍ය දෙකකට ගී ගයන්න ඇරැයුම් ලැබුණා.